
සඳ වටා ගිහින් ආ, ඇමෙරිකාවේ නාසා ආයතනයේ ‘ආටිමිස් 2’ චන්ද්‍ර මෙහෙයුම සැබෑම වික්‍රමයක් බව අමුතුවෙන් කිවයුතු නොවෙයි. ‘ආටිමිස් 2’ මෙහෙයුමට සම්බන්ධ වී, ඔරායන් යානයෙන්, සඳ වටා ගොස් ආපසු පැමිණියේ රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කොක් සහ ජෙරමි හැන්සන්ය.
මෙම සිවුදෙනාගෙන් තිදෙනකු නාසා ගගනගාමීන් වන අතර එක් අයකු කැනේඩියානු ගගනගාමියෙකි.
නාසා ගගනගාමීන් තිදෙනා රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර් සහ ක්‍රිස්ටිනා කොක්ය. කැනේඩියානු අභ්‍යවකාශ ආයතනය නියෝජනය කරන ගගනගාමියා ජෙරමි හැන්සන්ය. ‘ආටිමිස්’ චන්ද්‍ර මෙහෙයුම් සඳහා නාසා ආයතනය සමග ලෝකයේ ප්‍රධාන පෙළේ අභ්‍යවකාශ ආයතන සම්බන්ධ වී සිටී. කැනේඩියානු අභ්‍යවකාශ ආයතනය එයින් එකකි. ජෙරමි හැන්සන් ‘ආටිමිස් 2’ මෙහෙයුමට සම්බන්ධ වූයේ එබැවිනි.

‘ආටිමිස් 2’ මෙහෙයුමේ දී සිදුවූයේ ගගනගාමීන් රැගත් චන්ද්‍ර යානය සඳ වටා ගොස් ආපසු පෘථිවියට පැමිණීමය. අභ්‍යවකාශයේ එදා මෙදා වැඩිම දුරක් ගොස් ආපසු ආ ගගනගාමීන් ලෙස වාර්තා අතරට එක් වී සිටින්නේ ද මෙම ගගනගාමීන් සිවුදෙනාය. කණ්ඩායමට නායකත්වය දුන්නේ රීඩ් වයිස්මන්ය.
ක්‍රිස්ටිනා කොක්, දීර්ඝ ගගන මෙහෙයුමකට එක්වුණු පළමු කාන්තාව මෙන්ම සඳ වටා ගොස් ආපසු ආ පළමු කාන්තාව ලෙස ද වාර්තා අතරට එක්වූවාය. වික්ටර් ග්ලෝවර් අභ්‍යවකාශ ගමනකට එක්වුණු පළමු කළු ජාතිකයා ලෙස වාර්තා අතරට එක් වූයේය. ඇමෙරිකා නොවන ගගනගාමියකු ලෙස කැනේඩියානු ගගනගාමී ජෙරමි හැන්සන් වැඩිම දුරක් අභ්‍යවකාශ වික්‍රමයක නියැලුණු ගගනගාමියා බවට පත් විය.
පසුගිය දා ‘ආටිමිස් 2’ කණ්ඩායම නිව්යෝක් නුවර සවාරියක නියැලුණාහ. නිව්යෝක් වීදි සංචාරය කරද්දී නිව්යෝක් වැසියන්ගෙන් කණ්ඩායමට උණුසුම් සුබ පැතුම් හිමිවිය. ෆොක්ස් බිස්නස් නාළිකාවේ විශේෂ වැඩසටහනකට ද පිරිස එක් වූහ. එම වැඩසටහන මෙහෙයවීම කළේ නිවේදක ස්ටුවට් වාර්නිය.

නිව්යෝක් ගමනට පෙර, අප්‍රේල් 30 වැනිදා ධවල මන්දිරයේ දී ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවූහ. ගගනගාමීන් සිවුදෙනා ධවල මන්දිරය බලා පැමිණියේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇරැයුමකට අනුවය. ධවල මන්දිරයට ආ ගගනගාමීන් සිවුදෙනාට උණුසුම් පිළිගැනීමක් හිමිවිය. ඕවල් කාර්යාලයේදී ට්‍රම්ප් ගගනගාමීන් සමග ඡායාරූපවලට ද පෙනී සිටියේය.
මෙම අවස්ථාවට නාසා ප්‍රධානී ජැරඩ් අයිසෙක්මෙන් ද සහභාගී විය.
‘ආටිමිස් 2’ සඳ ගමන අතරතුරේ ද ධවල මන්දිරයේ සිට ට්‍රම්ප්, ගගනගාමීන් සමග සම්බන්ධ වී ඔවුන්ගේ සුවදුක් විමසා බැලුවේය. ධවල මන්දිරයට පැමිණෙන්නැයි ඔවුන්ට ට්‍රම්ප් ආරාධනා කළේ එම අවස්ථාවේදීය.
ජනාධිපති ට්‍රම්ප් ගගනාමීන් සමග සතුටු සාමීචියේ යෙදෙමින්, ‘ආටිමිස් 3’ චන්ද්‍ර මෙහෙයුම ගැන ද කතා කළේය.

‘ආටිමිස් 3’ යටතේ නාසා ආයතනය ගගනගාමීන් සිවු දෙනකු සඳට ගොඩබැස්සවීමට සැලැසුම් කර ඇත. ඒ අතරේ ද කාන්තාවක සිටී. ඇය සඳට පය තබන පළමු කාන්තාව වනු ඇත. ‘ආටිමිස් 3’ කණ්ඩායම තවම නම් කර නැත. ‘ආටිමිස් 3’ මෙහෙයුම සිදුවනු ඇත්තේ 2028 වසරේදීය.
ජනාධිපති ට්‍රම්ප්ගේ ධුර කාලය අවසන් වෙන්නේ 2029 දීය.
‘ආටිමිස් 2’ ගගනගාමීන් සමග සුහඳව කතා කරමින් ට්‍රම්ප් විහිළුවට මෙන් ඔවුන්ගෙන් විමසා බැලුවේ ඇමෙරිකන් ජනාධිපතිවරයකුට අභ්‍යවකාශ ගමනකට එක්වීම කළ නොහැකිදැයි සම්බන්ධයෙනි. එවිට නාසා ප්‍රධානී අයිසෙක්මෙන් කියා සිටියේ ඒ ගැන සලකා බැලීමට කටයුතු කරන බවය.
ලුසිත ජයමාන්න
AFP ඇසුරිනි