ග්‍රහකයකින් පෘථිවිය බේරා ගැනීමේ මෙහෙයුම - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Sep 15, 2022

ග්‍රහකයකින් පෘථිවිය බේරා ගැනීමේ මෙහෙයුම

ඩයිනසෝරයන් මිහිමත රජ කරද්දී, පෘථිවිය ජීවයෙන් පිරුණු සශ්‍රීක ග්‍රහලොවකි. ඒත්, සැතපුම් 6 ක් පළල යෝධ පාෂාණ කැබැල්ලක් ඒ සියල්ල වෙනස් කළේය. එය පෘථිවියේ හැපුණේ න්‍යෂ්ටික බෝම්බ 10 ක් එකවර පුපුරුවා හැරියාක් මෙනි. ට්‍රිලියන ගණනක් දූවිලි සහ පස්, පෘථිවි වායු ගෝලයට මුසුවී, පෘථිවිය වසා ගත්තේ, වසර දහස් ගණනකට හිරු එළිය නොවැටෙන ආකාරයටය. අතීතයේ, එවැන්නක් සිදුවූයේ නම්, යළිත් එවැන්නක් සිදුවිය හැකිය. ප්‍රශ්නය, ඒ කවදාද? යන්නයි. 
1998 වසරේ තිරගත වුණු, බොක්ස් ඔෆිස් වාර්තා අතරට ද එක් වුණු අතිශය ජනප්‍රිය වූ ‘ආමගෙඩ්න්’ නමැති හොලිවුඩ් චිත්‍රපටය ආරම්භ වන්නේ මෙවැනි හැඳින්වීමකිනි. ‘ආමගෙඩ්න්’ චිත්‍රපටයට පාදක වන්නේ, පෘථිවියේ හැපීමට ඇදී එන යෝධ ග්‍රහයකින් පෘථිවිය බේරා ගැනීමය.

‘ආමගෙඩ්න්’ විද්‍යා ප්‍රබන්ධයකි. ඒත් ග්‍රහකවලින් පෘථිවියට එල්ල වන තර්ජන නම් ප්‍රබන්ධයක් නොවෙයි. සෑබෑවකි. පෘථිවියට තර්ජනයක් වන ආකාරයේ දැවැන්ත ග්‍රහක රැසක් විශ්වයේ සැරිසරයි. ඒවායින් බොහොමයක් හඳුනා ගෙන ඒවායේ ගමන් මග ගණනය කර ගැනීමට නාසා ආයතනය සමත් වී සිටී. 

ග්‍රහක යනු විශ්වයේ පාවෙන ප්‍රමාණයෙන් විශාල ග්‍රහලෝක සහ චන්ද්‍රයන්ගේ කැබලිය. මේවා මෙසේ කැබැලි වී ඇත්තේ විශ්වය ආරම්භයේ දී සිදුවුණු ඝට්ටන සහ පිපිරීම් නිසාය. අප පෘථිවියේ හැපී අනතුරක විය හැකි යෝධ ග්‍රහක 8,000 ක් පමණ පෘථිවි තාරකා විද්‍යාඥයන් විසින් හඳුනා ගනු ලැබ තිබේ. 

ඒ අනුව, අවුරුදු මිලියන 65 කට පෙර ඩයිනසෝරයන් වඳවී ගිය අයුරින් ග්‍රහකයක් පෘථිවියේ ගැටී අපගේ විනාශය සිදුවීමට ඉඩ ඇත. එසේ නම්, පෘථිවිය බේරා ගැනීමට කළ යුත්තේ කුමක්ද? නාසා විද්‍යාඥයන් ‘ඩාර්ට්’ නමැති මෙහෙයුම ආරම්භ කර ඇත්තේ මේ නිසාය. ‘ඩාර්ට්’ විද්‍යා ප්‍රබන්ධයක් නොවෙයි. පසුගිය වසරේ ආරම්භ කළ ‘ඩාර්ට්’ මෙහෙයුම 26 වැනිදා ක්‍රියාත්මක වෙයි. මේ සටහන ඒ වෙනුවෙනි. 

‘ඩාර්ට්’ යනු අත්හදා බැලීමේ මෙහෙයුමකි. ‘ඩාර්ට්’ යන්නෙහි අර්ථය ‘ග්‍රහක මඟ වෙනස් කිරීමේ පරීක්ෂණය’ Double Asteroid Redirection Test යන්නය. අත්හදා බැලීමක් ලෙස සිදුවන ‘ඩාර්ට්’ මෙහෙයුමේ අරමුණ, නියමුවන් රහිත අභ්‍යවකාශ යානයක්, ග්‍රහකයක හැප්පීමට සලස්වා, එම ග්‍රහකයේ ගමන් මග වෙනත් අතකට යොමු කිරීමය. 

