
මේ වනවිට එහි පූර්ව ප්‍රචාරක පට දෙකක් ප්‍රසිද්ධියට පත් කර ඇති අතර, එදා 80 දශකයේ He-Man කාටූන් බැලූ පොඩිත්තන් අද වැඩිහිටියන් වී, තම දූ දරුවන් සමග මෙම අලුත් 'Masters of the Universe' චිත්‍රපටය රසවිදීම සැබැවින්ම අපූරු අත්දැකීමක් වනු ඇත.
1983 වසරේදී ඇරඹුණු මෙම කතාමාලාවට පාදක වන්නේ ඉටර්නියා Eternia නමැති ග්‍රහලෝකයයි. Eternia ග්‍රහලෝකයේ රජු රැන්ඩෝ වන අතර ඔහුගේ බිසව මාර්ලීනා පෘථිවියේ සිට අභ්‍යවකාශ ගවේෂණයට ගොස් Eternia ග්‍රහලොවට ගොඩබසින පෘථිවි තරුණියකි.
යුවළට නිවුන් දරුවන් දෙදෙනකු සිටින අතර එයින් පිරිමි දරුවා ඇඩම් කුමරුය.

Grayskull නමැති නටබුන් වුණු මාලිගයේ බලය මැජිකන් අසිපත හරහා ඇඩම් කුමරුට හිමිවන්නේ ඔහු He-Man නමැති වීරයා බවට පත් කරමිණි.
He-Man සහ Masters of the Universe නමැති Eternia ග්‍රහලෝකයේ අනෙක් වීරයන් සටන් වදින්නේ ස්කෙලටෝ Skeletor නමැති නපුරු මායාකරු සහ ඔහුගේ නපුරන් සේනාව සමගය.
He-Man කාටූන් මාලාව 80 දශකයේ නිර්මාණය වූයේ Mattel සමාගම විසින් වෙළඳපොළට නිකුත් කළ He-Man සෙල්ලම් බඩු ප්‍රවර්ධනය කිරීමටය. නමුත් එය කෙතරම් සාර්ථක වූවාද යත්, එය ඉතිහාසයේ වැඩිම පිරිසක් නැරඹූ කාටූන් මාලාවක් බවට පත්වුණු බව අවිවාදයෙන් කිව යුතුය.

අද කාටූන් මෙන් නොව, 80 දශකයේ විකාශය වුණු සෑම He-Man කථාංගයක් අවසානයේදීම කුඩා දරුවන්ට යම් කිසි ආදර්ශයක් හෝ සදාචාරාත්මක පණිවිඩයක් ලබා දීමට නිෂ්පාදකයින් කටයුතු කිරීම ද විශේෂත්වයකි.බොරු නොකීම, පරිසරය සුරැකීම සහ අන් අයට උදවු කිරීම වැනි දේ ඊට ඇතුළත් විය.
ජූනි මාසයේ තිරගත වන මෙම නවතම සජීවී ක්‍රියාදාම Live-action- Masters of the Universe චිත්‍රපටයේ ඇඩම් කුමරු සහ He-Man ලෙස චරිත නිරූපණය කරන්නේ නිලස් ගැල්ට්සින් (Nicholas Galitzine) ය. මොහු The Idea of You සහ Red, White & Royal Blue වැනි චිත්‍රපට හරහා බොහෙවින් ජනප්‍රිය වූ තරුණ නළුවෙකි.
චිත්‍රපටයේ ටීලා Teela ලෙස කැමිලා මෙන්ඩිස්, මෑන් ඇට් ආමිස් හෙවත් ඩන්කන් Man-At-Arms (Duncan) ලෙස ජනප්‍රිය නළු ඉඩ්රිස් එල්බා, නපුරු මන්තරකාරිය ඊවල්-ලින් ලෙස Evil-Lyn ඇලිසන් බ්‍රී මෙම චිත්‍රපටයට එක් වී සිටිති.

සුප්‍රකට ඔස්කාර් සම්මානලාභී නළු ජැරඩ් ලෙටෝ මෙහි ප්‍රධාන දුෂ්ටයා ස්කෙලටෝ ලෙස රංගනයෙන් දායක වෙයි. බම්බල්බී Bumblebee සහ කුබෝ ඇන්ඩ් ද ටූ ස්ට්‍රිංග්ස් Kubo and the Two Strings යන චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ට්‍රැවිස් නයිට් මෙහි අධ්‍යක්ෂවරයාය.
Masters of the Universe චිත්‍රපටය, ඇමසන් එම්.ජී.එම්. චිත්‍රගාරය Amazon MGM Studios සහ මැටෙල් ෆිල්ම්ස් Mattel Films එක්ව සිදුකරන දැවැන්ත නිෂ්පාදනයකි. මෙය 026 ජූනි 5 වනදා ලොව පුරා සිනමාහල්වල තිරගත වීමට නියමිතය.

මීට වසර 40 කට පමණ පෙර, එනම් 1987 වසරේදී Masters of the Universe නමින් පළමු සජීවී (Live-action) චිත්‍රපටයක් තිරගත විය. ප්‍රකට ක්‍රියාදාම නළු ඩොල්ෆ් ලුන්ඩ්ග්‍රන් (Dolph Lundgren) මෙහි He Man ලෙස රංගනයෙන් දායක විය. ස්කෙලටෝ ලෙස රංගනයෙන් දායක වූයේ ෆ්‍රෑන්ක් ලැන්ගෙල්ලා (Frank Langella) ය.
ලුසිත ජයමාන්න
