
විශ්වයේ ඈත සිට පෘථිවිය දෙස බලද්දී, පෘථිවිය දකින්න ලැබෙන්නේ, නිල් පැහැති රවුම් බෝලයක් ලෙසය. පෘථිවිය රවුම් යැයි කීමට, අභ්‍යවකාශයේ සිට ගත් ඡායාරූප සිය ගණනක් සාක්ෂි දරයි. පෘථිවියේ පමණක් නොව, පෘථිවිය අයත් සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝකවල ඡායාරූප ද දකින්න ලැබී ඇත. එම ග්‍රහලෝක සියල්ල ද ගෝලාකාරය; රවුම්ය. සෙසු ග්‍රහලෝක සියල්ල මේ විදියට ගෝලාකාර නම්, පෘථිවිය ද ගෝලාකාර විය යුතුමය.
ක්‍රි.පූ. 4 වන සියවසේ දී ඇරිස්ටෝටල් වැනි ග්‍රීක දාර්ශනිකයන්, පෘථිවිය ගෝලාකාර බවට සාක්ෂි ඉදිරිපත් කළ අතර, පෘථිවිය ගෝලාකාර බව අද වනවිට විද්‍යාත්මකව තහවුරු වී අවසන්ය. පුරැන්නන්ගේ විශ්වාසය වූයේ පෘථිවිය පැතලි, තැටියක් බවය. කෙසේ නමුත් කොතරම් සාක්ෂි ඉදිරිපත් කළත්, මෙම පැරණි විශ්වාසය අදටත් බොහෝ දෙනා තුළ ඇත.
විද්‍යාවෙන් හිතන්න පුරුදු වුණු ලෝකයේ, පෘථිවිය රවුම් නොවන බවත්, එය පැතලි තැටියක් බවත් පැවැසීම ඇත්තටම පුදුම සහගතය. පෘථිවිය පැතලි යැයි විශ්වාස කරන පිරිස ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නේ ‘ෆ්ලැට් අර්තර්ස්’ යනුවෙනි. පෘථිවිය රවුම් බව මේ අය කිසිසේත්ම පිළිගන්නේ නැත.
ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ දකුණුදිග ප්‍රාන්තවල මෙවැනි ‘ෆ්ලැට් අර්තර්ස්’ කණ්ඩායම් බහුලව දකින්න ලැබෙන අතර, ඊට එක් වන සාමාජිකයන් ගණන දිනෙන් දින වැඩි වෙමින් පවතී. මෑතකදී කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ ඇමෙරිකානුවන්ගෙන් සියයට දෙකකට වැඩි පිරිසක් විශ්වාස කරන්නේ පෘථිවිය පැතලි බවය. ඇමෙරිකන් ජනගහනය අතින් සියයට දෙකක් යනු මිලියන 6.5 කි. ඇතැම් අතිශය ජනප්‍රිය නළු නිළියන්, ගායක ගායිකාවන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් පවා පෘථිවිය පැතලි බව විශ්වාස කරන අතර, පෘථිවිය පැතලියි යන මතය සමාජ ගත කිරීමට ද පියවර ගෙන ඇත.
කැලිෆෝනියා ජනපදයේ ‘ෆ්ලැට් අර්තර්ස්’ සමාජයට නායකත්වය දෙන්නේ මාර්ක් සාජන්ට් නැමැත්තාය. ඔහු වීඩියෝ ක්‍රීඩා නිර්මාණකරුවෙකු ලෙස රැකියාව කළ අයෙකි. මෘදුකාංග සම්බන්ධයෙන් පාඨමාලා පැවැත්වූ ගුරුවරයෙකි. දැන් ඔහු ඔහුගේ සම්පූර්ණ ජීවිතයම කැප කර ඇත්තේ පෘථිවිය පැතලි බව ඔප්පු කරමින් එය අන් අයට ඒත්තු ගැන්වීමටය. “අප හැමෝම ඉන්නේ එකම මතකය.
