ගෝල්ඩන් රිට්‍රීවර්ලා අපේ නෑයෝ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 10, 2026

ගෝල්ඩන් රිට්‍රීවර්ලා අපේ නෑයෝ

අප පෘථිවිය මත ස්ථිර පදිංචිය ආරම්භ කළ දා පටන්, අපේ ලෙන්ගතු මිතුරා බවට පත්වූයේ බලු සුරතලුන්ය. බල්ලන්ගේ මුතුන් මිත්තන් වන්නේ වෘකයන්ය. මීට වසර 15,000 - 30,000 කට පමණ පෙර, මිනිසුන් දඩයම් කරමින් ජීවත් වූ යුගයේදී, සමහර වෘකයන් මිනිස් වාසස්ථාන අසල ගැවසීමට පුරුදු වූහ. ඒ මිනිසුන් ඉතිරි කරන ආහාර කොටස් අනුභව කිරීම සඳහාය. සියලුම වෘකයන් මිනිසුන්ට සමීප වූයේ නැත. මිනිසුන්ට බියක් නොදැක්වූ සහ ආක්‍රමණශීලී බවින් අඩු වෘකයන්ට මිනිසුන් අසලින් වැඩිපුර ආහාර ලැබුණි. 

මෙලෙස මෘදු ගතිගුණ ඇති වෘකයන් කාලයත් සමඟ මිනිසුන් සමඟ සහයෝගයෙන් ජීවත් වීමට පටන් ගත් අතර, ඔවුන්ගෙන් බිහි වූ පැටවුන් තවදුරටත් හීලෑ සතුන් බවට පත් විය. මිනිසා සහ බල්ලා අතර මෙම සබඳතාව දෙපාර්ශ්වයටම වාසිදායක විය. රාත්‍රී කාලයේදී වන සතුන්ගෙන් ආරක්ෂාව ලැබීම, දඩයම් කිරීමේදී සහාය ලැබීම සහ තියුණු ඉව මගින් අනතුරු හඳුනා ගැනීම එක් වාසියකි. 

නිරන්තරයෙන් ලැබෙන ආහාර සහ ආරක්ෂිත ලැගුම්පලක් හිමි වීම බල්ලන්ට ලැබුණු වාසියයි. කාලයත් සමඟ මිනිසා තම අවශ්‍යතා අනුව බල්ලන්ව විවිධ කාර්යයන් සඳහා පුහුණු කළේය. එඬේර බල්ලන් දඩයම් බල්ලන් මුර බල්ලන් ලෙස බල්ලන් වර්ගීකරණයට ලක් විය. අද බලු සුරතලුන් නැති මානව සමාජයක් පිළිබඳව සිතීම පවා අසීරුය. මනුෂ්‍ය අප සහ බලු සුරතලුන් අතර ඇති මෙම දීර්ඝකාලීන බැඳීම, හුදෙක් මිත්‍රත්වයක් පමණක් නොව, එකට සිදුවූ පරිණාමීය ගමනක් බව විද්‍යාඥයන්ගේ අදහසය. 

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් කළ අලුත්ම අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ, ‘ගෝල්ඩන් රිට්‍රීවර්’ වර්ගයේ බලු සුරතලුන් සහ මිනිසුන් අතර චර්යාත්මක ලක්ෂණ සඳහා පොදු ජානමය පදනමක් ද පවතින බවය. ‘ගෝල්ඩන් රිට්‍රීවර්’ බලු සුරතලුන්, දීර්ඝකාලයක් මනුෂ්‍යයන් සමඟ සහයෝගයෙන් ජීවත් වෙද්දී, ඒ සඳහා අවශ්‍ය අනුවර්තනයන් රැසක් ලබාගෙන ඇතැයි විද්‍යාඥයන්ගේ අදහසය. 

වෘකයන්ට වඩා වෙනස් වෙමින්, මනුෂ්‍ය අපේ ආහාර රටාවට හුරුවීම මෙන්ම, අප අපේ අත්වලින් ලබා දෙන ඉඟි (නියෝග) සහ අපේ හැඟීම් වටහා ගැනීමට ඇති හැකියාව මේ සඳහා කදිම උදාහරණයක් බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. මනුෂ්‍ය අපේ හැඟීම්වලට ප්‍රතිචාර දැක්වීමේ සුවිශේෂී හැකියාවක් බලු සුරතලුන් සතුව ඇති අතර, උන් බුරන ආකාරය අනුව උන් පවසන දේ අවබෝධ කර ගැනීමට අපට ද සහජ හැකියාවක් පවතී. උදාරණයක් ලෙස සතුරු උවදුරකදී හෝ අනතුරු ඇඟවීමදී බලු සුරතලුන් බුරන ආකාරය වෙනස්ය. 

