කමේනිගේ අවමගුල - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jul 8, 2026

කමේනිගේ අවමගුල


මල් වෙඩි, ඩ්‍රෝන සංදර්ශන පවත්වමින් සහ හමුදා පෙළපාළි පවත්වමින්, ඇමෙරිකාව, ඉකුත් ජූලි 4 වැනිදා, 250 වැනි නිදහස සමරද්දී, , ඉරානයේ තෙහෙරාන් අගනුවර එකම හිස් ගොඩක් විය. ඉකුත් පෙබරවාරි 28 වැනිදා, ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක් වී ඉරානයට පහර දෙද්දී, ඊශ්‍රායල හමුදාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින්, මියගිය එරට උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනීගේ අවමංගල කටයුතු ආරම්භ විය. සතියක කාලයක් තිස්සේ පැවැත්වෙන මෙම ආගමික කටයුතු ආරම්භ වූයේ තෙරෙහාන් අගනුවරිනි. 

පෙබරවාරි 28 වැනිදා, සෙනසුරාදා, උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනී, සිටියේ තෙහෙරාන් අගනුවරට මදක් ඔබ්බෙන් පිහිටි ඔහුගේ නිවසේය. නිවසේ යට ශක්තිමත් බංකරයක් විය. කමේනී, ආරක්ෂක අංශ ප්‍රධානීන්, බුද්ධි අංශ ප්‍රධානීන් හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා උදෑසන ආහාරයට සූදානම් විය. 

බංකරයට ඉහළින් නිවසේ, කමේනීගේ බිරිඳ මන්සූර්, දියණිය, සහ ඇගේ සැමියාත් ඔවුන්ගේ සිගිති දියණියත් සිටියහ. ඊට අමතරව, කමේනීගේ පුතු මොජ්ටාබා සහ ඔහුගේ බිරිඳ සහ්රා හදාද් සිටියහ. කමේනී ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල හමුදාව එල්ල කළේ ‘බ්ලූ ස්පැරෝ’ නමැති අති නවීන මිසයිලයයි. මෙම මිසයිලය අති ප්‍රබලය. අති බිහිසුණුය. 

මෙවැනි මිසයිල ඊශ්‍රායල ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානාවකින් අහසේ ඉහළටම රැගෙන යෑම සිදුවෙයි. එදා එනම් පෙබරවාරි 28 වැනිදා, ඊශ්‍රායල හමුදා ප්‍රහාරක යානයකින් ඉහළට රැගෙන ගිය, ‘බ්ලූ ස්පැරෝ’ මිසයිලය මුදා හැරුණි. එය අදාළ ඉලක්කය සොයා පහළට පැමිණෙන්නේ අධික වේගයකිනි. 

 මිසයිලය වැදී කමේනිගේ නිවස පමණක් නොව, පහළින් වූ ආරක්ෂිත යැයි සිතූ බංකරය සුනුවිසුණු විය. කමේනී ප්‍රමුණ නිවසේ සිටි සියලු දෙනා ප්‍රහාරයට හසුවූහ. ප්‍රහාරයෙන් කමේනිගේ දෙවැනි පුතු මුජ්ටාබා බරපතල ලෙස තුවාල ලබා දිවි ගලවා ගත්තේය. කමේනිගෙන් පසු අද ඉරානයේ උත්තරීතර නායකා ලෙස එම ධුරයේ කටයුතු කරන්නේ මුජ්ටාබා ය. 

