ශ්‍රී ලංකාවට කඩුලු 4 ක ජයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Sep 4, 2022

ශ්‍රී ලංකාවට කඩුලු 4 ක ජයක්

සුපිරි සිවු දෙනාගේ වටය ආරම්භ කරමින්, ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ඊයේ (3 වැනිදා) පැවැති තරගයේදී කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 176 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු 5 ක් ඉතිරිව තිබියදී කඩුලු 6 ක් දැවී එම ඉලක්කය සම්පූර්ණ කළේය. 

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගන් කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 175 ක් ලබාගත්තේය. පන්දු වාර 18 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 163 ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවූ ඇෆ්ගන් කණ්ඩයමට දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට තිබූ අවස්ථාව අහිමි කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ, අවසන් පන්දු වාර 2 ලකුණු 12 කට සීමා කරමින් එහිදී කඩුලු 3 ක්ද දවාගත්‍හ. 

 පිටියට පිවිසීමෙන් පසු මුහුණ දුන් පන්දු 14 න් 5 ක්ම හතරේ සීමාවෙන් එපිටට යැවීමට භානුක රාජපක්ෂ සමත් වීම විශේෂත්වයකි. අවසන් පන්දු වාර කිහි‍පයේදී ධනුෂ්ක ගුණතිලක සමග එක්ව 5 වැනි කඩුල්ලට පන්දු 15 කින් ලකුණු 32 ක්ද, වනිඳු හසරංග සමග එක්ව 6 වැනි කඩුල්ලට පන්දු 11 කින් ලකුණු 23 ක් ද එක් කරමින්, ශ්‍රී ලකා කණ්ඩායමට ජයග්‍රණයේ මාවතට යොමු කළේය. 

ජයග්‍රහණයට ලකුණු 2 ක් පසුපසින් සිටියදී භානුක රාජපක්ෂ දැවී ගිය ද, ඉන්පසු පිටියට පිවිසි චාමික කරුණාරත්න හතරේ පහරකින් ජයග්‍රහණය තහවුරු කිරීමට සමත් විය. නායකයා සහ උප නායකයා දැවී යද්දී ශ්‍රී ලංකා ඉනිමේ මැද පෙළ සවිමත් කළ ධනුෂ්ක ගුණතිලක අංක 4 පිතිකරු ලෙස නව ජවයක් එක්කරමින් පන්දු 20 කදී ලකුණු 33 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමඟිනි‍. 

පිටියට පිවිසි මොහොතේ සිට, පන්දුව පසු පස හඹාගොස් පහර එල්ල කළ වනිඳු හසරංග පන්දු 9 කදී හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 16 ක් රැස්කළේය. ශ්‍රී ලංකා ඉනිමේ පළමු පන්දුවම හතරේ සීමාව කරා යැවූ පැතුම් නිස්සංක, තෙවැනි පන්දු වාරයේ අවසන් පන්දු දෙකට ද පිට පිටම හතරේ පහර දෙකක් එල්ල කරමින් ආරම්භයේ සිටම ඇෆ්ගන් පන්දු යවන්නන්ට පීඩනයක් එල්ල කරන්න විය. ඊට නොදෙවෙනි පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස්, මුජිබුර් රහමාන් ට පීඩනයක් එල්ල කළේ වේගවත් හයේ පහර දෙකකිනි.

මෙම තරග ජයත් සමග ශ්‍රී ලංකා නායක දසුන් ශානක ඉතිහාස ගත වුණේ, ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩි ම විස්සයි 20 තරග ගණනක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයග්‍රහණය කළ නායකයා ලෙසය. වත්මන් විස්සයි 20 නායක දසුන් ශානකගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇති තරග සංඛ්‍යාව 14 කි. 

මීට පෙර කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව 20 යි 20 තරග 13ක් සහ දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් තරග 13ක් ජයගෙන තිබේ. මහේල ජයවර්ධනගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ජයගෙන ඇති 20 යි 20 තරග සංඛ්‍යාව 12 කි. ලසිත් මාලිංගගේ නායකත්වයෙන් තරග 7ක් සහ ඇන්ජෙලෝ මැතිව්ස්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන ඇති 20 යි 20 තරග සංඛ්‍යාව 6 කි.

ඩුබායි හිදී පැවති 20යි 20 ජාත්‍යන්තර තරගයකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹා ගොස් ජයග්‍රහණය කිරීමේ වාර්තාවට ශ්‍රී ලංකාව හිමිකම් කියයි.  ශ්‍රී ලංකා කණ්ඩායම එම වාර්තාව පිහිටුවූයේ පසුගියදා බංග්ලාදේශය සමග පැවති තරගයේදීය. එම තරගයේදී ශ්‍රී ලංකාව හඹාගිය ලකුණු සංඛ්‍යාව 184ක්. 

ඇෆ්ගනිස්තානය
හස්රතුල්ලා සසායි - ‍ප.මධුෂංක                      13
රහ්මතුල්ලා ගුර්බාස් - ඇ.හසරංග ප.අසිත       84
ඊබ්‍රහීම් සද්‍රාන් - ඇ.අසිත ප.මධුෂංක                40
නජිබුල්ලා සද්රාන් - දුවද්දී දැවී ගියා               17
මොහොමඩ් නබී - ඇ. සහ ප.තීක්ෂණ               1
රෂීඩ් ඛාන් - දුවද්දී දැවී ගියා                             9
කරීම් ජානට් - නොදැවී                                    0
අතිරේක                                                       11
එකතුව පන්දුවාර 20 කදී කඩුලු 6 ක් දැවී       175

කඩුලු වැටීම :
1-46 (සසායි), 2-139 (ගුර්බාස්), 3-151 (ඊබ්‍රහීම්), 4-166 (නබී), 5-166 (නජිබුල්ලා), 6-175 (රෂීඩ්)

පන්දු යැවීම :
මහීෂ් තීක්ෂණ 4-0-29-1, අසිත ප්‍රනාන්දු 4-0-34-1, දිල්ෂාන් මධුෂංක 4-0-37-2, වනිඳු හසරංග 4-0-23-0, චාමික කරුණාරත්න 2-0-29-0, දසුන් ශානක 2-0-22-0

ශ්‍රී ලංකාව
පැතුම් නිස්සංක - ඇ.ගුර්බාස් ප.මුජිබුර්            35
කුසල් මෙන්ඩිස් - ඇ.ඊබ්‍රහීම් ප.නවීන්             36
චරිත් අසලංක - ප.නබී                                     8
ධනුෂ්ක ගුණතිලක - ප.රෂීඩ්                          33
දසුන් ශානක - ඇ.නජිබුල්ලා ප.මුජිබුර්            10
භානුක රාජපක්ෂ - ප.නවීන්                           31
වනිඳු හරසංග - නොදැවී                                16
චාමික කරුණාරත්න - නොදැවී                        5
අතිරේක                                                         5
එකතුව ඕවර 19.1 කදී කඩුලු 6 ක් දැවී          179

කඩුලු වැටීම :
1-62 (කුසල්), 2-80 (පැතුම්), 3-94 (චරිත්), 4-119 (දසුන්), 5-151 (ධනුෂ්ක), 6-174 (භානුක)

පන්දු යැවීම :
ෆසාල්හක් ෆරූකි 3.1-0-34-0, මුජිබුර් රහමාන් 4-0-30-2, නවීන් උල්හක් 4-0-40-2, රෂීඩ් ඛාන් 4-0-39-1, මොහොමඩ් නබී 4-0-34-1

Classified_Ad

Classified_Ad_News_Bottom