සතකු දැක බුරන ආකාරයත්, මනුෂ්‍යයකු දැක බුරන ආකාරයත් එකිනෙකට වෙනස්ය. නූතන කාර්යබහුල ජීවන රටාව, මනුෂ්‍ය අපට මෙන්ම බලු සුරතලුන්ට (විශේෂයන් ගෝල්ඩන් රිට්‍රීවර් සුනඛයන්ට) ද දැඩි මානසික පීඩනයක් ගෙන දී ඇතැයි පැවැසෙයි. 


මෙය කොතරම් බරපතල ද කියනවා නම්, මිනිසුන් තුළ දක්නට ලැබෙන ඔටිසම් වැනි මානසික තත්ත්වයන්ට සමාන ලක්ෂණ මේ වනවිට සුනඛයන් තුළ ද පවතින බවට සාධක හමු වී ඇත. කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන්, ‘ගෝල්ඩන් රිට්‍රීවර්’ සුනඛයන් 1,300 කගේ ජානමය දත්ත පරීක්ෂා කිරීමේදී, මිනිසා සහ සුනඛයා යන දෙවර්ගයටම පොදු මානසික ක්‍රියාවලීන්ට සම්බන්ධ ජාන 12 ක් හඳුනාගෙන ඇත. 

මෙය විද්‍යා ලොව මවිත කළ සොයාගැනීමක් වන්නේ, අප දෙපාර්ශ්වයටම ලැබී ඇත්තේ එකම පරිණාමීය පූර්වජයකුගෙන් ලැබුණු ජානමය උරුමයක් බව තහවුරු වන බැවිනි. මෙහි ඇති විශේෂත්වය වන්නේ මිනිසා තුළ විශාදිය වැනි තත්ත්වයන් ඇති කරන ජාන, බලු සුරතලුන් තුළ අමුත්තන් කෙරෙහි ඇති වන බිය ලෙස ප්‍රකාශ වීමය. එමෙන්ම මිනිසා තුළ පවතින බුද්ධිමත් බව සහ වැරදීමක් සිදු වූ විට ඇති වන සංවේදීතාව වැනි ගුණාංගවලට සම්බන්ධ ජාන, බලු සුරතලුන්ගේ පුහුණු කිරීමේ හැකියාව සමඟ සම්බන්ධ වී පවතී. 

මිනිසා මෙන් සංකීර්ණ ලෙස සිතීමට බලු සුරතලාට නොහැකි වුවද, මානසික පීඩනය සහ වේදනාව දැනීමේදී අප දෙවර්ගයම එක හා සමාන ජානමය මූලයන් බෙදාගන්නා බව මෙයින් තහවුරු වෙයි. මෙම පර්යේෂණයට සම්බන්ධ විද්‍යාඥයන් වැඩිදුරටත් පැහැදිලි කර ඇත්තේ ඇතැම් සුනඛයන් පෙන්වන දඩබ්බර හෝ අකීකරු චර්යා ඇත්ත වශයෙන්ම උන්ගේ නරක ගතිගුණ නොව, උන් ජානමය වශයෙන් මුහුණ දෙන මානසික පීඩනයක ප්‍රතිඵලයක් විය හැකි බවය. 

විද්‍යාඥයන්ගේ මෙම අපූරු නව සොයාගැනීම අනාගතයේදී මිනිසාගේ මෙන්ම සතුන්ගේද මානසික සෞඛ්‍ය ගැටලු තේරුම් ගැනීමට සහ ඒවාට පිළියම් සෙවීමට මහෝපකාරී වනු ඇතැයි ද පැවැසෙයි. එසේ නම්, බලු සුරතලුන් යනු හුදෙක් සුරතලුන් පමණක් නොව, මානව මානසික සෞඛ්‍යය පිළිබඳ රහස් හෙළි කරන සජීවී කැඩපතකි. ලොව පුරා සුනඛ ලෝලීන්ගේ හදවත් දිනාගත් සුනඛ විශේෂ අතර ‘ගෝල්ඩන් රිට්‍රීවර්’ ට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක් බව අමුතුවෙන් කිවයුතු නොවෙයි. 

