මුදු පතුලේ රන් බිජුවේ අබිරහස - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Apr 26, 2026

මුදු පතුලේ රන් බිජුවේ අබිරහස

2023 වසරේ දී ඇලස්කා බොක්කේ මීටර් 3,250ක් තරම් ගැඹුරු සාගර පතුලේ ගවේෂණ කටයුතුවල නිරත වූ විද්‍යාඥයන් පිරිසකට අමුතුම ආකාරයේ දසුනක් දැකගන්නට ලැබුණි. දුරස්ථ පාලක රොබෝ යානයක් (ROV) මගින් ලබාගත් දර්ශනවල තිබුණේ, පාෂාණයක තදින් ඇලී තිබූ, රන්වන් පැහැති ගෝලාකාර අමුතුම වස්තුවකි.

එය රත්තරන් බිත්තරය ලෙස නම් කෙරුණි. හිරු එළිය නොවැටෙන, අධික පීඩනයකින් යුත් එම ගැඹුරු සාගර කලාපයේ හමුවූ මෙම වස්තුව විද්‍යාඥයන් මවිතයට පත් කළේය. 

මුලින්ම මෙම වස්තුව (රත්තරන් බිත්තරය) ගැඹුරු සාගරයේ වෙසෙන සත්වයකුගේ බිත්තර කෝෂයක් විය හැකි බවට අනුමාන කෙරිණි. ඒත් වසර තුනක කාලයක් පුරා සිදුකළ පර්යේෂණවලින් පසු, විද්‍යාඥයන් එම අභිරහස සාර්ථකව විසඳා ඇත. 

මෙය සත්වයකුගේ බිත්තරයක් නොව, Relicanthus daphneae නම් සුවිශේෂී මුහුදු ඇනිමොනියා (Sea Anemone) ශරීරයෙන් ඉවත් වූ 'සම' හෝ පටක කොටසකි. මුහුදු ඇනිමොනියා සිංහලෙන් මුහුදු මල යනුවෙන් හැඳින්වෙයි. 

 මෙම සත්වයා මීටර් දෙකකට වඩා දිගු කූඩාරම් සහිත ගැඹුරු සාගරයේ වෙසෙන ජීවියෙකි. විද්‍යාඥයන් පවසන පරිදි, මෙම ඇනිමෝනාවන් තමන් ජීවත්වන ස්ථානය වෙනස් කරන විට හෝ ප්‍රජනන ක්‍රියාවලියේදී තමන්ගේ ශරීරයේ පිටතින් පිහිටි ආරක්ෂිත ආවරණය (cuticle) මෙලෙස ගලවා දමා යනු ලබයි. 

චිටින් (chitin) නම් ද්‍රව්‍යයෙන් සැදුම්ලත් මෙම ආවරණය, සත්වයා ඉවත්ව ගිය පසු සාගර පතුලේ ඉතිරි වේ. මෙම සොයාගැනීම විද්‍යාඥයන්ට අභියෝගයක් වූයේ, රසායනාගාර පරීක්ෂණවලදී එම පටක කොටසෙහි විවිධ ක්ෂුද්‍ර ජීවීන් විශාල වශයෙන් වාසය කර තිබූ බැවිනි. අවසානයේදී, අති නවීන ජාන විශ්ලේෂණ තාක්ෂණය භාවිතයෙන් මෙම අභිරහස හෙළි කරගැනීමට පර්යේෂකයන් සමත් විය.

මෙම රන්වන් ගෝලය විද්‍යාත්මකව තවමත් කුතුහලය දනවන කරුණක් වුවත්, එය ගැඹුරු සාගර පරිසර පද්ධතියට ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව හෙළි වී ඇත. එම පටක කොටස මියගිය පසු, සාගරයේ ක්ෂුද්‍ර ජීවීන් සඳහා ආහාර මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරමින්, සාගරයේ නයිට්‍රජන් චක්‍රයට දායක වන 'ක්ෂුද්‍ර ක්ෂේත්‍රයක්' (Microscale hotspot) ලෙස පවතී. 

 “අප දිගින් දිගටම ගවේෂණය කරන්නේ මේ වගේ සොබාදහමේ සැඟවුණු රහස් හෙළි කරගන්නයි. ගැඹුරු සාගරය පිළිබඳ අපේ අවබෝධය වැඩි කරගැනීම අපේ පෘථිවියේ පැවැත්මට සහ ආරක්ෂාවට අත්‍යවශ්‍යයි,” යනුවෙන් නෝආ NOAA සාගර ගවේෂණ අංශයේ අධ්‍යක්ෂ කැප්ටන් විලියම් මෝවිට් පැහැදිලි කර ඇත. 

ලුසිත ජයමාන්න 
sciencealert.com ඇසුරිනි

Classified_Ad