
ඉන්දියාවේ තෙලඟනා ප්‍රාන්තයේ, හයිද්‍රාබාද් නගරයේ බටහිර කෙළවරේ පිහිටි ගෝල්කොණ්ඩා බලකොටුව හුදෙක් ගල් පවුරු සමූහයක් නොව, දකුණු ආසියා ඉතිහාසයේ සශ්‍රීකත්වය, යුධ බලය සහ වාස්තු විද්‍යාත්මක විශිෂ්ටත්වය මුසු වූ මහා කලාගාරයකි.
මීටර් 120 ක් උසැති කළුගල් කන්දක් මත නිර්මාණය කර ඇති මෙම බලකොටුව, වසර සිය ගණනක් පුරා ලෝකයේ අවධානය දිනාගත් දියමන්ති අගනුවර ලෙස හැඳින්විය හැකිය.
ගෝල්කොණ්ඩා බලකොටුවේ උපත සිදු වන්නේ 11 වන සියවසේදී කාකතීය රාජවංශයේ පාලන සමයේදීය. එකල එය 'ගොල්ලකොණ්ඩා' හෙවත් 'එඬේරාගේ කන්ද' ලෙස හැඳින්වූයේ, එම ප්‍රදේශයේ සිටි එඬේර පිරිමි ළමයකුට කන්ද මුදුනේ තිබී දේව රූපයක් හමු වූ බවට පැතිරුණු ජනප්‍රවාදය නිසාය.



කාකතීය රජුන් විසින් මඩ පවුරු සහිතව ඉදි කළ මුල් බලකොටුව 1364 දී බහ්මනී සුල්තාන්වරුන් සතු විය. 1518 සිට 1687 දක්වා කාලයේ කුත්බ් ෂාහි රාජවංශය යටතේ බලකොටුව එහි ස්වර්ණමය යුගයට අවතීර්ණ විය.
සුල්තාන් කුලි විසින් මෙය දැවැන්ත කළුගල් බලකොටුවක් ලෙස ප්‍රතිනිර්මාණය කර තම රාජධානියේ අගනුවර බවට පත් කළේය.
ගෝල්කොණ්ඩා බලකොටුව කොටස් හතරකින් යුක්ත වන අතර, කිලෝමීටර් 10 ක් දිග බාහිර ප්‍රාකාරයකින් වට වී ඇත. එහි ඇති ආරක්ෂක විධිවිධාන අදටත් ඉංජිනේරුවන් මවිතයට පත් කරයි.
බලකොටුවේ ප්‍රධාන පිවිසුම වන 'ෆාටේ දර්වාසා' ගෝලාකාර වහලය යට සිට අත්පුඩියක් ගැසූ විට, එම ශබ්දය කිලෝමීටර් 1 කට වඩා ඈතින් පිහිටි බලකොටුවේ ඉහළම ස්ථානය වන බාලා හිසාර් මණ්ඩපයට ඉතා පැහැදිලිව ඇසෙයි. මෙය එකල සතුරන් පැමිණෙන බව දැනුම් දීමට භාවිතා කළ පෙර අනතුරු ඇගවීමේ ක්‍රමයක් ද විය.
මාලිගා අභ්‍යන්තරයේ සුළඟ ගමන් කරන දිශානතිය අනුව සකස් කළ වාතාශ්‍රය පද්ධති මගින් දැඩි ගිම්හාන කාලයේදී පවා අභ්‍යන්තරය සිසිල්ව තබා ගැනීමට සමත් විය. එය ස්වභාවික වායු සමීකරණයක් වැනිය.
අවුරන්ග්සෙබ් රජු ජයග්‍රාහීව බලකොටුවට ඇතුළු වූ දොරටුව යෝධ යකඩ උල් වලින් සමන්විතය.
මෙය ෆාටේ දර්වාසා (ජයග්‍රාහී දොරටුව) යනුවෙන් හැඳින්වෙයි. මෙම දොරටුව මේ අයුරින් නිර්මාණය කර ඇත්තේ සතුරු හමුදා සේනාංක හස්තීන් ලවා දොරටුව බිඳ දැමීම වැළැක්වීමට යැයි පැවැසෙයි.
ගෝල්කොණ්ඩා ලොව පුරා ප්‍රසිද්ධ වූයේ දියමන්ති නිසාය. 18 වන සියවස වන තෙක් ලොව එකම දියමන්ති ආකර පිහිටා තිබුණේ ඉන්දියාවේ පමණි. ලෝක ප්‍රසිද්ධ කෝහිනූර්, හෝප් සහ රීජන්ට් වැනි දියමන්ති ගෝල්කොණ්ඩා හි සුරක්ෂිතාගාර තුළ තැන්පත් කර තිබුණි. අතිශය විනිවිද පෙනෙන, නයිට්‍රජන් රහිත ටයිප් 2ඒ වර්ගයේ දියමන්ති ගෝල්කොණ්ඩා පතල් වලින් හමු වී ඇත.
