

මැදපෙරදිග ගැටුම දිනෙන් දින උණුසුම් වී, අපේ ජීවිත උඩු යටිකුරු කිරීමට පටන්ගෙන ඇත. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ අඹ යාළුවා ඊශ්‍රායල ජනාධිපති බෙන්ජමින් නෙදන්යාහු හෙවත් ‘බීබී’ ඉරානයට එරෙහිව එල්ල කරන ප්‍රහාර අවසන් කරන බවක් පෙනෙන්නට නැත.
පුරාණ ප්‍රෞඪ ජාතියක් වන පර්සියානුවන්ගෙන් සැදුම්ලත් ඉරානය කිසිසේත්ම ඇමෙරිකාවට යටත් වන බවක් පෙනෙන්නට ද නැත. ඉරානය ඇමෙරිකාවට යටත් වීම යනු එරට ඉස්ලාමීය පාලනයේ අවසානයයි.
තමන්ට ආරක්ෂා වීමට අයිතිය ඇතැයි පවසමින් ඉරානය සිය කලාපයේ ඇමෙරිකන් ඉලක්කවලට පහර දෙයි; ඊශ්‍රායලයට පහර දෙයි. මේ අතරතුරේ සැතපුම් දස දහස් ගණනක් ඈතින් පිහිටි උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන් ද ඇමෙරිකා-ඊශ්‍රායල ඉරාන ගැටුමට මැදිහත් වීමට පොටක් පාදා ගැනීමට උනන්දුවක් දක්වන බවක් ද පෙනෙයි.
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට පහර දෙන එක් හේතුවක් නම්, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනය. ට්‍රම්ප් සහ බීබී චෝදනා කරන්නේ ඉරානය ‘නුදුරු අනාගතයේ කවදා හෝ දිනයක’ ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන යටතේ පරමාණු බෝම්බ නිපදවනු ඇති බවත්, එය ලෝකයට තර්ජනයක් වනු ඇති බවත්ය.
එසේ වීම වැළැක්වීමට දැන් සිට ම ඉරානයට පහර දී අඩපණ කළ යුතු බව ට්‍රම්ප්ගේත් බීබීගේත් තර්කය වී ඇත. උතුරු කොරියාව සතුව ද න්‍යෂ්ටික වැඩසටහනක් ඇත. ඉරානය මෙන් නොව, උතුරු කොරියාව එළිපිට න්‍යෂ්ටික අත්හදා බැලීම් කරයි.
න්‍යෂ්ටික යුද ශීර්ෂ රැගෙන ඇමෙරිකාවට පවා විදිය හැකි දිගු දුර මිසයිල අත්හදා බලයි. උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන යටතේ කරන්නේ මොනවාදැයි කියා ඇමෙරිකන් බුද්ධි අංශ හරිහැටි දන්නේ ද නැත. මෙය භයානක තත්ත්වයකි.
ඇමෙරිකාව දිගට හරහට ඉරානයට මෙන්ම උතුරු කොරියාවට ද සම්බාධක පනවා ඇත. සම්බාධක මැද ඉරානයට උදවු කරන්නේ චීනය, අසල්වැසි රුසියාවයි. උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහනට සහාය දක්වන්නේ ද මෙම රටවල්ය. උතුරු කොරියාව අභ්‍යවකාශ වැඩසටහනක් ද ආරම්භ කර ඇති අතර, ඊට රුසියාව සහ චීනය සහාය දක්වයි.
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට පහර දෙද්දී සහ ඉරාන උත්තරීතර නායක අලි කමේනී ඝාතනය කළ අවස්ථාවේ, බොහෝ දෙනකු සිතුවේ රුසියාව සහ චීනය මැදිහත් වී, ඔවුන් රුසියාව සහ ඊශ්‍රායලය සමග පැටළෙනු ඇතැයි කියාය. ඒත් එවැන්නක් සිදු නොවිණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් ‘කට වචනයෙන්’ ඉරානය වෙනුවෙන් පෙනී සිටියේය.
