
‘එම්.වී. හොන්ඩියුස්’ නමැති සුඛෝපබෝගී සංචාරක නෞකාවේ හන්ටා වයිරස ව්‍යාප්තිය විදෙස් මාධ්‍ය වල ප්‍රමුඛ පුවතක් විය. මිටර් 107 ක් දිග ‘එම්.වී. හොන්ඩියුස්’ යනු නෙදර්ලන්ත සංචාරක නෞකාවකි. මගීන් 170 දෙනකුට මෙහි ඉඩ පහසුකම් ඇත. නැවේ කැබින් කාමර 80 කි. නැවට අයත් කාර්ය මණ්ඩල සාමාජිකයන් ගණන 57 කි. මඟ පෙන්වන සහායකයන් ගණන 13 කි. ඊට අමතරව, එක් වෛද්‍යවරයෙක් ද නැවේ සේවය කරයි.
ඉකුත් අප්‍රේල් 1 වැනිදා මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 147 දෙනකු සමග ආජන්ටිනාවේ සිට අප්‍රිකාව බලා ‘එම්.වී. හොන්ඩියුස්’ නෞකාව යාත්‍රා කරමින් තිබියදී, නෙදර්ලන්ත ජාතික වැඩිහිටි යුවළක් හදිසියේ දරුණු ලෙස රෝගී වූහ. තවත් මරණයක් නැවේ සිදුවිය. ඊට අමතරව, බරපතල ලෙස රෝගී වූ බ්‍රිතාන්‍ය ජාතිකයකු ගුවන් මගින් දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර රෝහලකට රැගෙන යෑම සිදුවිය.
තවත් බොහෝ පිරිසක් රෝග ලක්ෂණ පෙන්නුම් කළහ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා අවධානය ‘එම්.වී. හොන්ඩියුස්’ කෙරෙහි යොමු විය. ‘එම්.වී. හොන්ඩියුස්’ නෞකාව මුහුද මැද හුදෙකලා කෙරුණි. නෞකාවේ සිටි වැඩි දෙනා යුරෝපීය ජාතිකයන්ය. ඉන්දියානුවන් දෙදෙනකු ද සිටි බව පැවැසෙයි.
එය කැනේරි දූපත් බලා ගිය පසු, නෙදර්ලන්ත බලධාරීන් මැදිහත් වී කුඩා ගුවන් යානා භාවිතයට ගනිමින් ආසාදිත සියලු දෙනා නෙදර්ලන්තය ඇතුළු සෙසු යුරෝපා රටවලටත් කැනඩාවටත් යැවීම සිදුවිය.
‘එම්.වී. හොන්ඩියුස්’ නෞකාවේ පැතිරෙන්න වූයේ හන්ටා වයිරස ප්‍රභේදයකි.
හන්ටා යනු වයිරස පවුලකි. දකුණු කොරියාවේ හන්ටා නමැති ගංගාව ආශ්‍රිතව 1978 දී පළමු ආසාදිතයන් සොයා ගැනුණු නිසා ඊට හන්ටා යන නම යෙදී ඇත. වයිරස මුලින්ම හොයාගත්තේ ඒ ගඟ ආශ්‍රිතව හිටපු මීයන්ගෙනි.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව හන්ටා වයිරස වර්ග 20 ක් පමණ මේ වනවිට හොයාගෙන ඇත.
මේවා ප්‍රධාන කොටස් දෙකකි. ඒ, පැරැණි ලෝකයේ හන්ටා වයිරස සහ අලුත් ලෝකයේ හැන්ටා වයිරස ආදී වශයෙනි. පැරැණි ලෝකයේ හන්ටා වයිරස අතරට අයත් වෙන්නේ, ආසියාව සහ යුරෝපය වගේ රටවල්වලින් වාර්තා වන හන්ටා වයිරස් ප්‍රභේදයන්ය. නව ලෝකයේ හන්ටා වයිරස යනු ඇමෙරිකානු මහද්වීපයෙන් වාර්තා වන හන්ටා වයිරස ප්‍රභේදයන්ය.
හන්ටා වයිරසවල ප්‍රධානම වාහකයා මීයන්ය.
ඒත්, මේ වයිරසය බෝ වන්නේ, මීයකු සපා කෑමෙන් පමණක්ම නොවෙයි. වයිරසය ඇති මීයන්ගේ මළ මුත්‍ර හරහා මනුෂ්‍ය අපට මෙය බෝ වෙයි. පැරැණි නිවාසවල, ගබඩා කාමරවල දූවිලි සමග වියලුණු මී බෙටි සහ මුත්‍ර කුඩු දුවිල් ආදී වශයෙන් අප ශ්වසන පද්ධතියට ඇතුළු විය හැක. එවිට ද අප රෝගී වෙයි.
එයින් අදහස් වන්නේ හන්ටා වයිරසය වාතයෙන් ද ව්‍යාප්ත වෙනවා යන්නය.
මීයන්ගෙන් බෝ වන නිසා හන්ටා වයිරසය ගැන බිය විය යුතු නැත. එහෙත් ‘එම්.වී. හොන්ඩියුස්’ සිද්ධිය තරමක් බරපතල එකකි. නෞකාවේ ව්‍යාප්ත වූ බවට හඳුනා ගැණුනේ අන්දීස් හන්ටා වයිරස ප්‍රභේදයයි.
මෙහි ඇති විශේෂත්වය මෙය මීයන්ගෙන් මනුෂ්‍යයන්ට බෝ වුණු පසු, මනුෂ්‍යයන් අතරේ හෙම්බිරිස්සාවක් ආකාරයට පැතිරීමය. හන්ටා වයිරසයට ප්‍රතිකර්මයක් නොමැත. තද උණ, හිසරදය ආදිය රෝග ලක්ෂණ වෙයි. රෝගය උත්සන්න වෙද්දී ශ්වසන පද්ධතිය, වකුගඩු ආදිය අඩපණ කරයි. මරණ සිදුවන්නේ එවිටය. පිරිසුදුව සිටිනවා නම්, හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරනවා නම් හන්ටා වයිරසයෙන් පමණක් නොව, ඕනෑම වයිරසයකින් ආරක්ෂා විය හැක.
ලුසිත ජයමාන්න
ස්තුතිය - WHO