උඩු ගුවනේ චීන බබාලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jul 8, 2026

උඩු ගුවනේ චීන බබාලා

උඩු ගුවනේ චීන බබාලා පෘථිවි වායුගෝලයට ඔබ්බෙන්, කෙළවරක් නොපෙනෙන හිස් අවකාශය, අභ්‍යවකාශය යන නමින් හැඳින්වෙයි. විද්‍යාත්මකව පැහැදිලි කළොත්, පෘථිවි තලයේ සිට කිලෝමීටර් 100ක් ඉහළින් පිහිටි ‘කාර්මන් රේඛාව’ යනුවෙන් හැඳින්වෙන සීමාවෙන් එපිට සියලු දේ අභ්‍යවකාශයයි. අභ්‍යවකාශය යනු නිහඬ, අඳුරු, සීතල තැනකි. අභ්‍යවකාශය රික්තකයකි. වාතය නැත. හුස්ම ගැනීම කළ නොහැකිය. 

පෘථිවියෙන් ඔබ්බට යමින් අභ්‍යවකාශයට ළං වෙද්දී සූර්යාලෝකය විහිදුවීමට වායුගෝලයක් නොමැති බැවින්, පෘථිවියේ මෙන් නිල් අහසක් වෙනුවට අභ්‍යවකාශයේ දකින්න ලැබෙන්නේ තරු, ග්‍රහලෝක පිරුණු ඝන අන්ධකාරය පමණි. මිනිසා පෘථිවියෙන් එපිට වෙන ග්‍රහලෝකයක ජනපද පිහිටුවන දිනය වැඩි ඈතක නොවන බව අප කවුරුත් දන්නා කරුණකි. 

2030 වෙද්දී සඳ මත ජනපද බිහිවනු ඇත. 2050 වෙද්දී, අඟහරු බලා යනු ඇත. අභ්‍යවකාශයේ ශුන්‍ය ගුරුත්වයේ මනුෂ්‍ය අපට අපේ වර්ගයා බෝ කිරීමේ හැකියාව පවතීද යන්න ගැටලුවකි. මේ ගැටලුවට පිළිතුරු සෙවීමට චීන විද්‍යාඥයෝ ඉදිරිපත් වී සිටිති. 

ඔබ මේ ලිපිය කියව මොහොතේ, චීන විද්‍යාඥයෝ මේ සම්බන්ධයෙන් රහස් පර්යේෂණ රැසක් සිදුකරමින් සිටිති. මේ පරීක්ෂණ, රහසේ සිදුවන ආන්දෝලනාත්මක පර්යේෂණ යැයි කීවොත් එය නිවැරදිය. චීනය මෙම පරීක්ෂණ සිදු කරන්නේ ඔවුන්ටම කියා පෘථිවි කක්ෂයේ ඉදිකර ඇති අභ්‍යවකාශ නැවතුම්පොළේ ඇති පර්යේෂණාගාර තුළය. ඒ, එම නැවතුම්පොළේ සිටින ගගනගාමීන්ට අවශ්‍ය උපදෙස් දෙමිණි. ඔබ දන්නවා මේ වනවිට, ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ ලෙස හැඳින්වෙන දැවැන්ත අභ්‍යවකාශ නැවතුම්පොළක් පෘථිවි කක්ෂයේ රඳවා තිබේ. 

1998 වසරේ සිට ක්‍රියාත්මක වන මෙම නැවතුම්පොළ ඇමරිකාවේ නාසා අභ්‍යවකාශ ආයතනය, රුසියාවේ රොස්කොස්මොස් ආයතනය, යුරෝපයේ එසා අභ්‍යවකාශ ආයතනය, ජපානයේ ජැක්සා අභ්‍යවකාශ ආයතනය සහ කැනඩාවේ අභ්‍යවකාශ ආයතනය එක් වී එකලැස් කළ සහ පවත්වාගෙන ප්‍රධාන නැවතුම්පොළය. 

