
ස්පාඤ්ඤයේ අවසන් වරට රාජ්‍ය පාලනය මෙහෙයවූ රැජින, 1868 වසරේ දී කිරුළ අත්හළ, දෙවන දෙවැනි ඉසබෙලා ය. එතැන් පටන් ස්පාඤ්ඤ කිරුළ හිමිවූයේ රජවරුන්ට පමණි. දැන්, ස්පාඤ්ඤයේ මීළඟ නායිකාව ලෙස ලියොනෝර් කුමරිය පත්වීම ලෝකයේම විශේෂ අවධානයට ලක්ව තිබේ. විදෙස් පුවත් පමණක් නොව, සමාජ මාධ්‍ය ද ඇය ගැන කතා කරයි. 1868 වසරේ දී, දෙවැනි ඉසබෙලා රැජින රජකම අත්හැරීමට (පදවියෙන් ඉල්ලා අස්වීමට) ප්‍රධාන වශයෙන්ම බලපෑවේ එම වසරේ හටගත් දේශපාලන කැරැල්ලය.
අනාගත රැජිනකට උචිත පෞරුෂය ගොඩ නගා ගැනීම වෙනුවෙන් ලියොනෝර් පසුගිය වසර ගණනාව පුරා දැඩි කැපවීමකින් කටයුතු කළාය. ඇගේ නිල නාමය ඇස්ටූරියාස්හි කුමරිය යන්නය. 2023 දී, 18 වන උපන්දිනය සැමරූ කුමරිය, ස්පාඤ්ඤ පාර්ලිමේන්තුව හමුවේ, එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුරකින බවට ප්‍රතිඥා දුන්නාය.
කුමරිය පාර්ලිමේන්තුව ඇමතීම, ඇයගේ රාජකීය ජීවිතයේ වඩාත්ම තීරණාත්මක අවස්ථාවක් ලෙස සැලකෙයි. එදා ඇයට ස්පාඤ්ඤයේ ඉහළම ගෞරව සම්මානය ද පිරිනැමුණි. මීට පෙර, 2018 දී කුමරියට, ඇගේ 13 වන උපන් දිනය දා පියා පිලිප් රජු විසින් සියවස් ගණනාවක් පැරණි ගෞරවනීය රාජකීය පදක්කම ද පිරිනමනු ලැබුණි. ඒ, ඇය අනාගත උරුමක්කාරිය බව තහවුරු කරමිනි.

ලියොනෝර් කුමරියගේ ප්‍රසිද්ධ චතුර කථන හැකියාව පැසසුමට ලක්වූයේ කුඩා අවධියේදීමය. ඇය සිය පළමු ප්‍රසිද්ධ කතාව පැවැත්වූයේ ස්පාඤ්ඤ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වන සංවත්සරය නිමිත්තෙනි.
ඇය පාරිසරික අර්බුද සහ ලෝක සාමය වැනි මාතෘකා කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන්නීය.
රාජ්‍ය නායිකාව ලෙස පත්වීමේදී ඇයට හිමිවන සේනාධිනායිකා ධුරය සඳහා සුදුසුකම් ලැබීමට ඇය වසර තුනක දැඩි හමුදා පුහුණුවකට යටත් විය යුතුය. මෙම හමුදා පුහුණුව අනිවාර්යය. සරාගෝසා යුද හමුදා ඇකඩමියෙන් සිය පුහුණුව ඇරැඹූ කුමරිය මේ වනවිට පුහුණුවීම් අවසන් කරමින් සිටී. 2025 දී ඇය නාවික හමුදා පුහුණුවීම් ආරම්භ කළාය. කුමරිය, ප්‍රහාරක යානා නියමුවරියක ලෙස ද කුමරිය පුහුණුවී කර ඇත.
කුමරිය, වේල්සයේ, ඇට්ලැන්ටික් විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා ඉහළ දස්කම් පෙන්වීමට ද සමත් වීම විශේෂත්වයකි. ස්පාඤ්ඤ භාෂාවට අමතරව, කුමරියට ඉංග්‍රීසි, ප්‍රංශ සහ මැන්ඩරින් (චීන) වැනි භාෂා ඇයට හොඳින් පුළුවනි. එපමණක් නොව ස්පාඤ්ඤයේ ප්‍රාදේශීය භාෂා ලෙස සැලකෙන කැටලාන් සහ බාස්ක් ද ඇයට චතුර ලෙස හැසිරවීමට හැකියාව ඇත.

