ආලෝකගේ කතාව - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jan 10, 2026

ආලෝකගේ කතාව


හාමුදුරුවෝ 19 දෙනයි; බල්ලයි. ඇමෙරිකාවේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා යන පා ගමනකි. සාමාන්‍යයෙන් ඇමෙරිකාවේ, කිසියම් පිරිසක් වීදි බැස පා ගමනකට එක් වන්නේ අසාධාරණයක් වෙනුවෙන් විරෝධයක් පළ කිරීමටය. ඒත් මේ පා ගමන එසේ නොවෙයි. මෙම පා ගමන විරෝධතා පා ගමනක් ද නොවෙයි. පිරිත් කියමින්, මඟදී හිමිවන දානය පිළිගනිමින්, එළිමහනේ කූඩාරම්වල රැය පහන් කරමින්, හමුවන සියලු දෙනාට ආශිර්වාද කරමින්, විටෙක ගිනියම් අව්වේ ද විටෙක දැඩි සීතලේ ගැහෙමින් යන පා ගමනකි. ගැටුම් එපා, සමාව දෙන්න, වෛරය එපා කරුණාව දක්වන කියමින්, සහජීවනය සහ සාමය ප්‍රවර්ධනය කරමින් යන පා ගමනකි.

බෞද්ධ භික්ෂූන් වහන්සේලා 19 දෙනා සමඟ, ඇමෙරිකාවේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා ඇවිද යන බල්ලා මේ වනවිට ලොව පුරා ප්‍රසිද්ධ චරිතයකි. සමාජ මාධ්‍ය හරහා කාගේත් ආදරය දිනූ ඔහුගේ නම ආලෝක ය. ආලේක වංශවත් පැටිකිරියක් ඇත්තකු නම් නොවෙයි. ඒත් ඔහුට ආදරය නොකර බැරිය. ආලෝකගේ ඡායාරූප, වීඩියෝවලින් සමාජ මාධ්‍ය පිරී අවසන්ය. වසර කීපයකට පෙර, ඉන්දියාවේ දඩාවතේ ගිය වීදි සුනඛයකු වූ ආලෝක, අද ලෝකයේ අවධානය දිනා ගත්තේ කොහොමද? අද ඔහු ජීවත් වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේය. ඒ, ඇමෙරිකානු පුරවැසියකු ලෙසය. 
 සාම පා ගමනට එක් වී සිටින භික්ෂූන් වහන්සේලාගෙන් වැඩි දෙනා වියට්නාම ජාතික භික්ෂූන් වහන්සේලාය. සාම පා ගමනට ටෙක්සාස් ජනපදයේ, ෆෝට්වර්ත් නුවර, ඕං ඩාවෝ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ වැඩ වාසය කරන, පඤ්ඤාකර හිමියන්ය. ආලෝකට බාරකරුවකු සිටිනවා නම් ඒ, පඤ්ඤකර හිමිය. 

පඤ්ඤාකර හිමියන්ගේ දෙපා අසල ගැවසෙන, ‘ආලෝක’ පඤ්ඤාකාර හිමියන්ට පමණක් නොව, සාම පා ගමනට එක් වන සෙස් භික්ෂූන් වහන්සේලාට ද ආරක්ෂකයෙකි. සහජීවනය, දයාව සහ කරුණාව පෙරදැරි කර ගනිමින්, පසුගිය 2025 ඔක්තෝබර් 26 වැනිදා, ඕං ඩාවෝ විපස්සනා භාවනා මධ්‍යස්ථානයෙන් ඇරැඹුණු පා ගමන කිලෝ මීටර් 3,700 ක් පමණ දුර ගෙවා, වොෂින්ටන් අගනුවරට යෑම අරමුණ වෙයි. ඊට ගතවන කාලය දින 120 ක් යැයි අනුමාන කෙරේ. ඔබ මේ සටහන කියවද්දී, සාම පා ගමන උතුරු කැරොලිනා ජනපදය පසු කර යමින් තිබුණි. දින 77 ක් ගත වී ඇත. 
පඤ්ඤාකර භික්ෂූන් වහන්සේට ආලෝක හමුවීමේ කතාව වසර කීපයක් ඈතට දිව යයි. එදා පඤ්ඤාකර භික්ෂූන් වහන්සේ ප්‍රමුඛ කණ්ඩායම, ඉන්දියාවේ සිට නේපාලය දක්වා දින 112 ක් තිස්සේ, කිලෝ මීටර් 3,000 දුරක් සාම පා ගමනක නියැලුණහ. භික්ෂූන් වහන්සේලා පිරිස කල්කටා නුවරට වැඩම කළ අවස්ථාවේදී, ඔවුන්ට මේ වීදි සුනඛයා හමුවී ඇත. දුටු පළමු මොහොතේ පටන්, සුනඛයා පඤ්ඤාකර භික්ෂූන් අසල ගැවසෙන්න විය. පඤ්ඤාකර භික්ෂූන් වහන්සේගේ පමණක් නොව, සාම පා ගමනට එක්වුණු සෙසු භික්ෂූන් වහන්සේලාගේත් ආදරය දිනා ගැනීමට සුනඛයා සමත් වී ඇත. සුනඛයා ‘ආලෝක’ යනුවෙන් නම් කළේ පඤ්ඤාකර හිමියන්ය.

“මම යන්නේ කොහෙද ආලෝක මා එක්ක ඉන්නවා. ඒ බැඳීම පුදුමාකාරයි. මමත් සෙසු භික්ෂූන් වහන්සේලාත් සමඟ ආලෝක ඉන්දියාවේ සාම ගමනට එක් වුණා. දින ගණනක් නොකඩවා අප ගමන් කළා. අප ළඟ රසවත් ආහාර තිබුණේ නැහැ. පා ගමනේ දී අපට ලැබුණු දෙයින් කොටසක් අප ආලෝකට වෙන් කළා. කොතරම් වෙහෙසකර වුණත් ආලෝක අප හැර යන්නේ නැහැ. දන් වළඳද්දී ඔහු අප සමඟ සිටිනවා. සැතපෙද්දී, ආලෝක අප අසල නිදා ගන්නවා. නේපාලය තෙක් වැඩ ම කළ පා ගමනට එක් වුණු නිසා ආලෝක ඉන්දියාවේ බොහොම ප්‍රසිද්ධ වුණා. සමාජ මාධ්‍ය ඔස්සේ පවා ආලෝක අද වන විට ප්‍රසිද්ධයි. ආලෝක වීදි සුනඛයකු ලෙස වසර ගණනක් දුක් ගැහැට විඳි සතකු බව අපට ඔහු හමුවන විට වැටහුණා. 

සිරුරේ ඇති තුවාල ඒකට හොඳ සාක්ෂියක් දරණවා. ආලෝක ඉන්නේ අසනීපෙන්. ඒත් අප සමඟ ගමන් කරන්නට යි ඔහුට ඕනෑ. පශු වෛද්‍යවරුන්ගේ පරීක්ෂාවට ඔහු නිතර ලක් වෙනවා. වරක්, අප සමඟ යද්දී ආලෝක මෝටර් රථයක හැපුණා. බරපතල විදියට තුවාල වුණා. අප හිතුවේ මැරුණා කියලයි. ඒත් එහෙම වුණේ නැහැ. සුවය ලැබුවා. අප අවශ්‍ය ප්‍රතිකාර කළා. ඊට පස්සේ පා ගමන යද්දී, මම වෙනම මෝටර් රථයක් ආලෝකට ලබා දුන්නා. පයින් යන්නේ නැතිව මෝටර් රථයෙන් එන්න ඉඩ සලසමින්. ඒත් එයා ඒකට කැමති වුණේ නැහැ. එයා මෝටර් රථයෙන් බිමට පැනලා අප සමඟ පයින් යන්න ගත්තා. ඉතිං මෝටර් රථය ආපහු යැව්වා. කොතරම් අමාරු වුණත් වෙහෙසකර වුණත් එයාට ඕනෑ අප සමඟ පයින් යන්නයි. 

ආලෝකගේ ධෛර්යය, අපටත් ධෛර්යයක්; ශක්තියක්. කල්කටා සිට නේපාලය දක්වා පා ගමන අවසන් වෙද්දී, තව දුරටත් වීදි සුනඛයකු ලෙස ආලෝක වීදි සැරිසරනවා දකින්න මමත් අනෙක් භික්ෂූන් වහන්සේලාත් කැමති වුණේ නැහැ. ඒ නිසා මමත් අනෙක් භික්ෂූන් වහන්සේලාත් තීරණය කළා ආලෝක අපේ භාරයට ගන්න. අපි ආපසු ඇමෙරිකා එද්දී, ආලෝක අරන් ආවා. අප සමඟ. අප පැමිණි ගුවන් යානයෙනි. ඒ සඳහා ලියවිලි සහ පෝරම රැසකට අපට අස්සන් කිරීමට සිද්ධ වුණා. කල්කටාවෙන් හමුවුණු වීදි සුනඛයා අප සමඟ ඇමෙරිකාවට පැමිණියේ ඇමෙරිකන් පුරවැසියකු හැටියටයි. ආලෝකට අප කවුරුත් ආදරෙයි. එයා අපට හරිම කීකරුයි. කියන දේ අහන හොඳ ගුණවත් සතෙක්. පිං ඇති සතෙක්. පිං කරන සතෙක්. වොෂින්ටන් බලා යන මේ පා ගමනට අපට පන්නරයක් වන්නේත් ආලෝක.” යැයි පඤ්ඤාකර භික්ෂූන් වහන්සේ පැහැදිලි කරති.
ටෙක්සාස් ජනපදයේ, ෆෝට්වර්ත් නුවර, භාවනා මධ්‍යස්ථානය අයත් වන්නේ වියට්නාම බෞද්ධ විහාරයටය. ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු දෙසින් පිහිටි කැපී පෙනෙන බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස මෙය සැලකෙයි. වසර 26 ක් තිස්සේ ඕං ඩාවෝ විපස්සනා බෞද්ධ මධ්‍යස්ථානය ෆෝට් වර්ත් ප්‍රදේශයේ වෙසෙන වියට්නාම-ඇමරිකානු බෞද්ධ ප්‍රජාවට සේවය කරයි. එය දහම් අධ්‍යාපනය, භාවනා පුහුණුව සහ සංස්කෘතික ක්‍රියාකාරකම් සඳහා වැදගත් ස්ථානයක් ලෙස ක්‍රියාත්මක වේ. 

බුදු දහමේ හරය වන සාමය, මෛත්‍රිය සහ කරුණාව ව්‍යාප්ත කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. ටෙක්සාස් සිට වොෂින්ටන් අගනුවර තෙක් කිලෝ මීටර් 3,700 ක් දක්වා සාම පා ගමන, විරෝධය පළ කිරීමක් හෝ පෙළපාළියක් හෝ නොවන බවත්, අස්ථාවර ලෝකයක අසංඛ්‍යාත ජීවිතවලට ආශිර්වාද ගෙන ඒමේ පා ගමනක් බව ඕං ඩාවෝ විහාරයේ පූජ්‍ය තූ න්හාන් භික්ෂූන් වහන්සේ පා ගමනට පෙර මාධ්‍ය හමුවේ අවධාරණය කළේය. 

සාමය, එකමුතුකම සහ දයාව යළි යළිත් ලොවට පසක් කර දීමේ අරමුණ පෙරදැරි කර ගනිමින්, බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය ලොවට පසක් කරමින් ඇරැඹි පා ගමන පෙබරවාරියේ ඇමෙරිකන් අගනුවර වන වොෂින්ටනයට ළඟා වීමට නියමිතය. ඇමෙරිකානුවන්ට මෙම පා ගමන සැබැවින්ම අමුතුම විදියේ අත්දැකීමකි. ඊට බල්ලකු එක් වීම ඇතැමුන්ගේ මවිතයට හේතුවකි. 
පා ගමන ආරම්භයේ දී, පසුගිය දෙසැම්බරයේ, එක් අවාසනාවන්ත සිදුවීමක් ද සිදුවිය. භික්ෂූන් වහන්සේලා අකරතැබ්බකට මුහුණ දුන්හ. ඒ, යූ.එස් 90 මාර්ගය සහ එස්.එච්. 99 මාර්ගය පසු කරද්දීය. භික්ෂූන් වහන්සේලා පිටුපසින් පැමිණි මෝටර් රථයක්, උන්වහන්සේලා යට කර දැමීමට උත්සාහ ගත්තේය. මෙය හිතාමතා කළ වෛරී ක්‍රියාවක් ද නැත්නම්, අනතුරක් ද යන්න සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කළේය. එම සිදුවීමෙන් බරපතල ලෙස තුවාල ලැබූ එක් භික්ෂූන් වහන්සේ නමකගේ එක් පාදයක් ද කපා ඉවත් කිරීමට සිදුවිය. 

කෙසේ නමුත් දැන් ජනපදයෙන් ජනපදයට, ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට යද්දී, භික්ෂූන් වහන්සේලාට සහ ආලෝකට විශේෂ පොලිස් ආරක්ෂාවක් හිමිවෙයි. ස්වේච්ඡාවෙන් එක් වුණු පශු වෛද්‍යවරුන්, ආලෝකගේ සුවදුක් විමසා බලයි. වෛද්‍ය පරීක්ෂණවලට පවා ආලෝක යොමු කරයි. යන යන තැන ආලෝකට හිමිවන්නේ ආදරයයි. ඒ සැමට ආලෝක කරුණාවන්ත වෙයි. පුංචි හෝ ගෙරවුමක් වත් නැත. ලොකු කුඩා කවුරුත්, මල් අතැතිව තම නගරයට, තම ප්‍රදේශයට ආලෝක සහ භික්ෂූන් වහන්සේලා පැමිණෙන තුරු බලා සිටිති. 

ලුසිත ජයමාන්න 
ඇමෙරිකන් මාධ්‍ය ඇසුරිනි

Classified_Ad