 ලෝක බලවතකු වුවත් චීනය මෙම නැවතුම්පොළ අතරේ සම්බන්ධයක් නැත. චීනය ඔවුන්ටම කියා කුඩා ප්‍රමාණයේ අභ්‍යවකාශ නැවතුම්පොළක් පෘථිවි කක්ෂයේ රඳවා ඇත. ඒ, එහි කොටසින් කොටස (මොඩියුල) රොකට්ටු ආධාරයෙන් පෘථිවි කක්ෂයට ගෙන ගොස් එකලැස් කරමිණි. මේ නැවතුම්පොළ ඉදිකිරීම් ආරම්භ වූයේ 2022 වසරේදීය. 

ඉංග්‍රීසි ‘ටී’ අකුරක හැඩය ගන්නා මෙම නැවතුම්පොළ ‘ටියැන්ගොන්ග්’ යනුවෙන් හැඳින්වෙයි. එහි අරුත දෙව්ලොව මාලිගය යන්නය. චීන අභ්‍යවකාශගාමීන් (මොවුන් හැඳින්වෙන්නේ ටැකියෝනොට්ස් යනුවෙනි) නිරන්තරයෙන් ‘ටියැන්ගොන්ග්’ අභ්‍යවකාශ නැවතුම්පොළේ රැඳී සිටිමින් පර්යේෂණවල නිරත වන අතර, ඉදිරි වසර කිහිපය තුළ තවත් නව මොඩියුල එකතු කරමින් සහ තමන්ගේම අභ්‍යවකාශ දුරේක්ෂයක් මේ අසලම කක්ෂගත කරමින් නැවතුම්පොළ තවදුරටත් පුළුල් කිරීමට සැලසුම් කර තිබේ. 

මේ සඳහා චීනය ඇමෙරිකානු ඩොලර් බිලියන 8 සිට 10 දක්වා මුදලක් වැය කර ඇති බව ගණන් බලා ඇත. ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ හා සම්බන්ධ වීමට චීනයට ඉඩ නොලැබුණේ භූ-දේශපාලනික එදිරිවාදිකම් නිසාය. 2011 දී ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලය (පාර්ලිමේන්තුව) විසින් ‘වොල්ෆ් සංශෝධනය’ නමින් නීතියක් සම්මත කර ගනු ලැබුණි. ඒ මඟින් ජාතික ආරක්ෂාව සහ බුද්ධිමය දේපළ සොරකම් කිරීමේ චෝදනා මත චීන රජය හෝ චීන ආයතන සමඟ කිසිදු සෘජු සහයෝගීතාවයක් පැවැත්වීම නාසා ආයතනයට තහනම් කෙරුණි.

මේ හේතුවෙන් චීනයට ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ තහනම් විය. එම තහනම ආශිර්වාදයක් කරගත් චීනය, ඔවුන්ටම කියා මෙම ‘ටියැන්ගොන්ග්’ නිර්මාණය කළේය. චීනයේ අභ්‍යවකාශ සිහිනය පෘථිවි කක්ෂයෙන් නතර වන්නේ නැත. ඔවුන්ගේ මීළඟ ඉලක්කය වන්නේ හඳය. 2030 වසර වන විට මිනිසුන් සහිත යානයක් සඳ මතට ගොඩබැස්වීම සඳහා චීනය මේ වන විටත් සියල්ල සූදානම් කරමින් සිටී. 

මේ සඳහා ඔවුන් මේ වනවිටත් ‘ලෝන්ග් මාර්ච් 10’ නමැති අතිශය බලසම්පන්න රොකට්ටුවත්, ‘මැන්ග්ෂෝ’ නමැති නව පරපුරේ, ගගනගාමීන් රැගෙන යන යානයකුත්, ‘ලැන්යුඒ’ නමැති චන්ද්‍ර ගොඩබෑමේ යානයකුත් නිර්මාණය කරමින් සිටී. දැන් අපි ආපසු යමු අපේ කතාවට. පසුගිය දා චීනය, ඔවුන් සතු ‘ලෝන්ග් මාර්ච් 7’ රොකට්ටුවක ආධාරයෙන්, ‘ටියැන්ෂෝ-10’ නමැති භාණ්ඩ ප්‍රවාහන කැප්සියුලය, ‘ටියැන්ගොන්ග්’ අභ්‍යවකාශ නැවතුම්පොළට යැවීය.