"ගෝල්කොණ්ඩා" යන නාමය ඉංග්‍රීසි භාෂාවේ "අතිමහත් ධනය සහිත ස්ථානයක්" හැඳින්වීමට සාහිත්‍යමය වශයෙන් ද භාවිත කෙරේ.
17 වන සියවස වන විට ගෝල්කොණ්ඩා යනු හුදෙක් යුධ මධ්‍යස්ථානයක් නොව, කාර්යබහුල වෙළඳ නගරයකි.
ඉහළ ගුණාත්මක බවින් යුත් මස්ලින් සහ කැලිකෝ රෙදිපිලි මෙහි නිෂ්පාදනය විය. මෙම රෙදි වර්ග පර්සියාව සහ යුරෝපය වෙත විශාල වශයෙන් අපනයනය කෙරුණි. නිල් (ඉන්ඩිගෝ) සහ එළවළු යුෂ වලින් නිපදවූ සායම් භාවිතා කර නිර්මාණය කළ රෙදිපිළි ජාවා, සුමාත්‍රා වැනි රටවල පවා ඉහළ ඉල්ලුමක් දිනා ගත්තේය.
බලකොටුව තුළ ඉස්ලාමීය පල්ලි මෙන්ම හින්දු දේවාලද එක හා සමානව ගෞරවයට පාත්‍ර විය. බලකොටුව මුදුනේ පිහිටි මෙම දේවාලය වසර 1000 ක් පමණ පැරණිය. අදටත් සෑම වසරකම බෝනාලු උත්සවය සඳහා ලක්ෂ සංඛ්‍යාත බැතිමත්හු මෙහි පැමිණෙති.
බලකොටුවට කිලෝමීටරයක් පමණ උතුරින් පිහිටි මෙම කුත්බ් ෂාහි සොහොන් ගැබ් සංකීර්ණය ඉන්දු-ඉස්ලාමීය වාස්තු විද්‍යාවේ අපූරු නිර්මාණයකි.
1687 වසරේ දී මෝගල් අධිරාජ්‍යයා වූ අවුරන්ග්සෙබ් ගෝල්කොණ්ඩා යටත් කර ගැනීමට මාස අටක් පුරා බලකොටුව වටලන ලදී. බලකොටුවේ ශක්තිමත් පවුරු සහ කාලතුවක්කු නිසා එය සෘජුව යටත් කර ගැනීමට ඔහු අසමත් විය.

කෙසේ වෙතත්, අවසානයේ බලකොටුවේ ආරක්ෂකයකු වූ අබ්දුල්ලා ඛාන් පන්නි විසින් එක් දොරටුවක් රහසින් විවෘත කර දීම නිසා අවුරන්ග්සෙබ්ට බලකොටුව යටත් කර ගැනීමට හැකි විය. ඒ අනුව, වසර 170 ක කුත්බ් ෂාහි පාලනය නිමාවට පත්විය.
අද මෙම පෞරාණික මෙන්ම ගාම්භීර ගෝල්කොණ්ඩා බලකොටුව, අද දෙස් විදෙස් සංචාරක ආකර්ශණයකි.
ඉන්දියානුවන් නන්දෙසින් ආගම් භේදයකින් තොරව බලකොටුවේ නටබුන් නැරඹීමට පැමිණෙයි. සෑම දිනෙකම සන්ධ්‍යා කාලයේ ලේසර් සංදර්ශණයක් ද පැවැත්වෙයි. ඒ, බලකොටුවේ අතීත විභූතිය විදහා පාන කෙටි වීඩියෝ වාර්තාමය වැඩසටහන් ද සමඟය. එම ලේසර් සංදර්ශනය නැරඹීමට ද සන්ධ්‍යාවේ බොහෝ දෙනෙක් බලකොටුවට පැමිණෙති. තෙලිඟු මෙන්ම බොලිවුඩයේ ද චිත්‍රපට කීපයක් ගෝල්කොණ්ඩා බලකොටුව ආශ්‍රිතව රූගත කර ඇත.
ලුසිත ජයමාන්න
තෙලඟනා ප්‍රාන්තයේ සහ
ගෝල්කොණ්ඩා බලකොටුවේ
සංචාරයකින් පසු