
‘කළු රත්තරන්’ යන නමින් ද හැඳින්වෙන ‘බොරතෙල්’ (Crude Oil) යනු විවිධ හයිඩ්‍රොකාබන රාශියක මිශ්‍රණයකි. අප එදිනෙදා භාවිත කරන පෙට්‍රල්, ඩීසල් හෝ භූමිතෙල් ආදිය ඒ ආකාරයෙන්ම බොරතෙල් තුළ නැත. ඒවා වෙන් කරගැනීම සඳහා සිදුකරන විද්‍යාත්මක ක්‍රියාවලිය ‘අංශික ස්වේදනය’ (Fractional Distillation) ලෙස හැඳින්වෙයි.
මෙම ක්‍රියාවලිය ආරම්භ වන්නේ ඉතා විශාල උදුනක් තුළ බොරතෙල් සෙල්සියස් අංශක 400ක පමණ අධික උෂ්ණත්වයකට රත් කිරීමෙනි. එවිට බොරතෙල් දියරය වාෂ්ප බවට පත්වන අතර, එම වාෂ්පය ස්වේදන කුලුන (Fractionating Column) නමින් හැඳින්වෙන උසැති සිලින්ඩරාකාර කුළුණක් තුළට ඇතුළු කරනු ලැබේ. ස්වේදන කුලුනේ පහළ කොටස ඉතා අධික උෂ්ණත්වයකින් යුක්ත වන අතර ඉහළට යත්ම උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු වේ.
බොරතෙල් වාෂ්පය මෙම කුළුණ දිගේ ඉහළට ගමන් කරන විට, එහි අඩංගු විවිධ සංරචක ඒවායේ තාපාංක (නටන උෂ්ණත්වය) අනුව නැවත දියර බවට පත්වී වෙන් වෙයි. ඉතා අඩු උෂ්ණත්වයකදී වාෂ්ප වන බැවින් කුළුණේ ඉහළම කොටසකින් පෙට්‍රල් වෙන් කර ගැනෙයි. භූමිතෙල් සහ ගුවන්යානා ඉන්ධන කුළුණේ මැද කොටසකදී දියර බවට පත්වී එකතු වෙයි.
භූමිතෙල්වලට වඩා වැඩි උෂ්ණත්වයකදී දියර වන බැවින් තවත් පහළ මට්ටමකදී ඩීසල් වෙන් කර ගැනීම සිදුවෙයි. කිසිසේත් වාෂ්ප නොවන කොටස් කුලුනේ පතුලේ ඉතිරි වේ. තාර සහ ලිහිසි තෙල් නිපදවන්නේ මේවා යොදා ගනිමිනි.
ලුසිත ජයමාන්න
Earth.Com ඇසුරිනි