
කෘතිම බුද්ධිය හෙවත් ඒ.අයි. මානව වර්ගයාගේ යහපත උදෙසා භාවිත කිරීමේ අරමුණින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් විශේෂ සමුළුවක් නවදිල්ලි අගනුවරදී ආරම්භ වීමට නියමිත අතර, අග්‍රාමාත්‍ය මෝදි මහතාගේ විශේෂ ඇරැයුමකට අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද ඊට සහභාගී වීමට නියමිතය.
මෙම ඒ.අයි. සමුළුව, හෙට (16) සිට ලබන 20 දක්වා නවදිල්ලි අගනුවර කේන්ද්‍රකොට ගනිමින් පැවැත්වෙයි. ඉහළ පෙළේ රාජ්‍ය නායකයන් රැසක් සමුළුවට සහභාගී වීමට නියමිතය.
බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, භූතාන අග්‍රාමාත්‍ය ත්ෂෙරින් ටොබ්ගේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ඔටුන්න හිමි කුමරු ෂෙයික් කලීඩ් බින් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් ඇතුළු රටවල් 20ක රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් සමුළුවට සහභාගී වන බව ඉන්දීය රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
රාජ්‍ය නායකයන්ට අමතරව රටවල් 45 කට අධික සංඛ්‍යාවක අමාත්‍ය මට්ටමේ දූත පිරිස් ද, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම පස්දින සමුළුවට සහභාගී වනු ඇතැයි ද පැවැසෙයි.
කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන්, ඉන්දියාව අනුගමනය කරන මානුෂීය සහ තිරසාර ප්‍රවේශය පිළිබිඹු වන ආකාරයට සමුළුව පැවැත්වෙයි.
ගෝලීය වශයෙන් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ අනාගත ගමන් මග සම්බන්ධයෙන් ලෝකයේ අවධානය ඇති කිරීම සමුළුවේ ප්‍රධාන අරමුණ වෙයි. නවීන තාක්ෂණය හරහා ගෝලීය අභියෝග ජයගන්නා ආකාරයත්, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය වගකීම් සහගතව භාවිත කිරීමේ වැදගත්කමත් පිළිබඳවත් සමුළුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරෙනු ඇත.