
හෝමූස් හරහා යාත්‍රා කළ වෙළෙඳ නැව්වලට ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග, ඇමෙරිකාව සහ ඉරානය යළිත් වරක් කෙහෙවළු වටලවා ගත්තේය. පාකිස්තානයේ මූලිකත්වයෙන්, අත්සන් තැබුණු ඇමෙරිකා ඉරාන අවබෝධතා ගිවිසුම කුණු කූඩයට දැමූ ඇමෙරිකන් ජනාධිපතිවරයා පැවැසුවේ, ඉරානය සමග සාකච්ඡා කිරීමෙන් පලක් නොමැති බවය.
ට්‍රම්ප්ගේ අණ පරිදි ඇමෙරිකා හමුදාව දිගට හරහට ඉරානයේ ඉලක්කවලට පහර දෙද්දී, ඉරානය අසල්වැසි ගල්ෆ් අරාබි රටවල ඇමෙරිකන් ඉලක්කවලට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කරන්න විය. හෝමූස් සමුද්‍ර සන්ධිය ඉරානයේ පමණක් නොව, ඇමෙරිකාවේ ද ප්‍රාණ ඇපයට ගැනීම සිදුවිය. ඇමෙරිකාවේ අවසරය නොමැතිව, හෝමූස් හරහා යෑමට කිසිදු නෞකාවකට කළ නොහැකි යැයි ට්‍රම්ප් ගෙරවීය.
ඒ සමග ලෝකයේ බොර තෙල් මිල ඉහළ ගියේය. මේ අතර, මහ රෑ ට්‍රම්ප් නිදා සිටියදී, ඊශ්‍රායලයෙන් දුරකතන ඇමතුමක් ලැබුණි. ඊශ්‍රායල බුද්ධි අංශ අනතුරු ඇඟවීමක් කළේ ඉරානය ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ ගන්නා බවටය. ඉරානය තමා ඝාතනය කළොත්, ඉරානය සුන්නද්ධූලි කර දමමින් ප්‍රහාර එල්ල කිරීමට තමන් තම හමුදාවට උපදෙස් දුන් බව ට්‍රම්ප් එසැණින් පැවැසීය. ඒ, සිය ටෘත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමිනි.
කරුණු කාරණා මෙසේ සිදුවෙද්දී, ඉරානයේ තෙහෙරාන් අගනුවරට අමුත්තෙක් පැමිණියේය.
මේ අමුත්තා ගුවන් යානයකි. ඒත්, මෙය සාමාන්‍ය ගුවන් යානයක් නම් නොවෙයි. විදෙස් දූත මණ්ඩල රැගෙන පියාසර කරන ගුවන් යානයක් නොවෙයි. ප්‍රහාරක හෝ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් නොවෙයි. ප්‍රහාරක යානයක් නොවුණත් මෙය ඕනෑම දේකට ඔට්ටු, ඕනෑම ප්‍රහාරයක් මට්ටු කළ හැකි ගුවන් යානයකි. ඕනෑම ආකාරයේ යුදමය තත්ත්වයකදී උඩු ගුවනේ සිට අණ දීම් කළ හැකි රහස් ගුවන් යානයකි.
ඉරානයේ තෙහෙරාන් අගනුවර බලා ආ අමුත්තා රුසියාවේ ඩූම්ස්ඩේ ගුවන් යානයයි. රුසියාව සතුව මෙවැනි ගුවන් යානා කීපයකි.
තෙහෙරාන් බලා පැමිණියේ ටීයූ214පීයූ නමැති ඩූම්ස්ඩේ ජෙට් යානයයි. රුසියාවේ ඩූම්ස්ඩේ ගුවන් යානා රුසියන් ගුවන් හමුදාව විසින් නිපදවනු ලැබූ ඒවාය. යානා අයත් වන්නේ රුසියන් ගුවන් හමුදාවටය.
රුසියාවේ මොස්කව් අගනුවර සිට, ටීයූ214පීයූ ගුවන් යානය කැස්පියන් මුහුදට ඉහළින්, තෙහෙරාන් අගනුවර බලා පැමිණියේ රහසේ නොවෙයි. මාධ්‍ය එසැණින් ඒ බව වාර්තා කළේය. එසේ වුවත්, ටීයූ214පීයූ ගුවන් යානයේ පැමිණීම සම්බන්ධයෙන් ඉරානය කිසිවක් පවසා නැත. රුසියාව ද කිසිවක් පවසා නැත.
ටීයූ214පීයූ ගුවන් යානයට පැයට කිලෝ මිටර් 85 ක වේගයකින් පියාසර කළ හැකිය.
