T Rex ගේ වයස - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jan 22, 2026

T Rex ගේ වයස

ඩයිනසෝරයන් අතරින්, වඩාත් ප්‍රකට‍, ලොකු කුඩා කවුරුත් හොඳින් හඳුනන ඩයිනසෝරයකු වන්නේ ටයිරැනසෝරස් රෙක්ස් (කෙටියෙන් ටී රෙක්ස්) ය. ටයිරැනසෝරස් රෙක්ස් යන්නෙහි අරුත ඩයිනසෝර රජු යන්නය. 


ටී රෙක්ස් ඩයිනසෝරයා ගැන මෙතෙක් දරා සිටි මතයන් වෙනස් කිරීමට පොසිල විද්‍යාඥයන්ට දැන් හැකියාව ලැබී ඇත. නවතම සාක්ෂි අනුව, පොසිල විද්‍යාඥයන් පවසන්නේ, ටී රෙක්ස් නැමැති මේ දැවැන්තයා අප මුලින් අනුමාන කළ ආකාරයට වඩා සෙමින් සෙමින් වර්ධනය වී, වැඩි කාලයක් ජීවත් වන්නට ඇති බවය. 


ඇමෙරිකාවේ ඔක්ලහෝමා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හොලී වුඩ්වර්ඩ් ප්‍රමුඛ කණ්ඩායම විසින් එකිනෙකට වෙනස් ටී රෙක්ස් අස්ථි පොසිල 17 ක් නවීන තාක්ෂණය යොදා ගනිමින් ස්කෑන් පරීක්ෂණවලට යොමු කරමින් මෙම කරුණු අනාවරණය කරගෙන තිබේ. සරලව පැහැදිලි කළොත්, මෙම අනාවරණය සඳහා විද්‍යාඥයන් භාවිත කළේ ගසක වයස මැනීමට ගන්නා ක්‍රමයට සමාන ක්‍රමයකි. 


ගසක් කැපූ විට එහි කඳේ ඇති වළලු මගින් එහි වයස ගණනය කළ හැකි සේම, ඩයිනසෝරයන්ගේ පාදවල අස්ථි තුළද වර්ධන වළලු පිහිටා තිබේ. විද්‍යාඥයන්, ධ්‍රැවිත ආලෝකය (Polarised light) සහ උසස් සංඛ්‍යාලේඛන ක්‍රමවේද භාවිතයට ගනිමින්, පොසිල අස්ථිවල මෙතෙක් කල් ඇසට නොපෙනී තිබූ සියුම් වර්ධන වළලු හඳුනා ගැනීමට සමත් වූ බව පැවැසෙයි. 


ලබා ගත් මෙම දත්තයන්ට අනුව ටී රෙක්ස් සතකු පූර්ණ වර්ධනයට පත්වීමට වයස අවුරුදු 35 සිට 40 දක්වා කාලයක් ගත වන බව තහවුරු වී ඇති අතර, එය පැරණි මතවලට වඩා බෙහෙවින් වැඩි කාලයකි. ටී රෙක්ස් ඩයිනසෝරයන්, ඔවුන්ගේ ජීවිත කාලය තුළ වේගයෙන්ම බර වැඩි කරගෙන ඇත්තේ වයස අවුරුදු 14 ත් 29 ත් අතර කාලයේදීය. 


සමහර වසරවලදී ඔවුන් රාත්තල් 800 සිට 1,200 දක්වා ප්‍රමාණයකින් බරින් වැඩි වී තිබේ. මහාචාර්ය වුඩ්වර්ඩ් පෙන්වා දෙන ආකාරයට, මෙම සෙමින් සිදුවන වර්ධන වේගය, ටී රෙක්ස් ඩයිනසෝරයන්ට ඔවුන් ජීවත් වූ පරිසරය තුළ ඉතා සාර්ථක දඩයම්කරුවකු වීමට මඟ පාදා දී ඇත. ක්‍රමයෙන් විශාල වීම නිසා විවිධ වයස් මට්ටම්වලදී විවිධ ප්‍රමාණයේ ගොදුරු සොයා ගැනීමට ටී රෙක්ස්ට හැකි වූ අතර, අවසානයේ ඔවුන් කෙතරම් විශාල වූවාද යත් ඔවුන්ට ආහාර සඳහා තරඟ කිරීමට සිදු වූයේ තවත් ටී රෙක්ස් ඩයිනසෝරයකු සමඟ පමණි. 


මෙම පර්යේෂණය ටී රෙක්ස් ඩයිනසෝරයන්ගේ වර්ධනය පිළිබඳ මෙතෙක් ලොව රැස් කරන ලද වඩාත්ම සවිස්තරාත්මක දත්ත සමුදාය ලෙස සැලකේ. අස්ථිවල සැඟවුණු සහ තදබද වී තිබූ වළලු නිවැරදිව ගණනය කිරීම හරහා ඩයිනසෝරයන්ගේ වර්ධන වක්‍රය වඩාත් පැහැදිලිව ඉදිරිපත් කිරීමට විද්‍යාඥයන්ට හැකි වී ඇත. මෙය අනාගතයේදී අනෙකුත් ඩයිනසෝර විශේෂ පිළිබඳව සිදු කරන පර්යේෂණ සඳහා ද ඉතා වැදගත් මගපෙන්වීමක් වනු නිසැකය. 


ලුසිත ජයමාන්න 

NDTV Science ඇසුරිනි

Classified_Ad