සිරුරේ ඉන්න අමුත්තෝ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jan 22, 2026

සිරුරේ ඉන්න අමුත්තෝ

මිනිස් සිරුර කියන්නෙත් අබිරහස් සඟවා ගත් තැනක් බව ඔබ දන්නවාද? මිනිස් සිරුරේ අබිරහස් එකිනෙක අනාවරණය කර ගැනීමට විද්‍යාඥයන් උත්සහ ගනිමින් සිටිද්දී, කුතුහලය දනවන‍ විස්මිත සොයා ගැනීමක් කිරීමට, කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් සම්මානලාභී ඇන්ඩෲ ෆයර් ප්‍රමුඛ විද්‍යාඥ කණ්ඩායම පසුගිය දා සමත් වූහ. සාමාන්‍යයෙන් අප පාසලේදී ඉගෙන ගන්නේ, මිනිස් සිරුර යනු විවිධ වර්ගයේ ක්ෂුද්‍ර ජීවීන් බිලියන ගණනකගේ වාසස්ථානයක් කියාය. 

ඇසට නොපෙනෙන මෙම ජීවීන් සමූහය විද්‍යාත්මකව හියුමන් මයික්‍රොබියෝම් (Human Microbiome) ලෙස හඳුන්වයි. ප්‍රධාන වශයෙන්ම බැක්ටීරියා වර්ග අතිවිශාල ප්‍රමාණයක් සිටින අතර, ඊට අමතරව වයිරස, දිලීර සහ ප්‍රොටෝසෝවා වැනි ජීවීන් ද අන්තර්ගත වෙයි. සිරුරේ ඇති සෛල ප්‍රමාණයට සමාන හෝ ඊටත් වඩා වැඩි ක්ෂුද්‍ර ජීවීන් සංඛ්‍යාවක් අප තුළ ජීවත් වීම සැබැවින්ම පුදුමයට කරුණකි. 

ඇන්ඩෲ ෆයර් ප්‍රමුඛ විද්‍යාඥ කණ්ඩායමට අනුව, තවත් අමුතුම විදියේ අමුත්තන් පිරිසක් අප සිරුරුවල සිටින අතර වයිරසවලට වඩා ප්‍රමාණයෙන් කුඩා මෙම අමුතු අමුත්තන්, තුළින් අපට පෙනෙන්නේ අප මෙතෙක් දැන සිටි ක්ෂුද්‍ර ජීවීන්ට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයක හැසිරීම් රටාවකි. මෙය හුදෙක් තවත් එක් නව ක්ෂුද්‍ර ජීවියකුගේ සොයා ගැනීමකට වඩා එහා ගිය, විද්‍යාඥයන් මවිතයට පත් කළ කරුණකි.
 
මෙම සුවිශේෂී සොයාගැනීම සිදු වූයේ විද්‍යාඥයන් අතිවිශාල ජානමය දත්ත පද්ධති (genetic libraries) විශ්ලේෂණය කරමින් සිටියදීය. එහිදී ඔවුහු මෙතෙක් හඳුනාගෙන ඇති කිසිදු ජීවියකුට සමාන නොවන අමුතුම ආකාරයේ ජාන රටා කිහිපයක් නිරීක්ෂණය කළහ. විද්‍යාඥයන් සොයාගත් මෙම නව ව්‍යුහයන් සාමාන්‍ය ජීවී ස්වරූපවලට කිසිසේත්ම සමාන නොවන අතර, ඒවායේ ඇති සුවිශේෂී හැඩය නිසාම මේවා ඔබිලිස්ක් (Obelisks) හෙවත් ‘සිරිලකුණ‘ ලෙස නම් කර ඇත. 
‘අප වැඩි වැඩියෙන් මිනිස් සිරුර ගවේෂණය කරන විට මෙවැනි පුදුම සහගත දේවල් හමුවීම ඇත්තෙන්ම අදහාගත නොහැකි බවය. විද්‍යාත්මකව බලන විට, ඔබිලිස්ක් ව්‍යුහයන් ශාකවලට හානි කරන වයිරොයිඩ්ස් (viroids) ලෙස හඳුන්වන රවුම් හැඩැති ආර්.එන්.ඒ. RNA අණුවලට යම් සමානකමක් දක්වයි. ඒත් විශේෂත්වය වන්නේ මෙම ඔබිලිස්ක් හමුවී ඇත්තේ මිනිස් සිරුරේ වෙසෙන බැක්ටීරියාවන් තුළ වීමයි’ යැයි මෙම සොයාගැනීම පිළිබඳ අදහස් දක්වන චැපල් හිල්හි උතුරු කැරොලිනා විශ්වවිද්‍යාලයේ සෛල හා සංවර්ධන ජීව විද්‍යාඥ මාර්ක් පයිෆර් පැහැදිලි කරයි. 

ලුසිත ජයමාන්න 
Earth.com ඇසුරිනි

Classified_Ad