ගුවන් යානය නිර්මාණය කර ඇත්තේ න්‍යෂ්ටික යුද්ධයකදී රුසියන් නායකත්වයට ගුවනේ සිට අණ දීම යුද මෙහෙයුම් සිදු කිරීමට හැකි ලෙසය. ගොඩබිම සියලු හමුදා මූලස්ථාන සහ අණදෙන මධ්‍යස්ථාන විනාශ වුවත්, සතුරන් අතකට පත්වුවත් ගුවනේ සිට සතුරු ප්‍රහාරවලින් බේරී අණ දීම සිදු කිරීමට ටීයූ214පීයූ යානයට හැකියාව ඇත. සතුරු ප්‍රහාර මඟ හැරිය හැකිය. රේඩාර් මඟ හැරිය හැකිය. යානයට, සන්නිවේදන සහ හමුදා චන්ද්‍රිකා සමග සම්බන්ධ වීමට හැකියාව ඇත. සතුරු පණිවුඩ හුවමාරු අවුල් කර දැමීමට හැකියාව ඇත.
රුසියාව, ඔවුන්ගේ ටීයූ214පීයූ ඩූම්ස්ඩේ ගුවන් යානය ඉරානයට යැවීම භූදේශපාලනික වශයෙන් දුන් පණිවුඩයක් බව පැහැදිලිය. රුසියාව, ඉරානය සමග සිටින බව ඇඟවීමකි. එය රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට කළ සිහිකැඳවීමකි. එය, ඇමෙරිකා ඉරාන යුද්ධය සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයකින් පසුවන බව රුසියාව ඇමෙරිකාවට පැවැසීමකි.
රුසියාව සහ ඉරානය මිතුරන්ය.
ඉකුත් 2025 වසරේ දී, රුසියා ජනාධිපති පුටින් ඉරානය සමග උපායමාර්ගික සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබීය. එම සහයෝගීතා ගිවිසුම යටතේ, රුසියා සහ ඉරාන නාවික හමුදා ඕමාන් බොක්කේ යුද අභ්‍යාසයක් පවා පැවැත්වීය. ඇමෙරිකා ඊශ්‍රායල ඉරාන යුද්ධයට රුසියාව සෘජුව සම්බන්ධ නොවෙයි. ඊට එක් ප්‍රධාන හේතුවක් වන්නේ මේ වනවිටත් රුසියාව යුක්රේනය සමග යුද්ධයක පැටලී සිටීමය.
ටීයූ214පීයූ ඩූම්ස්ඩේ ගුවන් යානයේ කැපී පෙනෙනම ලක්ෂණය වන්නේ යානයේ නියමු කුටියේ ප්‍රධාන වීදුරු හැර, මගීන් සඳහා වන කිසිදු ජනේලයක් නොතිබීමය.
න්‍යෂ්ටික පිපිරුමකදී නිකුත් වන අධික ආලෝකය, තාපය සහ විද්‍යුත් චුම්බක තරංග මගින් යානය ඇතුළත සිටින පිරිස සහ එහි ඇති සංවේදී විද්‍යුත් උපකරණ ආරක්ෂා කිරීම සඳහා මෙම ජනේල රහිත සැලසුම භාවිත කර ඇත. එසේම, යානයේ වහලය මත සුවිශේෂී ගෝලාකාර කොටසක් දැකිය හැකි අතර, එහි චන්ද්‍රිකා සන්නිවේදන උපකරණ රැසක් ස්ථාපිත කර තිබේ.
මෙම ගුවන් අණදෙන මධ්‍යස්ථානය සතු සන්නිවේදන හැකියාව අතිවිශිෂ්ට මට්ටමක පවතී.
යානයේ පිටුපසින් කිලෝමීටර් ගණනාවක් දිගු කළ හැකි විශේෂිත සන්නිවේදන ඇන්ටනාවක් පවතින අතර, එමගින් සාගරයේ ගැඹුරු පතුලේ සැඟවී සිටින රුසියානු න්‍යෂ්ටික සබ්මැරීන සමඟ පවා සෘජුව සහ රහස්‍යව සම්බන්ධ වීමට හැකියාව ලැබේ.
ගුවන්ගතව සිටියදීම නැවත නැවතත් ඉන්ධන පිරවිය හැකි පරිදි සකසා ඇති බැවින්, දින ගණනාවක් අඛණ්ඩව අහසේ රැඳී සිටිමින් අණදීම් සිදු කිරීමට මෙම යානයට පුළුවනි.
රුසියාවේ මෙම ඩූම්ස්ඩේ ගුවන් යානාවල ආරම්භය නිරවි යුද්ධය තෙක් ඈතට දිවයයි. නිරවි යුද සමයේ රහස්‍යභාවය මත ගොඩනැඟුණු මෙම ගුවන් යානා තාක්ෂණයත් සමග දියුණු වුණු අතර, අද මේවාට උපරිම තාක්ෂණය භාවිත කෙරේ. ඕනෑම මහා පරිමාණ යුදමය ව්‍යසනයකදී රටේ අවසාන තීරණාත්මක පාලන ඒකකය ලෙස ක්‍රියාත්මක වීමට රුසියන් ගුවන් හමුදාව ඩූම්ස්ඩේ ගුවන් යානා යොදා ගනී.
ලුසිත ජයමාන්න
BBC ඇසුරිනි