හිතට වද දෙන කුරුලෑ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 20, 2023

හිතට වද දෙන කුරුලෑ

යොවුන් වියේ ඔබට කුරුලෑ කියන්නේ වදයක් බව අමුතුවෙන් කිවයුතු නැත. කළු හෝ සුදු කුඩා බිබිලිවලට බ්ලැක් හෙඩ්ස් කියද්දි, පොඩි රතු බිබිලිවලට පිම්පල්ස් නැතිනම් කුරුලෑ කියයි. සැරව බිබිලි සේ සුදු පැහැති බිබිලි ඇති වීම, නැතහොත් පෙස්ටියුලා විශාල බිබිලි ඇති වීම, කුරුලෑ ලෙස හැ‍ඳින් වෙයි. 

පුංචි බිබිලිවලින් ලොකු හානියක් නැතත් ප්‍රමාණයෙන් ලොකු බිබිලිවලින් ඇතිවන ලප කැලැල් ගැටලුවකි. මුහුණේ පැහැපත් බව නැති කරන්නට එම කැලැල් සමත් වෙයි. කුරුලෑ පාලනය කර ගන්නේ කෙසේද? මේ කියන්න හදන්නේ ඒ ගැනයි. 

ඕනෑම අයකුගේ සමේ තෙල් සාදන ග්‍රන්ථිය වන රෝම කූප සම්බන්ධ වන ස්ථානයේ බිබිලක් විදිහට සමට නෙරාගිය කොටසක් පවතින අතර, ස්ත්‍රී පුරුෂ භේදයක් තොරව, තරුණ වයසේදී හෝමෝන ස්‍රාවය වන බැවින්, ඇතැම් අවස්ථාවලදී බල්බයක් ආකාරය සම තුළ හිරවීමක් විය හැකිය. මේ හෝමෝන ස්ටෙක්ටරන් ලෙස හැඳින්වෙයි. 

සමේ සාමාන්‍යයෙන් ඇති බැක්ටීරියා මෙම බිබිල තුළට රිංගා හෝමෝන වැඩියෙන් පවතින විට ඉතාමත් හොඳින් වර්ධනය වන්නටත් පටන් ගනී. එවිට එම බිබිල විශාල වී ඉදිමී කුරුලෑවක් බවට පත්වෙයි. පුද්ගලයාගෙන් පුදගලයාට කුරුලෑ ඇති වෙන්න හේතු එකිනෙකට වෙනස් විය හැකිය. 

ඔබ අහලවත් නැතිව ඇති මේ හේතු නිසා කුරුලෑ වැඩිවන බව. ඒ හේතු මොනවද යන්නත් හඳුනා ගනිමු. 

කළු පැහැති සමක් ඇති මුහුණේ පවා රෝම වැවෙන අය, ඔසප් චක්‍රය අක්‍රමවත් සහ ඩිම්බ කෝෂයන්ගේ රෝග ඇති කාන්තාවන්ට මෙන්ම මුහුණේ වැඩිපුර රෝම ඇති කාන්තාවකට, පිටියුටරි ග්‍රන්ථියේ රෝග තත්ත්වයන් ඇති අය, ස්ටෙරොයිඩ් වර්ගයේ ඖෂධ ගන්නා අය, මී මැස්මොරය රෝගය ඇති අය, ඇතැම් මානසික රෝගවලට දෙන ඖෂධ භාවිත කරන අය, කඩචෝරු ඇතුළු කෙටි ආහාර මෙන්ම අධික ලෙස කිරි ආහාර භාවිත කරන අය ප්‍රමිතියෙන් තොර ආලේපන ගල්වන අය චොක්ලට් වැඩිපුර ආහාරයට ගන්නා අය, සමේ පිරිසුදුකම ගැන නොසැලකිලිමත් අය, නිරන්තරයෙන් රූපලාවන්‍ය කටයුතු කරන අය, ප්‍රමාණවත් නින්දක් නොලබන අයට සහ ඌෂ්ණ දේශගුණයක සිටින අයගේ වැඩිපුර කුරුලෑ මතුවෙන්න පුළුවනි. 

ඒත් කුරුලෑවලට දැන් නවීන ප්‍රතිකාර රාශියක් තිබෙන බැවින් බය නොවී චර්ම රෝග සායනයකට ගොස් උපදෙස් ගැනීම කළ හැකිය. කිසිවිටක කුරුලෑ ඇල්ලීම හා කැඩීම නොකළ යුතුය. PH අගය 5-7ත් අතර මෘදු සබන් භාවිත කිරීම උචිතය. හිතුමතේ ඖෂධ භාවිත නොකළ යුතුය. 

වෛද්‍ය උපදෙස් මත ඖෂධ ගන්නේ නම්, එම නිර්දේශිත ඖෂධ නියමිත කාලයට නියම ප්‍රමාණයන්ගෙන් ගැනීම වැදගත්ය. සම සුදුවීමට ගන්නා ස්ටීරොයිඩ ගණයේ ආලේපවලින් වැළකිය යුතුය. මානසික ආතතීන්ගෙන් මිදීම වැදගත්ය. තෙල් සහිත මාංශවලට වඩා ශාකමය ආහාරයන්ට නැඹුරු වීම කළ යුතුය. 

විටමින් E සහ C අධික පලතුරු ආහාරයට ගැනීම ද වැදගත්ය. හුමාලයට මුහුණ අල්ලා සතියට දින දෙකක්වත් මුහුණ පිරිසුදු කර ගැනීමෙන් අධික තෙල් ඉවත් කර ගැනීම කළ හැකිය. ඔබ කුරුලෑවලින් දැඩිව පීඩාවට පත් අයෙකු නම්, චර්ම රෝග සම්බන්ධයෙන් නිසි සුදුසුකම්ලත් වෛද්‍යවරයකු හමුවීම කළ යුතුමය.

Classified_Ad

Classified_Ad_News_Bottom