ඇමෙරිකාව-ඊශ්‍රායලය-ඉරානය පැටළෙයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Feb 28, 2026

ඇමෙරිකාව-ඊශ්‍රායලය-ඉරානය පැටළෙයි

මුළු ලෝකයේම අවධානය යොමු වී ඇත්තේ මැදපෙරදිග කලාපයටය. ඉරාන ඉස්ලාමීය රජය අඩපණ කිරීමේ අරමුණි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එක් වී, ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කිරීම අරඹා ඇත. 

තෙහෙරානයේ ඉරාන ජනාධිපති මන්දිරය සහ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ කාර්යාලය ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර එල්ල විය. ඉරාන ජනාධිපති මෙසූඩ් පෙසෙෂ්කියන්ට හෝ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිට හෝ අනතුරක් නොමැති බවත්, දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ ඔවුන් දෙදෙනා රහසිගත ස්ථානයකට රැගෙන ගිය බවත් පැවැසෙයි. ඉරානය එල්ල වන ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින්, ඊශ්‍රායලයටත්, මැදපෙරදිග කලාපයේ ඇමෙරිකන් හමුදා කදවුරු සහ ඇමෙරිකන් ඉලක්කවලටත් ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන ඇත. 

 ඇමෙරිකා යුද දෙපාර්තමේන්තුවට අනුව, ඔවුන් ඉරාන ඉස්ලාසීය රෙජීමයට එරෙහිව ක්‍රියාත්මක කර ඇති හමුදා මෙහෙයුම නම් කර ඇත්තේ 'එපික් ෆියුරි' Epic Fury යන නමිනි. ට්‍රම්ප් සදහන් කර ඇති පරිදි, 'එපික් ෆියුරි' මෙහෙයුමේ අරමුණ ඉරානයේ මිසයිල පද්ධති සහ න්‍යෂ්ටික මධ්‍යස්ථාන මුළුමනින්ම විනාශ කර දැමීමය. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට අනුව, එරට ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ හමුදා මෙහෙයුම නම් කර ඇත්තේ 'ලයන්ස් රෝර්' Operation Lion’s Roar හෙවත් හෙවත් සිංහ ගර්ජනාව යනුවෙනි. 

මීට මාස කීපයකට පෙර ඊශ්‍රායලය ඉරානය සමහ ගැටුම් ඇති කර ගත්තේය. ඒම හමුදා මෙහෙයුම Rising Lion යනුවෙන් හැදින්විණි. Operation Lion’s Roar මෙහෙයුම Rising Lion මෙහෙයුමට වඩා දරුණු යැයි ඊශ්‍රායලය පවසා ඇත. ඇමෙරිකාවට සහ ඊශ්‍රායලයට ප්‍රතිචාර දක්වමින්, ඉරානය ආරම්භ කළ හමුදා මෙහෙයුම ටෲ ප්‍රොමිස් True Promise 4 හෙවත් සැබෑ පොරොන්දුව යනුවෙන් නම් කර ඇත. 

මේ අතර, මැදපෙරදිග සහ ඒ අවට රටවල පිහිටි ගමනාන්ත සහ ගුවන් අවකාශ භාවිතා කරමින් ක්‍රියාත්මක වන ගුවන් ගමන් වාර තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රීලංකන් ගුවන් සමාගම සහ ෆිට්ස් ගුවන් සමාගම තීරණය කර ඇති බැවින් එම ගමනාන්තය බලා ගමන් කිරීමට සූදානමින් සිටින ගුවන් මගීන් ගුවන්තොටුපොට පැමිණීමට පෙර තම ගුවන් ගමන් නියෝජිතයා හෝ ගුවන් සමාගම සමග සම්බන්ධ වීමෙන් ගුවන් ගමන් පිළබඳව දැනුවත් වන ලෙස ශ්‍රී ලංකා සිව්ල් ගුවන්සේවා අධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 

මේවනවිට මැදපෙරදිග සහ ඒ අවට කලාපයේ ඇතිවී තිබෙන යුදමය වාතාවරණය හේතුවෙන් එම ගුවන් අවකාශ වසා දැමීම හේතුකොට ගෙන මෙම තීරණය ගෙන තිබේ. ශ්‍රී ලංකාවෙන් පිටත්වන සහ පැමිනෙන ගුවන් යානා වෙනුවෙන් සහ මගීන් වෙනුවෙන් පහසුකම් සැලසීමට විශේෂ වැඩපිළිවෙලක් සිව්ල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා සිව්ල් ගුවන්සේවා අධිකාරිය පෙන්වා දෙයි. 

 අවශ්‍යතා මත ගුවන් ගමන් යොමුකිරීමට සිදුවුව හොත් මත්තල ගුවන්තොටුපොල ද ඒ සදහා සූදානම් කර ඇති බවත් අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙසත් ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය දැනුම් දෙයි මැදපෙරදිග රටවල මේ වන විට ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ එම රටවල සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් නිරන්තරයෙන් සමීපව නිරීක්ෂණය කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි. 

එතෙර සිටින ලාංකිකයන්ට ඒ ඒ රටවල රජය විසින් ලබා දී ඇති උපදෙස් සහ ශ්‍රී ලංකා තානාපති හා කාර්යාල හරහා ලබා දී ඇති මගපෙන්වීම තරයේ පිළිපදින ලෙස ඉල්ලා සිටින බවද අමාත්‍යංශය කියයි. මෙම තත්වය හමුවේ අමාත්‍යාංශය මඟින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් මැදිරියක් ස්ථාපනය කර ඇති අතර හදිසි අවස්ථාවකදී පහත සඳහන් දුරකථන අංකවලින් තොරතුරු විමසීම් කළ හැකි බව විදේශ අමාත්‍යංශය දැනුම් දෙයි. WhatsApp/Imo +94 71 980 2822 Hot line 1989

Classified_Ad