අනාගතයේ දිනෙක පෘථිවියේ හැපීමට යෝධ ග්‍රහකයක් පැමිණෙන්නේ නම්, එම ග්‍රහකයට යානයක් යවා හැපෙන්න සලස්වා, ග්‍රහකයේ ගමන් මග වෙනස් කර, එය පෘථිවිය මග හැර යෑමට සැලැස්වීම ‘ඩාර්ට්’මෙහෙයුම ආරම්භ කිරීමේ ප්‍රධාන අරමුණ බව ඇමෙරිකාවේ නාසා ආයතනය පැහැදිලි කර තිබේ. 

 වසර ගණනාවක් සැලැසුම් කිරීමෙන් පසු නාසා විද්‍යාඥයන්, ‘ඩාර්ට්’ මෙහෙයුම ආරම්භ කළේ පසුගිය 2021 වසරේ නොවැම්බරයේය. ඩාර්ට්’ මෙහෙයුමට අදාල ‘ඩාර්ට්’ රොබෝ යානය, පසුගිය නොවැම්බර් 24 වැනිදා 'ෆෝල්කන් 9' රොකට්ටුවක ආධාරයෙන් පෘථිවි කක්ෂයට තල්ලු කෙරුණි. රොකට්ටුවෙන් මිදුණු යානය, විශ්වයේ ඈතට ගමන් ආරම්භ කළේය. මේ වනවිට එම ගමනේ අවසානයට යානය පැමිණි ඇති අතර, යානයේ මෙහෙයුම ද අවසන් වීමට නියමිතය. 

‘ඩාර්ට්’ මෙහෙයුම සඳහා නාසා ආයතනය 'ස්පේස් එක්ස්' පෞද්ගලික අභ්‍යවකාශ සමාගම සමඟ එක් වී කටයුතු කරයි. 'ෆෝල්කන් 9' යනු 'ස්පේස් එක්ස්' සමාගම නිපදවා ඇති අධිබලැති රොකට්ටුවය. නාසා ආයතනය විශ්වය ගවේෂණයට රොබෝ යානා යවා ඇත. ග්‍රහලෝක ගවේෂණයට පමණක් නොව ග්‍රහක ගවේෂණයට ද රොබෝ යානා යවා ඇත. ඇතැම් යානා සාර්ථකව නියමිත මෙහෙයුම් සම්පූර්ණ කළේය. 

ඇතැම් යානා අසාර්ථක වී ග්‍රහලෝක මතට කඩා වැටුණි. ‘ඩාර්ට්’ යනු නාසා ආයතනය හිතාමතා ග්‍රහකයකට හැප්පී විනාශ වීමට නිපදවූ පළමු රොබෝ යානයයි. නාසා ආයතනය හිතාමතා රොබෝ යානයක් ග්‍රහකයක හැපීමට සලස්වන පළමු අවස්ථාව වන්නේ ද මෙයයි. 'ඩාර්ට්' පෙරහුරු මෙහෙයුමට වැය වන මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 325 කි. නාසා ආයතනය 'ඩාර්ට්' මෙහෙයුම සැලැසුම් කළේ 2017 වසරේදීය.
'ඩාර්ට්' යානය නිපදවීමට නාසා ආයතනය මූලිකත්වය ගෙන කටයුතු කළත්, යුරෝපා සහ ජපන් අභ්‍යවකාශවල තාක්ෂණික සහාය ද ඊට හිමිවිය. 'ඩාර්ට්' යානය රැගත් 'ෆෝල්කන් 9' රොකට්ටුව අභ්‍යවකාශය බලා යෑම සිදුවූයේ කැලිෆෝනියාවේ 'වැන්ඩෙන්බර්ග් ස්පේස්ෆෝස්' අභ්‍යවකාශ කඳවුරෙනි. පෘථිවි කක්ෂයට ගිය පසු 'ඩාර්ට්' ග්‍රහකය බලා ගමන් ඇරැඹුවේ, පළමුවෙන් පෘථිවියේ ගුරුත්වා බලය යොදා ගනිමින් හිරු වටා යමිනි.

'ඩාර්ට්' යානය වසරක පමණ කාලයක් තිස්සේ විශ්වයේ ඈතට ඈතට ගමන් කරමින් දැන් අදාල ඉලක්කය බලා පැමිණ සිටී. ‘ඩාර්ට්’ රොබෝ යානයේ ඉලක්කය ග්‍රහක දෙකකි. ‘ඩිමෝර්පස්’ සහ ‘ඩිමොර්පිස්’ වනු එම ග්‍රහක දෙකය. ‘ඩිමෝර්පස්’ කුඩාය. ‘ඩිමොර්පිස්’විශාලය. එකිනෙකට සමීප ලෙස පිහිටි මෙම ග්‍රහක යුගල හිරු වටා ගමන් කරන අතර, සැප්තැම්බර් 26 වැනිදා සිට ඔක්තෝබර් පළමු වැනිදා තෙක්, පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 6.8 ක් දුරින් පිහිටයි. 