19 වන සියවසේ මැද භාගයේදී ස්කොට්ලන්තයේ දඩයම්කරුවන්ට සහාය වීම සඳහා බෝ කරන ලද මෙම සුනඛයෝ, අද ලොව වඩාත්ම ජනප්‍රිය ගෘහස්ථ සුනඛ වර්ගයක් බවට පත්ව සිටිති. ඔවුන්ගේ නමට ගැළපෙන පරිදිම රන්වන් පැහැති දිදුලන ලොම් තට්ටුවක් හිමි මොවුන්, දුටු පමණින් ඕනෑම අයෙකුගේ සිත ඇදගන්නා සුන්දර පෙනුමකින් යුක්තය. 

මොවුන්ගේ ඇති සුවිශේෂීම ලක්ෂණය වන්නේ මුහුණේ නිරන්තරයෙන් රැඳී පවතින සිනහව වැනි පෙනුම සහ කරුණාවන්ත දෑසය. බුද්ධිමත් බව අතින් ඉහළම මට්ටමක පසුවන ‘ගෝල්ඩන් රිට්‍රීවර්’ සුනඛයන්, ඕනෑම දෙයක් ඉතා ඉක්මනින් ඉගෙන ගැනීමට සමත්ය. 

මේ නිසාම අන්ධ පුද්ගලයන්ට මඟ පෙන්වීමටත්, ස්වභාවික විපත්වලදී සිරවී සිටින පුද්ගලයන් සොයා ගැනීමටත්, මත්ද්‍රව්‍ය වැටලීම් වැනි පොලිස් පරීක්ෂණ සඳහාත් ලොව පුරා මෙම සුනඛයන්ගේ සහාය ලබා ගැනෙයි. 

‘ගෝල්ඩන් රිට්‍රීවර්’ සුනඛයකු පුහුණු කිරීම ඉතා පහසු කාර්යයක් වන්නේ ඔවුන් නිරන්තරයෙන් තම ස්වාමියා සතුටු කිරීමට උත්සාහ කරන බැවිනි. ඔවුන් හුදෙක් සතකුට වඩා මිනිස් හැඟීම් හොඳින් වටහා ගන්නා සැබෑ මිතුරෙකු ලෙස කටයුතු කරයි. ඊට හේතුව මිනිසා සහ සුනඛයා යන දෙවර්ගයටම පොදු මානසික ක්‍රියාවලීන්ට සම්බන්ධ ජාන 12 විය හැක. 

 පවුලේ සාමාජිකයෙකු ලෙස ඇති දැඩි කිරීමේදී ‘ගෝල්ඩන් රිට්‍රීවර්’ට සමාන කළ හැකි වෙනත් සුනඛ වර්ගයක් නොමැති තරම්ය. විශේෂයෙන්ම කුඩා දරුවන් සමඟ ඉතා ඉවසිලිවන්තව සහ මිත්‍රශීලීව කාලය ගත කිරීමට මොවුන් දක්වන්නේ පුදුමාකාර කැමැත්තකි.

ආගන්තුකයන් සමඟ පවා ඉක්මනින් මිතුරු වන මොවුන්, කිසිවිටෙකත් අනවශ්‍ය ලෙස ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන්නේ නැත. එම නිසා නිවසක ආරක්ෂාවට වඩා, පවුලේ සතුට සහ සාමය වෙනුවෙන් සුරතලෙකු සොයන ඕනෑම අයෙකුට ‘ගෝල්ඩන් රිට්‍රීවර්’ කදිම තේරීමකි.

‘ගෝල්ඩන් රිට්‍රීවර්’ සුනඛයකු ඇති කිරීමේදී ඔවුන්ගේ සෞඛ්‍යය පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත් බව පශු වෛද්‍යවරුන්ගේ අදහසය. ඉතා ක්‍රියාශීලී සතුන් පිරිසක් වන මොවුන්ට දිනපතා ව්‍යායාම සහ ක්‍රීඩා කිරීම අත්‍යවශ්‍ය වේ. 

එසේම ඔවුන්ගේ ඝනකම් ලොම් තට්ටුව නිරෝගීව තබා ගැනීමට නිතිපතා පීරීම සහ පිරිසුදු කිරීම කළ යුතුය. මිනිස් ඇසුර බෙහෙවින් ප්‍රිය කරන මොවුන් වැඩි වේලාවක් තනි කර තැබීමෙන් මානසිකව අසතුටට පත්විය හැකිය. පෙර කී පරිදි මෙය ජානමය බලපෑමකි. එබැවින් ඔබ ඔවුන්ට ආදරය සහ අවධානය ලබා දෙන්නේ නම්, ඔවුන් ඔබේ ජීවිතය සතුටින් පුරවන ලොව උදාරම සගයා වනු ඇත. 

ලුසිත ජයමාන්න 
Science Alert ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom