බංග්ලාදේශයේ නව අගමැති - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Feb 14, 2026

බංග්ලාදේශයේ නව අගමැති

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැප වෙමින්, බංග්ලාදේශයට නායකත්වය දීමට තමන් සුදානම් බව, එරට මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ බංග්ලාදේශ ජාතික පක්ෂයේ නායක තරීක් රහ්මාන් පවසයි. බංග්ලාදේශ ජාතික පක්ෂය යනු එරට අභාවප්‍රාප්ත අග්‍රාමාත්‍යවරියක වන බෙගම් කලීඩා සියාගේ දේශපාලන පක්ෂයයි. 

60 හැවිරිදි තරීක් රහ්මාන්, කලීඩා සියාගේ වැඩිමල් පුත්‍රයාය. වසර 17 ක් ලන්ඩනයේ ජීවත් වූ රහ්මාන්, පසුගිය 2025 දෙසැම්බරයේ යළි බංග්ලාදේශය බලා පැමිණියේ කලීඩා සියාගේ අභාවයත් සමඟය. ලන්ඩනයේ සිට පක්ෂයේ සභාපති ලෙස කටයුතු කළ ඔහු ඉන්පසු පක්ෂ නායකත්වය බාර ගත්තේය. දැන් ඔහු බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ධුරය බාර ගැනීමට ද සූදානම්ය.

“බංග්ලාදේශයට ප්‍රජාතන්ත්‍රවාදය උදා කරන්න මා සූදානම්. රටට නායකත්වය දෙන්න මා සූදානම්. අප ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැප විය යුතුයි. මා එය කරනවා. අප ජාතික පක්ෂයට ඡන්දය දුන් නොදුන් සැමට නායකත්වය දෙමින්, බෙදුණු රට එකමුතු කරන්න මා බලාපොරොත්තු වෙනවා. අපේ අරමුණු, දේශපාලන දැක්ම වෙනස් වෙන්න පුළුවන්. ඒත් රටේ යහපත වෙනුවෙන් දේශපාලනික බෙදීම් පසෙකළා අපි එකමුතු විය යුතුයි” යැයි තරීක් රහ්මාන් පවසා ඇත. 

2024 වසරේ දී බංග්ලාදේශයේ ශිෂ්‍ය අරගලයෙන් පසු වසර 15 ක් තිස්සේ අග්‍රාමාත්‍ය ධුරය හොබවමින් සිටි සීක් හසීනාට බලය අහිමි විය. බංග්ලාදේශ ‘ජෙන් සී’ තරුණ තරුණියන්ගේ විරෝධය මැද හසීනා ධූරය අතහැර අසල්වැසි ඉන්දියාවට පලා ගියාය. දැන් ඇය ඉන්දීය රජයේ ආරක්ෂාව ලැබ නවදිල්ලියේ වාසය කරන්නීය.

හසීනා නායකත්වය දෙන්නේ අවාමි ලීගය දේශපාලන පක්ෂයටය. හසීනාගේ පාලනය අවසන් කිරීමෙන් පසු බංග්ලාදේශයේ පාලනය අන්තර්වාර පාලක මණ්ඩලයකට හිමිවුණු අතර, එහි නායකත්වය පැවැරුණේ මොහොමඩ් යූනිස්ටය. 

හසීනාගේ අවාමි ලීගය පක්ෂය තහනම් කෙරුණු අතර, තරුණ අරගලෙයන් පසු පසුගිය 12 වැනිදා පැවැති බංග්ලාදේශ මහ මැතිවරණයට අවාමි ලීගයට ඉදිරිපත් වීමට නොහැකි විය. අන්තර් පාලක මණ්ඩලයේ නායක මොහොමඩ් යූනිස්, තරීක් රහ්මාන්ට සුබ පැතූ බව ද වාර්තා වේ. 

මැතිවරණයේ ප්‍රතිඵල පසුගිය 13 වැනිදා නිකුත් වෙද්දී, බංග්ලාදේශ ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් දිනා ගැනීමට හැකි වී තිබුණි. නවතම මැතිවරණ ප්‍රතිඵලවලට අනුව, ප්‍රකාශයට පත් කරන ලද ආසන 297න් ආසන 209 ක් බංග්ලාදේශ ජාතික පක්ෂය සතු විය. 

