කඩුලු 6ක විශිෂ්ට ජයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Sep 7, 2022

කඩුලු 6ක විශිෂ්ට ජයක්

විස්සයි 20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන්, කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 

ඉතාමත් තියුණු තරගයකින් පසු, ජයග්‍රහණය සඳහා ලකුණු 173 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු හතරක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. ශ්‍රී ලංකා කණ්ඩායම පහසුවෙන් අවසන් වටයට සුදුසුකම් ලබන නමුත් ඉන්දියාව මෙම පරාජයෙන් පසු දැඩි අවදානම් තත්ත්වයකට පත් විය. 

අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට නම්, ඉන්දියාවයට, ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගය ජයගත යුතු වන අතර, සෙසු තරගවලදී ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය හමුවේ පාකිස්තානය කණ්ඩායම පරාජයට පත්විය යුතුය. එසේ වුවත්, එහිදී එක් ජයග්‍රහණය බැගින් ලබන කණ්ඩායම් තුනෙහි ශුද්ධ ලකුණු වේගයන් සලකා බැලෙනු ඇත. 

අද දින (7) පැවැත්වෙන තරගයේදී ඇෆ්ගනිස්තානය පරාජය කිරීමට පාකිස්තානය සමත් වුවහොත්, සෙසු තරගවල ප්‍රතිඵලයන් කෙසේ වුවද ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය නිසැක වශයෙන්ම අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත. 

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දු වාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 173 ක් ලබාගත්තේය. ඉනිමේ අවසන් භාගයේදී ලකුණු 15 ක් තුළ කඩුලු 4 ක් දවාගත් දිල්ෂාන් මධුෂංක ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ, ඉන්දීය කණ්ඩායම විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යෑමෙන් වළක්වා ගත්හ. 

පන්දුවට පහර දීමට පිටියට පිවිසීමෙන් පසු, පන්දු 18 ක් තුළ ලකුණු 13 කට කඩුලු 4 ක් බිඳ වැටුණ ද, භානුක රාජපක්ෂ (නොදැවී 25) සමඟ එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 34 කදී ලකුණු 64 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගා ගනිමින්, නායක දසුන් ශානක (නොදැවී 33) ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. 

පන්දු 18 කදී වාර්තා වූ දසුන්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සමන්විත වූ අතර පන්දු 17 කදී වාර්තා වූ භානුකගේ ඉනිමට හයේ පහර 2 ක් ඇතුළත් විය. පළමු පන්දුවාරයේ දී ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කළ ද ඉන් අනතුරුව ක්‍රම ක්‍රමයෙන් ප්‍රහාරය ඇරඹූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවෝ, අධිවේගී ඕවර 6 තුළදී ලකුණු 57 ක් රැස්කළහ. 

ඉන් නොනැවතුණ ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල සඳහා පන්දු 67 කදී ලකුණු 97 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. එහිදී පන්දු 37 කට මුහුණදුන් පැතුම් නිස්සංක හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග සිය 6 වැනි විස්සයි 20 අර්ධ ශතකය ලබා ගත්තේය.

ඉන්දියාව
ලෝකේෂ් රාහුල් - ක.මු. කළා ප.තීක්ෂණ         6
රෝහිත් ශර්මා - ඇ.පැතුම් ප.කරුණාරත්න     72
විරාට් කෝලි - ප.මධුෂංක                                0
සූර්යකුමාර් යාදව් - ඇ.තීක්ෂණ ප.ශානක        34
හර්දීක් පාණ්ඩ්‍යා - ඇ.පැතුම් ප.ශානක            17
රිෂාබ් පාන්ට් - ‍ඇ.පැතුම් ප.මධුෂංක                17
දීපක් හූඩා - ප.මධුෂංක                                    3
රවිචන්ද්‍රන් අෂ්වින් - නොදැවී                         13
බුව‍නේෂ්වර් කුමාර් - ප.කරුණාරත්න               0
යුස්වේන්ද්‍ර චාහල් ‍- නොදැවී                             1
අතිරේක                                                         8
එකතුව ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී             173

කඩුලු වැටීම :
1-11(රාහුල්), 2-13(කෝලි), 3-110(ශර්මා), 4-119(යාදව්), 5-149(පාණ්ඩ්‍යා), 6-157(හූඩා), 7-158(පාන්ට්), 8-164(බුවනේෂ්වර්)

පන්දු යැවීම :
දිල්ෂාන් මධුෂංක 4-0-24-3, මහීෂ් තීක්ෂණ 4-0-29-1, චාමික කරුණාරත්න 4-0-27-2, අසිත ප්‍රනාන්දු 2-0-28-0, වනිඳු හසරංග 4-0-39-0, දසුන් ශානක 2-0-26-2

ශ්‍රී ලංකාව
පැතුම් නිස්සංක - ඇ.රෝහිත් ප.චාහල්            52
කුසල් මෙන්ඩිස් - ක.මු. කළා ප.චාහල්           57
චරිත් අසලංක - ඇ.යාදව් ප.චාහල්                    0
ධනුෂ්ක ගුණතිලක - ඇ.රාහුල් ප.අෂ්වින්          1
භානුක රාජපක්ෂ - නොදැවී                           25
දසුන් ශානක - ‍නොදැවී                                 33
අතිරේක                                                         6
එකතුව ඕවර 19.5 කදී කඩුලු 4 ක් දැවී          174

කඩුලු වැටීම :
‍1-97(පැතුම්), 2-97(චරිත්), 3-110(ධනුෂ්ක), 4-110(කුසල්)

පන්දු යැවීම :
බුවනේෂ්වර් කුමාර් 4-0-30-0, අර්ෂ්දීප් සිං 3.5-0-40-0, හර්දීක් පාණ්ඩ්‍යා 4-0-35-0, යුස්වේන්ද්‍ර චාහල් ‍4-0-34-3, රවිචන්ද්‍රන් අෂ්වින් 4-0-32-1

Classified_Ad

Classified_Ad_News_Bottom