‘ටියැන්ෂෝ-10’ භාණ්ඩ ප්‍රවාහන කැප්සියුලයේ ගගනගාමීන්ට ආහාර, ඉන්ධන සහ අභ්‍යවකාශ ඇඳුම් කට්ටල ද ඇතුළු ටොන් හතක බඩු බාහිරාදිය අඩංගු විය. එම බඩු බාහිරාදිය අතරේ, කාගේත් අවධානය දිනා ගත් දේ වූයේ මිනිස් කඳ සෛල පාදක කර ගනිමින්, විද්‍යාගාර තුළ නිපදවන ලද ‘කෘත්‍රිම මිනිස් කලල’ සමූහයයි. 

 මේ සම්බන්ධයෙන් බටහිර මාධ්‍යවල පුවත් පළ වූයේ, චීනය අභ්‍යවකාශයේදී සැබෑ මිනිස් දරුවන් බිහි කිරීමට තැත් කරන බව පවසමිණි. චීනයට අනුව එය එසේ නොවෙයි. මෙම කලල සම්බන්ධ ව්‍යාපෘතියේ ප්‍රධානී යු ලෙකියෑන් පවසන ආකාරයට, මේවා සැබෑ මිනිස් කලල නෙවෙයි. මෙම කලලවලින් පුද්ගලයකු වර්ධනය වීමක් සිදුවන්නේ ද නැත. මෙම කලල මිනිස් සෛලවලින් සකස් කළ ආකෘති පමණි. 

“මේවා සැබෑ කලල නොවෙයි. පුද්ගලයකු ලෙස වර්ධනය වීමේ හැකියාවක් මේ කලලවලට ඇත්තේ නැහැ. මුල් අවදියේ මිනිස් වර්ධනය අධ්‍යයනය කිරීම සඳහා ආකෘතියක් ලෙස ඒවා භාවිතයට ගැනෙනවා. අපි අභ්‍යවකාශයේ බබාලා නිර්මාණට කරන්නේ නැහැ. අභ්‍යවකාශය කලලවල වර්ධනයට බලපාන ආකාරය සොයා බලනවා පමණයි.” යැයි යු ලෙකියෑන් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ. මෙම රහසිගත පරීක්ෂණය පිටුපස ඇති සැබෑ යථාර්ථය සැබවින්ම විශ්මයජනකය. 

චීන විද්‍යාඥයන් අභ්‍යවකාශයේදී අධ්‍යයනයට ලක් කෙරෙන බව පැවැසෙන්නේ, මිනිස් කලල සංසේචනය වී දින 14ත් 21ත් අතර, ශරීරයේ අවයව නිර්මාණය වීමට පටන් ගන්නා අතිශය සංවේදී අවධියයි. එක් සාම්පලයකින් මඟින් කලලයක් ගර්භාෂ බිත්තියට ඇලෙන මොහොතත්, තවත් සාම්පලයකින් සෛල ස්ථර බෙදීම සිදුවන ආකාරයත් සොයා බැලෙයි. 

දින පහක් පුරා අභ්‍යවකාශයේ රික්තය සහ විකිරණ මැද වැඩෙන්න සලස්වා, ඉන්පසු ශීත කළ එම කෘතිම සෛල නැවත පෘථිවියට රැගෙන ඒම සිදු කරයි. ඉන්පසු පෘථිවියේදී සාමාන්‍ය තත්ත්වයන් යටතේ වැඩෙන කලල සහ අභ්‍යවකාශයේ වැඩෙන්න සැලැස්වූ කලල එකිනෙක සසඳමින්, අභ්‍යවකාශ විකිරණ මඟින් මිනිස් ප්‍රජනන පද්ධතියට සිදු කරන බලපෑම අධ්‍යයනය කෙරෙයි. 

ලුසිත ජයමාන්න
The Sun ඇසුරිනි

Classified_Ad