ලියොනෝර් කුමරියගේ පවුල් පසුබිම ඇගේ ගමනට විශාල ශක්තියක් බව අමුතුවෙන් කිවයුතු නොවෙයි. රාජකීය පවුලට එක්වීමට පෙර ප්‍රකට පුවත්පත් කලාවේදිනියක වූ ලෙටීසියා රැජින, ලියොනෝර්ට සහ ඇයගේ බාල සහෝදරිය වන සොෆියාට නූතන ලෝකය සමඟ බුද්ධිමත්ව කටයුතු කරන ආකාරය මැනවින් කියා දෙයි.
කුමරිය දක්ෂ පිහිනුම් ක්‍රීඩිකාවක වන අතර ටෙනිස් සහ හිම මත ලිස්සා යෑමේ ක්‍රීඩාවට ද ප්‍රිය කරන්නීය. සෙලෝ වාදනයට (සෙලෝ යනු බටහිර ශාස්ත්‍රීය සංගීතයේ භාවිතා වන ප්‍රධානතම තත් වාද්‍ය භාණ්ඩයකි.) සහ පොත් කියවීමට ඇය ඇල්මක් දක්වන්නීය.
සරල බව සහ ගම්භීරත්වය එකසේ පවත්වා ගන්නා ලියොනෝර් කුමරිය, වසර 150කට පසු ස්පාඤ්ඤයට හිමිවන ඒ අභිමානවත් රැජිනගේ භූමිකාවට නවීනත්වයේ සහ බුද්ධිමත්වයේ ආලෝකය එක් කරනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.
යුරෝපයේ නිරිතදිග කෙළවරේ පිහිටි ස්පාඤ්ඤය, ලෝක ඉතිහාසය වෙනස් කළ ගවේෂකයන්ගේ සහ අසිරිමත් කලා නිර්මාණයන්ගේ නිවහනය. මධ්‍යධරණී මුහුදට සහ අත්ලාන්තික් සාගරයට මායිම්ව පිහිටා ඇති ස්පාඤ්ඤය, වසර දහස් ගණනක ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන අතර වර්තමානයේ එය ව්‍යවස්ථාපිත රාජාණ්ඩුවක් ලෙස පාලනය වෙයි. ස්පාඤ්ඤ රාජ්‍යයේ ඒකීයභාවයේ සහ අභිමානයේ සංකේතය ලෙස සැලකෙන්නේ එරට රාජකීය පවුලය.

වර්තමානයේ එහි පාලනය මෙහෙයවනු ලබන්නේ 1700 වසරේ සිට (විවිධ බිඳ වැටීම් මධ්‍යයේ වුවද) එරට කිරුළ දරණ බෝර්බන් රාජවංශයයි.
ස්පාඤ්ඤ රජ පවුල තුළ ලෙටීසියා රැජිනගේ (කුමරියගේ මව) භූමිකාව සුවිශේෂී බව කිය යුතුය. ඇය රාජකීය පවුලට සම්බන්ධ වීමට පෙර ප්‍රකට පුවත්පත් කලාවේදිනියක සහ රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස ස්වාධීන වෘත්තියක නිරත වූ සාමාන්‍ය වැසියෙකි. පිලිප් රජුගේ සහ ලෙටීසියා රැජිනගේ බාල දියණිය සොපියාය.
මොවුන්ගේ පදිංචිය මැඩ්රිඩ් අගනුවර පිහිටි දැවැන්ත රාජකීය මාලිගය නොව, සරල මෙන්ම චාම් බව ද පිරුණු සර්සුයෙලා මාලිගයයි. ස්පාඤ්ඤ ව්‍යවස්ථාවට අනුව රජුට හෝ රැජිනට සෘජු දේශපාලන බලතල නොමැති වුවද, ඔහු හෝ ඇය රටේ සන්නද්ධ හමුදාවල ප්‍රධානතම අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරයි.
ලුසිත ජයමාන්න
The Asian Chronical ඇසුරිනි