ලෝකය (පෘථිවිය) රවුම් කියලයි අප හිතන්නේ. ඒ සිතුවිල්ල වෙනස් කිරීම තමයි අපේ අරමුණ. ඒත් ඇත්තටම පෘථිවිය රවුම් නොවෙයි. එය මායාවක් නැතිනම් රැවටිල්ලක් වෙන්න පුළුවන්. මම විශ්වාස කරන්නේ එයයි. සැබැවින්ම පෘථිවිය පැතලි තැටියක්.” මාර්ක් සාජන්ට් මෙසේ පවසන්නේ, ඔහු විසින් පෘථිවිය තැටියක ලෙස ආකාරයෙන් නිර්මාණය කළ සිතියමක් ද පෙන්වමිනි.
මාර්ක් සාජන්ට් පැහැදිලි කරන ආකාරයට, තැටියක් වැනි පෘථිවියේ, හරි මැද ඇත්තේ උත්තර ධ්‍රැවයයි. මහද්වීප සියල්ල එක් පැත්තකට බරව පිහිටා ඇත. පැතලි තැටිය වටා කෙළවරින් දිගට විහිදී ඇත්තේ ඇන්ටාක්ටිකාවය. එය අයිස්වලින් නිර්මාණය කළ අයිස් බිත්තියක් වැනිය. ඉර සහ හඳ ඉතා කුඩාවට පිහිටා ඇත.
තරු යනු අහසේ දකින්න ලැබෙන අලෝකයන්ය. “පෘථිවිය තැටියක් විදියට මේ ආකාරයට නිර්මාණය කළ දෙයක්. බිහිවුණු දෙයක් නොවෙයි. මේ නිර්මාණය කළේ මනුෂ්‍ය අපට වඩා ඉහළ කෙනෙක්. දියුණු කෙනෙක්. ඒ කෙනා දෙවියන් ද නැද්ද යන්න කියන්න මම යන්නේ නැහැ.” යැයි මාර්ක් සාජන්ට් පවසයි.
අවුරුදු සිය ගණනක් තිස්සේ, පෘථිවිය පැතිලි නොවන බවත්, එය රවුම් බවත් ඔප්පු කිරීමට සාක්ෂි රැසක් ඇත. අභ්‍යවකාශයේ රඳවා ඇති චන්ද්‍රිකාවලින් ලබා ගත් පෘථිවියේ ඡායාරූප අපට ඇති තරම් දකින්න ලැබී ඇත. එසේ වුවත්, මාර්ක් සාජන්ට් හෝ ඔහුගේ ‘ෆ්ලැට් අර්තර්ස්’ සමාජයේ සාමාජික සාමාජිකාවන්ට ඒ කිසිවක් වැඩක් නැත.
ඔවුන් පෘථිවිය රවුම් බව විශ්වාස කරන්නේ නැත. “ගගනගාමීන් අභ්‍යවකාශයට ගියා සහ යනවා කියන කාරණාව මම විශ්වාස කරන්නේ නැහැ. නාසා ආයතනය 1985 වසරේදී තමයි පිහිටුවීම කළේ. පෘථිවිය පැතලි බව නාසා ආයතනය දන්නවා. ඒත් ඔවුන් එය හංගනවා. එසේ කරන්න ඔවුන් බොරු කියනවා. පෘථිවිය රවුම් යැයි අප රවටා තියෙනවා. ඒක මහ ලොකු කුමන්ත්‍රණයක කොටසක්.” මාර්ක් සාජන්ට් සහ සෙසු ‘ෆ්ලැට් අර්තර්ස්’ සාමාජිකයන්ගේ ද විශ්වාසය මෙයයි. මෙය සමාජිය වශයෙන් විශාල බලපෑමක් එල්ල කිරීමකි.
