ගෙම්බාගේ බඩෙන් පිළිකා ඔසුවක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jan 11, 2026

ගෙම්බාගේ බඩෙන් පිළිකා ඔසුවක්


පිළිකා මර්දනය කිරීම සඳහා ලොව පුරා විද්‍යාඥයන් විවිධ පර්යේෂණ සිදුකරන අතර, ඒ අතරින් අතිශය සාර්ථක සහ බලාපොරොත්තු සහගත පුවතක් ජපානයෙන් වාර්තා වේ. ජපානයේ වෙසෙන ගස් ගෙඹි විශේෂයකගේ බඩවැල් තුළ ජීවත් වන බැක්ටීරියාවක් මගින් පිළිකා ගෙඩි සම්පූර්ණයෙන්ම දියකර හැරිය හැකි බව විද්‍යාඥයන් මේ වනවිට තහවුරු කරගෙන ඇත. 

සාමාන්‍යයෙන් ගස් ගෙම්බන් වැනි ගෙඹි පවුලේ සාමාජිකයන්, හිකනලුන් සහ සැලමැන්දරයන් වැනි උභය ජීවීන් පිළිකාවලින් රෝගී නොවෙයි. විද්‍යාඥයන්ට අනුව, එසේ වන්නේ නම්, ඒ ඉතාම කලාතුරකිනි. ඊට හේතුව, මෙම සතුන්ගේ සිරුරේ ජීවත් වන බැක්ටීරියා විය හැකි බවට සැක කළ ජපාන උසස් විද්‍යා හා තාක්ෂණ ආයතනයේ (JAIST) පර්යේෂකයෝ, සතුන් රැසකගේ බැක්ටීරියා පරීක්ෂාවට ලක් කළහ. 

එම පර්යේෂණවලදී, එවින්ජෙලා ඇමෙරිකානා (Ewingella americana) නම් බැක්ටීරියාව මීයන්ට ලබා දුන් විට, ඔවුන්ගේ සිරුරේ තිබූ පිළිකා ගෙඩි කිසිදු අතුරු ආබාධයකින් තොරව සම්පූර්ණයෙන්ම සුව විය. මෙම බැක්ටීරියාවේ විශේෂත්වය වන්නේ එය පිළිකා සෛලවලට සෘජුවම ප්‍රහාර එල්ල කරන අතරම, සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ද අවදි කිරීමය. පිළිකා ගෙඩි ඇති ප්‍රදේශවල සාමාන්‍යයෙන් ඔක්සිජන් ඉතා අඩු බැවින් බොහෝ ඖෂධවලට එහි ක්‍රියා කළ නොහැක. නමුත් මෙම බැක්ටීරියාව එවැනි පරිසරයක ජීවත් වීමට හුරු වී ඇති බැවින් එය ඉතා සාර්ථකව පිළිකාව විනාශ කරයි. 

මෙම පර්යේෂණයේ ඇති වඩාත්ම සුවිශේෂී කරුණ වන්නේ, වරක් සුව වූ මීයන්ට නැවත පිළිකා සෛල ඇතුළු කළද ඔවුන්ට අලුතින් පිළිකා ඇති නොවීමයෙ. මෙයින් පෙනී යන්නේ බැක්ටීරියාව මගින් සිරුරේ ආරක්ෂක පද්ධතියට පිළිකාව හඳුනාගෙන එයට එරෙහිව සටන් කිරීමට ස්ථිර පුහුණුවක් ලබා දෙන බව යැයි පැවැසෙයි. 

දැනට භාවිත කරන කීමෝ ප්‍රතිකාරවලට වඩා මෙය ආරක්ෂිත බවත්, සිරුරේ නිරෝගී අවයවවලට මෙයින් හානියක් නොවන බවත් හෙළි වී ඇත. දැනට මීයන් යොදාගෙන සිදු කළ පරීක්ෂණ අතිශය සාර්ථක වුවද, මෙය මිනිසුන් සඳහා භාවිත කිරීමට පෙර තවදුරටත් පරීක්ෂණ රැසක් සිදු කළ යුතුව ඇත. 

මෙම සොයාගැනීම සාර්ථක වුවහොත්, අනාගතයේදී පිළිකා රෝගය මර්දනය කළ හැකි ඉතාම සරල සහ ආරක්ෂිත ඖෂධයක් ලොවට බිහි වනු ඇතැයි විද්‍යාඥයෝ විශ්වාසය පළ කරති. 

ලුසිත ජයමාන්න 
Science Alert ඇසුරිනි

Classified_Ad