මුහුදෙන් මතුවුණු ක්‍රැකන් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Apr 26, 2026

මුහුදෙන් මතුවුණු ක්‍රැකන්



අපි කතාවකින් මේ කතාව පටන් ගනිමු. ග්‍රීක මිත්‍යා අතරින්, වඩාත් ජනප්‍රිය වීර කාව්‍යයක් ලෙස පර්සියස්ගේ වික්‍රමය හැඳින්විය හැක. පර්සියස්, ක්‍රැකන් (Kraken) නමැති දැවැන්ත බිහිසුණු ටයිටන්වරයා පරාජය කිරීම මෙම වික්‍රමයයි. ක්‍රැකන් යනු දැවැන්ත මුහුදු රාක්ෂයෙකි. ඒ කතාව මෙසේය. 

ඇන්ඩ්‍රොමීඩා නමැති කුමරිය ක්‍රැකන්ට බිලි දීමට නියම වූයේ ඇගේ දෙමව්පියන්ගේ වරදක් නිසා දෙවියන් උරණ වීමෙනි. මුහුදු වෙරළේ බැඳ දමා සිටි කුමරිය බේරා ගැනීමට පර්සියස් ඉදිරිපත් වෙයි. පර්සියස් යනු සූස් මහ දෙවියන්ගේ පුතෙකි. අර්ධ දේව අර්ධ මනුෂ්‍ය වීරයෙකි. 

ක්‍රැකන් මුහුදු රකුසා පරාජය කිරීම පහසු කාර්යයක් නොවන බැවින්, පර්සියස් උපක්‍රමශීලීව ක්‍රියා කරයි. ඔහු මෙඩූසා ගේ හිස ඒ සඳහා යොදා ගනී. මෙඩූසා යනු ග්‍රීක මිත්‍යා කතාවල හමුවන තවත් නපුරු ටයිටන්වරියකි. සුන්දර කාන්තා මුහුණක් සහ සර්ප හිසක් ඇති කාන්තාවකි. මැය දෙස බලන ඕනෑ අයකු ගල් බවට පත් වෙයි. පර්සියස් මෙඩූසා දෙස නොබලා ඇය මරා ඇගේ හිස රැගෙන ගොස් ක්‍රැකන් ට දකින්න සලස්වයි. ක්‍රැකන් ක්ෂණිකව ගල් ගැසී විනාශ වෙයි. පර්සියස්, ඇන්ඩ්‍රොමිඩා කුමරිය බේරා ගනී. 

 ක්‍රිටෛයිසීය යුගය අවසානයේ, එනම්, අවුරුදු මිලියන 72ත් 100 ත් අතර කාලයේ, සාගරයේ ජීවත්වුණු දැවැන්ත බූවල්ලකු ගැන සාක්ෂි අනාවරණය කර ගැනීමට විද්‍යාඥයෝ පසුගිය දා සමත් වූහ. මේ බූවල්ලාගේ දිග මීටර් 19 කි. විද්‍යාඥයන් මේ සොයා ගැනීම ලොවට වාර්තා කළේ සාගර පතුලෙන් තමන්ට ක්‍රැකන් හමුවී ඇති බව කියමින්, පර්සියස්ගේ වික්‍රමය යළි සිහි ගන්වමිණි. 

මේ දැවැන්ත බූවල්ලා මෝසසෝර් වැසි සාගරයේ ජීවත් වූ බිහිසුණු ඩයිනසෝරයන් පවා ගොදුරු කර ගන්න ඇතැයි විද්‍යාඥයෝ අනුමාන කරති. මේ දැවැන්ත බූවල්ලා සුවිශේෂී වෙයි. ඊට හේතුව, උගේ සිරුරේ ආරක්ෂිත කවච වෙනුවට ශරීරය මෘදු ලෙස වර්ධනය වී තිබීමය. මේ සතාට තියුණු පෙනීමක් සහ බුද්ධිමත්භාවයක් තිබෙන්න ඇතැයි ද පොසිල සාක්ෂි අනුව විද්‍යාඥයෝ පවසති. 