බංග්ලාදේශ මැතිවරණ කොමිසම ද මේ බව තහවුරු කර තිබේ. ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 59.88ක් බව මැතිවරණ කොමිසම වැඩි දුරටත් කියා සිටියේය. බංග්ලාදේශයේ පැවැති වඩාත් විශ්වාසනීය මහ මැතිවරණය මෙය බව ද කොමිසම තහවුරු කර ඇත. 

හසීනාගේ පාලන සමයේ, තහනමට ලක් කළ විපක්ෂ දේශපාලන කණ්ඩායමක් වන ජමාත්-ඊ-ඉස්ලාමි පක්ෂය මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙමින් ආසන 68 ක් දිනා ගත්තේය. බංග්ලාදේශ ජාතික පක්ෂය රජයක් පිහිටුවන්නේ නම්, සාමාජිකයින් 350කින් සමන්විත බංග්ලාදේශ පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය බවට පත්වනු ඇත්තේ ජමාත්-ඊ-ඉස්ලාමි පක්ෂයයි. 

බංග්ලාදේශ පාර්ලිමේන්තුවේ ආසන 300 කි. එසේ වුවත්, එක් අපේක්ෂකයකුගේ අභාවය හේතුවෙන් ආසන 300ක් වෙනුවට මැතිවරණය පැවැත්වුණේ ආසන 299 ක් වෙනුවෙනි. ඊට අමතරව, චිතගොං-3 සහ චිතගොං-8 යන මැතිවරණ කොට්ඨාසවල ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම අධිකරණය විසින් වැළැක්වීමට ද කටයුතු කෙරුණි. සමස්ත ආසන 297ක ඡන්ද ප්‍රතිඵල පමණක් නිකුත් කෙරුණේ එබැවිනි. 

පාර්ලිමේන්තුවේ ආසන 50ක් නාමික මන්ත්‍රීවරුන් සඳහා වෙන් කර ඇත. 2024 වසරේ ශිෂ්‍ය අරගලයෙන් බිහිවුණු දේශපාලන පක්ෂයක් ලෙස සැලකෙන්නේ ජාතික පුරවැසි පක්ෂයයි. මෙම පක්ෂය මැතිවරණයෙන් තෙවැනි ස්ථානයට පත් වීම ද විශේෂත්වයකි. ඒ ආසන 6 ක් දිනා ගනිමිනි. මෙම පක්ෂයේ නායක නහිඩ් ඉස්ලාම් සිය ආසනය ජයග්‍රහණය කිරීමට සමත්ව ඇති අතර, ඔහු නව පාර්ලිමේන්තුවේ ලාබාලතම මන්ත්‍රීවරයා බවට පත්වනු ඇතැයි ද පැවැසෙයි. 

ජාතික පුරවැසි පක්ෂය මෙම මැතිවරණයට ඉදිරිපත් වූයේ ජමාත් පක්ෂය සමඟ සන්ධානගතවය. 12 වැනිදා පැවැති මහ මැතිවරණයට සමගාමීව, ජනමත විචාරයක් ද පැවැත්විණි. රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය අරමුණු කරගත් ජූලි ප්‍රඥප්තිය මෙම ජනමත විචාරයට ඇතුළත් විය. 

ඊට අමතරව, බංග්ලාදේශයේ එක් අග්‍රාමාත්‍යවරයකුගේ ධුර කාලය සීමා කිරීමට ද නව නීති හඳුන්වා දීම ආදී දේශපාලන ප්‍රතිසංස්කරණ රැසක් ද ජූලි ප්‍රඥප්තියට ඇතුළත්ය. බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍ය ලෙස තරීක් රහ්මාන්ගේ දිවුරුම් දීමේ උත්සවයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ඇරයුම් කිරීමට බංග්ලාදේශ ජනතා පක්ෂය සූදානම් වෙයි. 