උතුරු කොරියා නායක කිම් ජොන් උන් ඉරානය වෙනුවෙන් පෙනී සිටිමින් ඊශ්‍රායලයටත් ඇමෙරිකාවටත් ප්‍රසිද්ධියේ අනතුරු ඇඟවීය.
ඒ, ඉරානයේ සිටින එක උතුරු කොරියානුවකුට හෝ අනතුරක් සිදුවුවහොත් තම හමුදාව සහ තම න්‍යෂ්ටික මිසයිල ඇමෙරිකාව සහ ඊශ්‍රායලයට පැමිණෙනු ඇති බවටය. යුදෙව් ඊශ්‍රායලය සුනුවිසුණු කරන්න, ඉරානයට අවශ්‍ය වනු ඇත්තේ තමන්ගේ එක් බැලස්ටික් මිසයිලයක් පමණක් යැයි නායක කිම් ජොන් උන් පවසා ඇත. මෙය සුළුවෙන් තැකිය හැකි තර්ජනයක් නම් නොවෙයි.
අද අප දකින උතුරු සහ දකුණු කොරියාව වසර දහස් ගණනක් තිස්සේ එකම සංස්කෘතියක්, එකම භාෂාවක් සහ එකම උරුමයක් බෙදාගත් එකම රටකි. දෙරටේ වැසියන්ගේ ආගම ද එකමය.
ඒත් අවාසනාවකට, මේ එකම ජාතිය දෙකඩ වූයේ ලෝක දේශපාලනික බල අරගලයක් හමුවේ, මීට දශක කිහිපයකට පෙරය. විසිවන සියවස මුල් භාගයේදී කොරියාව පැවතියේ ජපානයේ යටත් විජිතයක් ලෙසය.
වසර 35ක ජපාන පාලනය අවසන් වූයේ 1945 දී දෙවන ලෝක යුද්ධය අවසන් වෙද්දී, ජපානය පරාජය වීමත් සමඟය. ජපානයෙන් නිදහස ලැබූ කොරියාවට තමන්ගේම පාලනයක් පිහිටුවා ගැනීමට අවස්ථාව ලැබුණ ද, එදා ප්‍රධාන ලෝක බලවතුන් දෙදෙනා ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය සහ සෝවියට් දේශය ඊට මැදිහත් විය.
දෙවන ලෝක යුද්ධය අවසානයේ සෝවියට් දේශය, ඔවුන්ට මායිම්ව පිහිටන කොරියාවේ උතුරු ප්‍රදේශයත්, ඇමෙරිකාව කොරියාවේ දකුණු ප්‍රදේශයත් පාලනය කිරීමට තීරණය කළේය.
මේ සඳහා ඔවුන් කොරියානු සිතියමේ ‘38 වන සමාන්තර රේඛාව’ යන නමින් මායිමක් ලකුණු කළේය. මෙය තාවකාලික බෙදීමක් ලෙස සැලකුණත්, නිරවි යුද්ධයේ ආරම්භයත් සමඟ උතුරේ සෝවියට් හිතවාදී කොමියුනිස්ට් පාලනයක් සහ දකුණේ ඇමෙරිකන් හිතවාදී ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකුත් ස්ථාපිත විය.
1950 දී උතුරු කොරියාව මුළු අර්ධද්වීපයම තම පාලනයට නතු කරගැනීමේ අරමුණින් දකුණු කොරියාව, උතුර ආක්‍රමණය කළේය. හටගත් යුද්ධය වසර තුනක් තිස්සේ පැවතිණි. මිලියන ගණනකට ජීවිත අහිමි විය.