ග්‍රීක දාර්ශනිකයන් පෘථිවිය රවුම් බවට සාක්ෂි ඉදිරිපත් කිරීමට පෙර, විවිධ රටවල විවිධ සංස්කෘතින්වල පෘථිවිය පැතලියි යන අදහස මුල් බැසගෙන තිබුණි. මෙසපොතේමියානු සහ පුරාණ ඊජිප්තු (මිසර) වැසියන්ගේ විශ්වාසය වූයේ ලෝකය සාගරය මත පාවෙන තැටියක් ලෙස නිරූපණය කර ඇත. දෙව්ලොව යනු මේ තැටියට ඉහළින් ආරුක්කුවක් මෙන් විහිදී ඇත. පෘථිවිය ජලය මත පාවෙන තැටියක් ලෙසත්, අහස ඝන ගෝලාකාරයක් ලෙසත්, එම ගෝලයේ හිරු, සඳු සහ තරු තැන්පත් කර ඇති බවත් විශ්වාස කෙරිණි.
නෝර්ස් දේවකතාවලට අනුව, පෘථිවිය හෙවත් මිඩ්ගාර්ඩ් යනු සාගරයකින් වට වූ පැතලි තලයක් බවත්, එම සාගරය වටා යෝධ සර්පයකු සිටින බවත් පැවැසෙයි. ලෝකය වෘක්ෂයක් හෝ කණුවක් මධ්‍යයේ ඇති බව ද විශ්වාස කෙරේ. පුරාණ චීන විශ්වාස අනුව, පෘථිවිය (ලෝකය) පැතලි මෙන්ම හතරැස් බවත්, දෙව්ලොව ගෝලාකාර බවත් පැවැසෙයි. මෙම අදහස ක්‍රි.ව. 17 වන සියවස දක්වාම වෙනස් නොවී පැවතුණි. වර්තමානයේ, පෘථිවිය පැතලි බව විශ්වාස කරන පුද්ගලයන්, ඊට හේතු වශයෙන් දක්වන්නේ, කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති, ඔවුන්ගේම නිරීක්ෂණ සහ අත්හදා බැලීම්ය. ඔවුන්ගේ තර්ක බොහොමයක් පොදු විද්‍යාත්මක කරුණු වලට පටහැනිය.
ෆ්ලැට් අර්තර්ස් සාමාජිකයන්ට අනුව, අපට එදිනෙදා ජීවිතයේදී පෘථිවිය දකින්න ලැබෙන්නේ පැතලි දෙයක් ලෙසය. ක්ෂිතිජය සෑම විටම ඇස් මට්ටමේ පවතින බවත්, විශාල දුරක් දක්වා පෘථිවිය වක්‍ර වී ඇති බවක් නොපෙනෙන බවත් ඔවුහු තර්ක කරති. එය ද සැබෑවකි. නමුත් මුහුදේ ඈතට ඈතට යන නෞකාවක් හෝ බෝට්ටුවක් ඈතට නොපෙනී යෑම සිදුවන්නේ සෙමින් සෙමිනි. ඒ, පෘථිවිය ගෝලාකාර බැවිනි. එසේ නොවුණා නම්, නැව හෝ බෝට්ටුව දිගින් දිගටම යාත්‍රා කරන අයුරු දකින්න ලැබෙනු ඇත.
ෆ්ලැට් අර්තර්ස් විශ්වාසය වන්නේ, සාගර, වැව් සහ ගංගා සෑම විටම පැතලි මට්ටමක පවතින බවය. ගෝලාකාර පෘථිවියක ජලය වක්‍ර වී තිබිය යුතු බවට ඔවුහු තර්ක කරති. සමතලා මතුපිටක විශාල දුරක් තබා ඇති වස්තුවක්, දුරේක්ෂ භාවිතයෙන් දැකගත හැකි බව ඔවුහු පෙන්වා දෙති. පෘථිවිය වක්‍ර වී ඇත්නම් එවැනි දෙයක් දැකගත නොහැකි බව ද ඔවුහු තර්ක කරති. මෙම පිරිස නාසා ආයතනයට චෝදනා නගන්නේ, නාසා ආයතනය අපට දකින්න සලස්වන්නේ පරිගණක ඇසුරින් වෙනස් කළ පෘථිවියේ චන්ද්‍රිකා ඡායාරූප සහ අභ්‍යවකාශයෙන් ලබාගත් වීඩියෝ දර්ශන පෙන්වන බවටය.
ලුසිත ජයමාන්න
Daily Mail ඇසුරිනි