විද්‍යාඥයන් මේ සත්වයා ගැන අනාවරණය කළේ වසර ගණනාවක් තිස්සේ ඔවුන් විසින් සොයා ගත් පුරාණ බූවල්ලන්ගේ විශාල පොසිල අස්ථි යළි පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදීය. බූවල්ලාගේ පොසිල කරණය වුණු හකු අස්ථි 15 ක් ද පරීක්ෂාවට ලක් කෙරුණු බව පැවැසෙයි. 
විද්‍යාඥයන් මෙම දැවැන්ත බූවල්ලා නනයිමොටෙයුතිස් හැගාර්ටි Nanaimoteuthis haggarti ලෙස නම් කර ඇත. මෙම දැවැන්තයාගේ හකු අස්ථි දැඩි ලෙස දිරාපත් වූ සලකුණු දක්නට ඇතැයි විද්‍යාඥයෝ පැහැදිලි කරති. එයින් අදහස් වන්නේ, හකු අස්ථි ඉතා ක්‍රියාශීලී මාංශ භක්ෂකයකුට අයත් බවත්ය. 

ඒ අනුව, නනයිමොටෙයුතිස් හැගාර්ටි සාගරයේ බිහිසුණු දඩයක්කාරයකු වන්න ඇතැයි අනුමාන කෙරේ. දිගු සහ ශක්තිමත් අඬුවලින් අල්ලා වෙලා ගනිමින්, ගිරවකුගේ හොටක් වැනි ශක්තිමත් මුඛයෙන් ගොදුරු ඉරා කැබලි කර ඒවා භක්ෂණය කරන්න ඇතැයි විද්‍යාඥයන්ගේ අදහසය.

වර්තමානයේ අප දකින බූවල්ලන් (සිංහලෙන් බූවල්ලා හැඳින්වෙන්නේ අටපාවා යනුවෙනි. ඒ, අඬු අටක් ඇති බැවිනි) ලෝකයේ බුද්ධිමත් සතකු ලෙස සැලකෙයි. සාගරයේ ජීවත් වන බුද්ධිමත් ක්ෂීරපායීන්ට වඩා බූවල්ලා බුද්ධිමත්ය. මෙවලම් (Tools) තම කාර්යයන් පහසු කර ගැනීමට යොදා ගන්නා සත්ව ලෝකයේ සත්වයකු ලෙස ද බූවල්ලා සැලකෙයි. විද්‍යාඥයන්ට අනුව, ක්ෂීරපායීන් පරිණාමය නොවුණා නම් ලෝකයේ බුද්ධිමත් ම ජීවියා වනු ඇත්තේ බූවල්ලාය.

බූවල්ලා අයත් වන්නේ මොලස්කා (Mollusca) නැමැති සත්ව වංශයටය. ඒ අනුව බූවල්ලා, බෙල්ලන් සහ සිප්පිකටු සහිත සතුන් අයත් වන කාණ්ඩයටම අයත් මෘදු ශරීරයක් සහිත සත්වයෙකි. මසුන් සහ බූවල්ලන් අතර ප්‍රධාන වෙනස්කම් කිහියකි. මසුන්ට කොඳු ඇට පෙළක් සහ අස්ථි පද්ධතියක් ඇත. 

බූවල්ලන්ට කොඳු ඇට පෙළක් හෝ ශරීරය තුළ අස්ථි නොමැත. (ඔවුන්ගේ හොටක් වැනි මුඛය පමණක් දෘඩ කොටසකින් සමන්විත වේ). මසුන් හුස්ම ගන්නේ කරමල් (gills) මගින් ජලයේ දියවී ඇති ඔක්සිජන් උරා ගනිමිනි. බූවල්ලන්ට ද කරමල් ඇතත්, ඔවුන්ගේ ශරීර ව්‍යුහය මත්ස්‍යයන්ගෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වේ. බූවල්ලා අපෘෂ්ඨවංශිකයෙකි. 

නනයිමොටෙයුතිස් හැගාර්ටි බූවල්ලා සම්බන්ධයෙන් සොයා ගැනීමට දායක වූයේ ජපානයේ හොක්කයිඩෝ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් කණ්ඩායමකි. ඔවුන් ඔවුන්ගේ පර්යේෂණ තොරතුරු සියල්ල නවතම සයන්ස් විද්‍යා සඟරාවෙහි පළ කර ඇත. 

“පැහැදිලිව කියන්න පුළුවන් මේ දැවැන්තයා සාගරයේ රජ කළ මෙසෝසෝරස් වැනි ඩයිනසෝරයන්ට අභියෝගයක් වුණා. මේ සත්වයාගේ දිග අඩි 62ක් (මීටර් 19ක්). අපට මෙහෙම සංසන්දනය කරන්න පුළුවන්. වැඩුණු මිනිසකුගේ සාමාන්‍ය උස අඩි 5 අඟල් 6ක් (මීටර් 1.7) ක්, අලියකුගේ උස අඩි 10 (මීටර් 3ක්) ක්. මෙම පුරාණ බූවල්ලා, දිගින් අඩි 36 ක් (මීටර් 11ක්) පමණ වන ලන්ඩන් ඩබල්ඩෙකර් බස් රථයකටත් වඩා විශාලයි.” යැයි පර්යේෂකයෝ පැහැදිලි කරති. 
වර්තමානයේ සාගරයේ ජීවත් වන දැවැන්තයන් වන්නේ කිරි තල්මසුන් (sperm whale) සහ නිල් තල්මසුන්ය. කිරි තල්මහ (sperm whale) නමින් හැඳින්වෙන තල්මසකුගේ දිග අඩි 66ක් (මීටර් 20ක්) වන අතර, නිල් තල්මසකුගේ දිග අඩි 90 (මීටර් 27ක්) කි. 

 බූවල්ලන් තම ජීවිතය ආරක්ෂා කර ගැනීමට සහ ආහාර ලබා ගැනීමට අපූරු හැකිය රාශියක් සහිත සත්ව විශේෂයකි. ඔවුන්ගේ එම සුවිශේෂී දක්ෂතා පහත පරිදි සරලව තේරුම් ගත හැකිය. බූවල්ලන්ගේ ප්‍රධානම ආරක්ෂක උපක්‍රමය වන්නේ පරිසරයට අනුව සැඟවී සිටීමය. 

බූවල්ලන්ගේ සමේ ඇති විශේෂ වර්ණක සෛල මගින් ඉතා ඉක්මනින් තම ශරීරයේ වර්ණය වෙනස් කර ගැනීමට ඔවුන්ට හැකියාව තිබේ. මෙය තැනේ හැටියට පාට වෙනස් කරන කටුස්සන් සැඟවී සිටීමට යොදා ගන්නා උපක්‍රමයට සමානය.

වර්ණය වෙනස් කිරීම පමණක් නොව, අවට පරිසරයේ ඇති ගල් හෝ වැලි වැනි දෑ වලට සමාන වන ලෙස තම සමෙහි මතුපිට රළු හෝ සිනිඳු කර ගැනීමේ හැකියාවද බූවල්ලන් සතුය. මේ නිසා සතුරන්ට ඔවුන්ව පහසුවෙන් හඳුනාගත නොහැකිය. 

යම් හෙයකින් සතුරකුගෙන් බේරීමට සිදුවුවහොත්, බූවල්ලන් 'ජෙට් ප්‍රචාලනය' (Jet Propulsion) නමැති ක්‍රමවේදය භාවිතා කරයි. එහිදී බූවල්ලා තම ශරීරයේ ඇති කුහරයකින් (siphon) ජලය අධික වේගයෙන් පිටතට තල්ලු කරයි. එමගින් ලැබෙන තෙරපුමෙන් ඔවුන්ට ජලය තුළ ඉතා වේගයෙන් පිහිනා යා හැකිය. 

මෙසේ පලා යන අතරතුර, සතුරාගේ ඇස් අන්ධ කර, සතුරා නොමඟ යැවීමට බූවල්ලන් තද පැහැති තීන්ත වර්ගයක් ද පිට කරයි. ආහාර ගැනීමේදී ඔවුන්ගේ අඬු අටේ ඇති බලගතු චූෂණ (suckers) භාවිතා කරයි. මෙමගින් ගොදුර ඉතා තදින් අල්ලාගෙන, ශරීරයේ මැද ඇති මුවහත් හොටය වෙත ඇදගෙන ගොස් ආහාරයට ගනී. 

ඒ වගේමයි, ඔබ දන්නවාද? බූවල්ලන්ට ස්වභාවික විපත් ගැන කලින් දැන ගැනීමේ හැකියාවක්ද පවතින බව මෑතකදී සොයාගෙන තිබේ. මුහුදු පතුලේ සිදුවන ගිනිකඳු පිපිරීම් හෝ භූමිකම්පා වලට පෙර ඇතිවන අතිධ්වනික තරංග (ultrasonic waves) හඳුනා ගැනීමේ හැකියාව බූවල්ලන් සතුය. මෙයින් ලැබෙන අනතුරු ඇඟවීම අනුව, හානියක් වීමට පෙර ආරක්ෂිත ස්ථාන කරා පලා යෑමට ඔවුන්ට අවස්ථාව ලැබේ. 

ලුසිත ජයමාන්න 
Daily Mail ඇසුරිනි

Classified_Ad