
අප සියලු දෙනා මැදපෙරදිග හටගෙන ඇති අර්බුදය හේතුවෙන් පීඩාවට පත් වී සිටී. එය දිගු කාලීනව අප කාගේත් ජීවිත උඩු යටිකුරු තිරීමට සමත් වනු ඇති බව ජගත් දේශපාලන විශ්ලේෂකයන් පුරෝකතනය කර අවසන්ය.
ලෝකයේ සියලු දේ පාලනය කරන එක්තරා පද්ධතියක් ඇත. ලෝකය පාලනය කරන්නේ මේ පද්ධතියයි. මිල ගණන් තීරණය කරන්නේ මෙයයි. බලශක්තිය සම්බන්ධයෙන් තීරණය ගන්නේ මෙයයි. රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නේ මෙයයි. මෙය බැංකු පද්ධතියක් නොවෙයි. කොටස් වෙළෙඳපොළ ද නොවෙයි. මේ පද්ධතිය හැඳින්වෙන්නේ ‘පෙට්‍රෝඩොලර්’ යනුවෙනි.
ගෙවී ගිය පනස් වසරක පමණ කාලය පුරාවට ‘පෙට්‍රෝඩොලර්’ ලෝකය වෙනස් කර ඇත. ඉරාන ඊශ්‍රායල ඇමෙරිකා යුද්ධය මැද අද ලෝකය මුහුණ දෙන අර්ර්බුබුදයට මුල ද මේ පෙට්‍රෝඩොලරයයි. පෙට්‍රෝඩොලරය යනු කුමක්දැයි අවබෝධ කර ගැනීමට නම්, පළමුවෙන්, තෙල් අපට කොතරම් වටින්නේ ඇයිදැයි අප වටහාගත යුතුය.
අප තෙල් (ඩීසල් සහ පෙට්‍රල්) අපේ වාහන සඳහා භාවිතයට ගනී. ගුවන්යානාවලට නැව්වලට යොදා ගනී. ප්‍රවාහන කටයුතුවලට තෙල් අත්‍යාවශ්‍ය දෙයකි. ප්ලාස්ටික් නිපදවීමටත් තෙල් භාවිත කෙරේ.
විදුලි බලය නිපදවා ගැනීමටත් තෙල් (ඩීසල්) භාවිත කෙරේ. අප අපට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය නිපදවා ගැනීමටත් තෙල් භාවිතයට ගනී. පොහොර වර්ග නිපදවීමට යොදා ගනී. ඔබ නොදන්නවා විය හැක ඒත් සපත්තු, දත් බෙහෙත්, මේකප් වර්ග, ෂැම්පූ, පිරිසුදුකාරක දියර, ඇස් කණ්ණාඩිවලට යොදා ගන්නා කාච, සෙල්ලම් බඩු, ආහාර ඇසුරුම් සහ කසල බෑග් නිෂ්පාදනය ද ඇතුළු තවත් විවිධ කාර්යයන් සඳහා තෙල් භාවිතයට ගනී.
සරලව කීවොත් අපගේ ආර්ථිකය රැඳී පවතින්නේ තෙල් මතය.
තෙල් මෙතරම් වැදගත් නිසා රටවල් නිරන්තරයෙන් තෙල් මිලදී ගනී. ඇතැම් රටවල් බහුලව තෙල් නිෂ්පාදනය කරයි. වැඩිම තෙල් ඇති රට ලෙස සැලකෙන්නේ වෙනිසියුලාවය. වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝගේ පාලනය අවසන් කිරීමෙන් පසු ඒ තෙල් දැන් අයිති ඇමෙරිකාවටය. දෙවැනියට වැඩියෙන්ම තෙල් නිෂ්පාදනය කරන රට වන්නේ සෞදි අරාබියයි.
තවත් සමහර රටවල් තෙල් බහුලව භාවිතයට ගන්නා නමුත් තෙල් බහුල වශයෙන් නිෂ්පාදනය කරන්නේ නැත. ඊට උදාහරණයක් වන්නේ ජපානයයි. තෙල්වලට ඇති මේ විශාල ඉල්ලුම නිසා ඊට විශාල වෙළෙඳපොළක් නිර්මාණය විය. මේ තෙල් වෙළෙඳපොළ පාලනය කරන්නේ ඇමෙරිකන් ඩොලරයයි. එය එසේ වූයේ කෙසේද?
මෙය වටහා ගැනීමට නම් දෙවැනි ලෝක යුද්ධය අවසානයට යා යුතුය.
දෙවැනි ලෝක යුද්ධය අවසාන වෙද්දී, ලෝකයේ රටවල් බොහොමයක් යුද්ධයෙන් හෙම්බත් වී සිටි අතර, එම රටවලට සිදුවී තිබුණු විනාශය අතිමහත් විය. ඒත් ඇමෙරිකා එක්සත් ජනපදය ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වී නැගී සිටීමට පටන් ගෙන තිබුණි.
ඇමෙරිකන් කර්මාන්තශාලාවල නිෂ්පාද කටයුතු නොකඩවා සිදුවෙන්න විය. 1944 වසරේ දී, බ්‍රෙට්න් වුඩ්ස් ක්‍රමය යටතේ ලෝකයේ ප්‍රධාන මුදල් ඒකකය ලෙස ඩොලරය පිළිගැනුණි. නව ‘ලෝක පිළිවෙළකට’ ලෝකය හැඩ ගැසෙන්න විය. ඇමෙරිකාව පොරොන්දුවක් දුන්නේ, රත්තරන්වලට ඇමෙරිකන් ඩොලර් මාරු කළ හැකි බවටය.