‘ඩාර්ට්’ යානයට උපදෙස් ලබා දී ඇත්තේ ‘ඩිමෝර්පස්’ ග්‍රහකයේ හැපීමටය. එය සැප්තැම්බර් 26 වැනිදා සිට ඔක්තෝබර් පළමු වැනිදා තෙක් කාලය තුළ සිදුවනු ඇත. ‘ඩාර්ට්’ මෙහෙයුමේ අරමුණ ‘ඩිමෝර්පස්’ ග්‍රහකයේ ගමන් මග වෙනස් කිරීමය. සිදුවන ඝට්ඨනයෙන් ග්‍රහකයේ ගමන් මඟ තත්පරයකට මිලිමීටර් ගණනකින් වෙනස් කිරීමට නාසා විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති. 

‘මේක ඇත්තටම ලෝකයට ඉතාමත් වැදගත් පෙරහුරු මෙහෙයුමක්. මෙහෙයුම සාර්ථක වේවි යැයි අප විශවාස කරනවා. මිනිස් වර්ගයාගේ පැවැත්ම තීරණය කරන්න මේ මෙහෙයුමට අනාගතයේ හැකිවේවි. අනාගතයේ ග්‍රහක අනතුරකින් පෘථිවිය බේරා ගැනීමට ඇති එකම විසඳුම වන්නේ මෙයයි’ යැයි නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 

‘ඩිමෝර්පස්’ ග්‍රහකය, ‘ඩිමෝර්පිස්’ වටා කැරැකෙන අතර, ග්‍රහක දෙකම එකට විශ්වයේ ඇදී යයි. සැප්තැම්බර් 26 සිට ඔක්තෝබර් පළමු වැනිදා ඇතුළත දිනයක ඝට්ටනය සිදුවනු ඇතැයි පැවැසුවත්, නාසා විද්‍යාඥයන් නම්, පවසා ඇත්තේ සැප්තැම්බර් 26 වැනිදා ඇමෙරිකාවේ වේලාවෙන්, 19.14 ට ‘ඩාර්ට්’ යානය, ‘ඩිමෝර්පස්’ ග්‍රහකයේ ගැටෙනු ඇති බවය. 

දකුණු අප්‍රිකාවේ විශ්වය නිරීක්ෂණය කරන දුරේක්ෂ සහ ඉතාලියේ රෝමය කේන්ද්‍රකොට ගත් ‘වර්චුවල් ටෙලස්කෝප් ප්‍රෙජෙක්ට් Virtual Telescope Project ව්‍යාපෘතිය එක් වී, ග්‍රහක ඝට්ටනය පෘථිවි අපට දකින්න සලස්වන අතර, එය සජීවීව නාසා ආයතනයේ නිල වෙබ් අඩවිය හා සම්බන්ධ ‘නාසා ටීවී’ යූ ටියුබ් නාළිකාව ඔස්සේ නැරැඹීමට හැකිය. ඝට්ටනයේ දී ග්‍රහකයේ දීප්තිය වෙනස්වීම, පසුව එහි ගමන් මග වෙනස් වීම ‘නාසා ටීවී’ හරහා පෘථිවියේ සිටිව ඕනෑම කෙනකුට නරඹන්න හැකි වේවි යැයි ‘නාසා’ ආයතනය කියයි.

‘ඩිමෝර්පස්’ ග්‍රහකය මෙම මෙහෙයුම සඳහා තෝරා ගැණුනත්, ‘ඩිමෝර්පස්’ ග්‍රහකයයෙන් හෝ ‘ඩිමොර්පිස්’ ග්‍රහකයෙන් හෝ පෘථිවියට අනතුරක් නොමැති බව ද නාසා විද්‍යාඥයෝ පැහැදිලි කරති. ‘ඩිමෝර්පස්’ ග්‍රහකය, ‘ඩිමොර්පිස්’ ග්‍රහකය වටා එක් වටයක් යෑම සිදුවන්නේ පැය 11 ක් සහ මිනිත්තු 55 කට වරකි.

එය ඉතා නිවැරදිව, දශමයක් හෝ ප්‍රමාද නොවී සිදුවන්නකි. ‘ඩාර්ට්’ යානය . ‘ඩිමෝර්පස්’ ග්‍රහකයේ හැපුණොත්, එහි ගමන් මග මිනිත්තු 10 කින් වෙනස් වනු ඇත. පෘථිවි දුරේක්ෂවලට එම වෙනස පැහැදිලිව හඳුනා ගැනීමට හැකිවනු ඇත. 

෴ ලුසිත ජයමාන්න
 උපුටා ගැනීම - Daily Mail

Classified_Ad

Classified_Ad_News_Bottom