1953 දී දෙපාර්ශ්වය අතර සටන් විරාමයක් අත්සන් කෙරුණ ද, එය සාම ගිවිසුමක් නොවීය. දකුණු කොරියාවේ වත්මන් ජනාධිපතිවරයා වන්නේ ලී ජේ මයුංග් ය. ඔහු නම්‍යශීලී ජනාධිපතිවරයෙකි.
පවතින සටන් විරාමය සාම ගිවිසුමකට පෙරළන්න දකුණු කොරියානු ජනාධිපතිවරයා උතුරු කොරියානු රජය සමග සාකච්ඡා පවත්වමින් සිටී.
උතුරු කොරියාව නිල වශයෙන් හැඳින්වෙන්නේ, මහජන ප්‍රජාතන්ත්‍රවාදී කොරියානු ජනරජය යනුවෙනි. වර්තමාන ලෝකයේ පවතින වඩාත්ම රහසිගත සහ මධ්‍යගත පාලනයක් සහිත රාජ්‍යය ලෙස සැලකෙන්නේ ද උතුරු කොරියාවය.
උතුරු කොරියාවේ පාලනය 1948 වසරේ සිට ‘කිම්’ පරම්පරාව සතුව පවතී. මෙම පරම්පරාවේ ආරම්භකයා කිම් ඉල්-සුං ය. මොහු වත්මන් නායක කිම් ජොං උන්ගේ සීයාය. ලෝකයේ එකම පරම්පරාගත කොමියුනිස්ට් පාලනය ඇත්තේ උතුරු කොරියාවේය.
නායක කිම් ජොං උන් රජයේ, හමුදාවේ සහ පාලක පක්ෂයේ නිරපේක්ෂ නායකයා වන අතර, ඔහුගෙන් තොරව කිසිදු තීරණයක් රට තුළ ක්‍රියාත්මක නොවෙයි. රටේ පරිපාලන කටයුතු මෙහෙයවනු ලබන්නේ කොරියානු කම්කරු පක්ෂය මගිනි. උතුරු කොරියානු පාලනයේ මූලික පදනම ‘ජුචේ’ නමැති දේශපාලන දර්ශනයයි. මෙයින් අදහස් කරන්නේ ‘ස්වයංපෝෂිත බව’ යන්නය.
බටහිර සම්බාධක මැද උතුරු කොරියාව නොසැලී සිටින්නේ ඔවුන්ගේ මෙම ස්වයංපෝෂිත බව නිසාය. උතුරු කොරියානු රජයේ තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ‘සොන්ගුන්’ හෙවත් ‘හමුදාවට මුල් තැන’ දීමේ ප්‍රතිපත්තියයි.
මැදපෙරදිග යුද උණුසුම මැද පසුගිය දා උතුරු කොරියානු පාලක කම්කරු පක්ෂයේ මහ සමුළුව ප්යොන්ග්යැන්ග් අගනුවර පැවැත්විණි. එහිදී මුළු ලෝකයේම අවධානය යොමු වූයේ නායක කිම් ජොන් උන්ගේ 13 හැවිරිදි දියණිය කෙරෙහිය.
කිම් ජොන් උන්ගෙන් පසු ඔහුගේ උරුමක්කාරයා වනු ඇත්තේ ඇය බව පැවැසෙයි. ඇය කිම් ජූ අයි ය. පසුගිය දා නායක කිම් ජොන් උන් දියණිය ද කැටුව උතුරු කොරියාවේ ගිනි අවි නිෂ්පාදන කම්හලක් නිරීක්ෂණයට ගිය අතර, එහිදී ඇය එම කම්හලේ නිෂ්පාදිත නවීන පන්නයේ පිස්තෝල පරීක්ෂා කිරීමට ද අමතක කළේ නැත. කිම් ජොන් උන් මෙන්, දියණිය ද පිස්තෝල පරීක්ෂා කළේ ඒවායින් ඉලක්කයට වෙඩි තබමිනි.
ලුසිත ජයමාන්න
Aljazeera ඇසුරිනි