1971 වසරේ දී, එවකට ඇමෙරිකාවේ ජනාධිපති ලෙස කටයුතු කළ රිචඩ් නික්සන්, ඇමෙරිකන් ඩොලරයට රන් මගින් ලබාදුන් සහතිකය අහෝසි කළේය. ඉන්පසු ඩොලරයේ වටිනාකම සහ ඉල්ලුම පවත්වා ගැනීම සඳහා ඇමෙරිකාව 1974 දී සෞදි අරාබිය සමඟ විශේෂ ගිවිසුමකට එලැඹුණි.
එම ගිවිසුමේ කොන්දේසිය වූයේ සෞදි අරාබිය තම තෙල් විකිණිය යුත්තේ ඇමෙරිකානු ඩොලර්වලින් පමණක් යන්නය. ඒ වෙනුවෙන් ඇමෙරිකාව සෞදි අරාබියට යුදමය ආරක්ෂාව සහ නවීන අවි ආයුධ ලබාදීමට එකඟ විය.
අද පවා ඇමෙරිකාව සහ සෞදි අතරේ ඇති හිතවත්කම මෙයයි.
ඊට අමතරව, සෞදි අරාබිය තෙල් විකුණා උපයන අතිරික්ත ඩොලර් නැවත ඇමෙරිකා බැංකු සහ භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කිරීමටද එකඟ විය. පසුව තෙල් අපනයනය කරන සෙසු රටවල් (ඔපෙක් සංවිධානයට අයත් රටවල්) ද මෙම ක්‍රමය නැතිනම් මෙම පද්ධතිය අනුගමය කිරීමට පටන් ගත්තේය.
පෙට්‍රෝඩොලර් යනු මෙයයි. පෙට්‍රෝඩොලර් පද්ධතිය නිසා ඇමරිකාවට සුවිශාල ආර්ථික වාසි රැසක් හිමිවෙයි. ඕනෑම රටකට තෙල් මිලදී ගැනීමට නම් ඩොලර් අවශ්‍ය වෙයි. එබැවින් ලෝකයේ සෑම රටක්ම තම සංචිත ලෙස ඩොලර් තබා ගැනීමට පෙළඹේ. සෙසු රටවල් තෙල් විකුණා ලබාගන්නා ඩොලර් නැවත ඇමෙරිකා බැඳුම්කරවල ආයෝජනය කරන බැවින්, ඇමෙරිකා රජයට ඉතා අඩු පොලියකට ණය ලබාගත හැකිවෙයි.
ලෝකයේ බලශක්ති ගනුදෙනු ඩොලර් හරහා සිදුවන බැවින්, වෙනත් රටවලට ආර්ථික සම්බාධක පැනවීමට ඇමෙරිකාවට විශාල බලයක් හිමිවෙයි. ඇමෙරිකාව ලෝක බලවතා වන්නේ මේ අයුරිනි.
අද වනවිට ලෝකය වෙනස් වී ඇති අතර, පෙට්‍රෝඩොලර් පද්ධතිය යම් අභියෝගයකට ලක්වෙමින් පවතී. මේවනවිට ඇමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතරේ පවතින අර්බුදයට හේතුව ද එයයි.
පෙට්‍රෝඩොලර් පද්ධතිය අභියෝගයට ලක් වීමට එක් ප්‍රධාන හේතුව වන්නේ චීනය සහ රුසියාව රටවල් ඩොලර් වෙනුවට තමන්ගේම මුදල් ඒකක (යුවාන්, රූබල්) මගින් තෙල් ගනුදෙනු කිරීමට උත්සාහ කිරීමය. ‘බ්‍රික්ස්’ සංවිධානය ද පෙට්‍රෝඩොලර් පද්ධිතයට අභියෝගයකි. ‘බ්‍රික්ස්’ යනු බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව ඇතුළු රටවල එකමුතුවය.
මෙම එකමුතුව ඩොලරය මත ඇති යැපීම අඩු කිරීමට පියවර ගනිමින් සිටී. ට්‍රම්ප් පෞද්ගලිකව ‘බ්‍රික්ස්’ සංවිධානයට අකමැත්ත පළ කරන්නේ ද එබැවිනි.
ඇමෙරිකාව ලෝකයේ ප්‍රබලතම ආර්ථිකය ලෙස පවත්වා ගැනීමට උදවු වන කොඳු නාරටිය පෙට්‍රෝඩොලර්ය.
කෙසේ නමුත්, සෞදි අරාබිය සහ ඇමෙරිකාව අතරේ ඇතිකරගත් ගිවිසුම කිසියම් ආර්බුදයකට ලක් වී ඇත. ඒ, සෞදි අරාබියේ වෙනස්වන ප්‍රතිපත්ති නිසාය. මෑතකදී සෞදිය ද චීනය සමඟ කරන ගනුදෙනු වලදී චීනයේ යුවාන් මුදල් ඒකකය භාවිතා කිරීමට කැමැත්ත පළ කිරීම ඊට හේතුව බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.