මේ වනවිට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද තාරීක් රහ්මාන්ට සුබ පැතුම් එක් කර ඇත. ඒ, ඔහු ලැබූ අතිවිශිෂ්ට ජයග්‍රහණය සම්බන්ධයෙනි. බංග්ලාදේශ වැසියන්, තරීක් රහ්මාන්ගේ නායකත්වය ගැන විශ්වාසයෙන් ඡන්දය ලබා දී ඇති බව මෝදි පවසා තිබේ.

බංග්ලාදේශයේ පළමු හමුදා පාලකයා මෙන්ම දිවංගත ජනාධිපතිවරයකු ද වන සියාඋර් රහ්මාන් සහ හිටපු අගමැතිනි කිලීඩා සියාගේ වැඩිමහල් පුත්‍රයා වන තරීක් රහ්මාන් 1965 නොවැම්බර් 20 වන දින උපත ලැබීය. බංග්ලාදේශ ජාතික පක්ෂයේ නිල වෙබ් අඩවියේ සඳහන් වෙන්නේ තරීක් රහ්මාන් උපත ලැබුවේ 1968 නොවැම්බර් 20 බවය. එම වෙබ් අඩවියට අනුව, ඔහු ඩකාහි බීඒඑෆ් ෂහීන් විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය සම්පූර්ණ කර ඇති අතර, පසුව 1980 දශකයේදී ඩකා විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යයනාංශයට ඇතුළත් විය. 

 සියාඋර් රහ්මාන්ගේ පවුල ද විමුක්ති යුද්ධයේදී තවත් බොහෝ හමුදා නිලධාරීන්ගේ පවුල් සමග සිරගත කරනු ලැබූහ. ඔවුන්ගේ පුතුන් දෙදෙනා වන තරීක් රහ්මාන් සහ අභාවප්‍රාප්ත අරෆත් රහ්මාන් ද ඒ අවස්ථාවේ සිරගත කෙරිණි. බංග්ලාදේශයේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන බංග්ලාදේශ ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයකට තරීක් රහ්මාන් නායකත්වය දුන් පළමු අවස්ථාව ද මෙයයි.

රහ්මාන්ගේ දේශපාලන ප්‍රතිවාදීන් ඔහුට ඇති දූෂණ චෝදනා සහ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව ප්‍රශ්න මතු කළ ද, ඔහුගේ ජාතික පක්ෂය, ඔහු තනි, ශක්තිමත් නායකයකු ලෙස හඳුන්වා දෙයි. එල්ල වන දූෂණ චෝදනා රහ්මාන් සහ ඔහුගේ පක්ෂය මෙම දූෂණ චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, ඒවා පෙර පැවති අවාමි ලීග් රජයේ හුදු ප්‍රචාර බවට විස්තර කර ඇත. 

 2007 දී බංග්ලාදේශයේ හමුදා සහය ලත් භාරකාර රජය සමයේදී දූෂණ චෝදනා මත තරීක් රහ්මාන් අත්අඩංගුවට ගන්නා ලදී. මාස 18 ක් සිරගතව සිටීමෙන් පසු, ඔහු 2008 සැප්තැම්බර් මාසයේදී නිදහස ලැබීය. රහ්මාන් පවුලේ අය ද සමඟ ලන්ඩන් නුවර පදිංචියට ගියේ ඒ අනුවය. පසුගිය දෙසැම්බරයේ යළි බංග්ලාදේශයට පැමිණෙද්දී, රහ්මාන්ට හිමිවූයේ අතිවිශිෂ්ට පිළිගැනීමකි. 

තරුණ අරගලයක් හමුවේ, දේශපාලනික වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් ද අස්ථාර වුණු බංග්ලාදේශය නැගී සිටුවීමට රහ්මාන්ට හැකි වේවි යැයි බංග්ලාදේශ වැසියන් බලාපොරොත්තු දල්වා ගෙන සිටී. ඒ බව මැතිවරණ ප්‍රතිඵලයෙන් ද තහවුරු වෙයි. 

BBC ඇසුරිනි

Classified_Ad