ඇමෙරිකා සහ ඉරාන බුද්ධි අංශවලට අනුව, මුජ්ටාබාගේ තත්ත්වය යහපත් නොවෙයි. ප්‍රහාරයෙන් තුවාල ලබා මුජ්ටාබා සිටින්නේ තීන්දු තීරණ ගැනීමට නොහැකි තත්ත්වයක බව පැවැසෙයි. කෙසේ නමුත්, මේ කිසිවක් ඉරාන රජය තහවුරු කර නැත. පියා අයතුල්ලා අලි කමේනිගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ද මුජ්ටාබා පැමිණ නැත. එසේ වුවත් අප්‍රකට ලෙස ජීවත් වන කමේනිගේ තවත් පුතුන් තිදෙනකු පසුගිය සති අන්තයේ තෙහෙරාන් අගනුවරදී කමේනිගේ දේහයට ගෞරව දැක්වූ බව වාර්තා විය. 

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවය පමණක් නොව, මේ වනවිට පැවැත්වෙන කමේනිගේ අවමංගල කටයුතු මුළු මහත් මැදපෙරදිග කලාපයේම මෙන්ම ගෝලීය දේශපාලනයේ දැඩි අවධානයට ලක්ව ඇත. දශක තුනකට වැඩි කාලයක් ඉරානයේ ආගමික, දේශපාලන සහ හමුදා බලයේ මුදුන්මුල වූ කමේනිගේ සමුගැනීමත් සමඟ සමස්ත ඉරානයම දැඩි ශෝකාකූල සහ නොසන්සුන් වාතාවරණයකට මුහුණ දී සිටී. ඉරානය යනු ලොව එකම ෂියා මුස්ලිම් බහුතරයක් වෙසෙන රාජ්‍යයයි. මැදපෙරදිග අරාබි රටවල් බහුතරයක සිටින්නේ සුන්නි මුස්ලිම්වරුන්ය.

සුන්නි සහ ෂියා බෙදීම ඇති වූයේ ක්‍රි.ව. 632 දී මුහම්මද් නබිතුමාගේ අභාවයෙන් පසු ඉස්ලාමීය සමාජයේ නායකත්වය (කලීෆාවරයා) හිමිවිය යුත්තේ කාටද? යන ගැටලුව මුල් කරගනිමිනි. සුන්නි මුස්ලිම්වරුන්ගේ විශ්වාසය නබිතුමාතුමාගෙන් පසු නායකයකු නම් කර නොගිය බැවින්, සමාජයේ කැමැත්ත පරිදි සුදුසුම පුද්ගලයා නායකයා ලෙස පත් කරගත යුතු බවය. ඒ අනුව, ඔවුන් නබිතුමාගේ සමීපතම මිතුරකු වූ අබු බකර් ප්‍රථම කලීෆාවරයා ලෙස පිළිගනී. 

ලෝක මුස්ලිම් ජනගහනයෙන් සියයට 85-90 ක් පමණ සුන්නි බැතිමතුන්ය. ෂියා මුස්ලිම්වරුන් විශ්වාස කරන්නේ නායකත්වය නබිතුමාගේ පවුලේ ලේ උරුමයෙන්ම පැමිණිය යුතු බවය. ඒ අනුව නබිතුමාගේ බෑණනුවන් සහ ඥාති සහෝදරයා වූ අලි ප්‍රථම නායකයා (ඉමාම්වරයා) විය යුතු බව ඔවුන්ගේ මතයයි. අරාබි රටවල් පිරිවරාගෙන සිටියත් ඉරානය අරාබි රටක් ලෙස සැලකෙන්නේ නැත. ඉරානය අරාබි ලීගයට අයත් වෙන්නේ ද නැත. 

ඉරානයේ වෙසෙන බහුතරයක් ජනතාව (සියයට 60 කට වඩා වැඩි පිරිසක්) පර්සියානු ජාතිකයන් මිස අරාබි ජාතිකයන් නෙවෙයි. ඔවුන්ට ඇත්තේ අරාබිවරුන්ට වඩා වෙනස් වූ, වසර දහස් ගණනක් පැරණි පර්සියානු සංස්කෘතික අනන්‍යතාවයක් සහ ඉතිහාසයකි. අරාබි රටවල මිනිසුන් කතා කරන්නේ අරාබි භාෂාව වුවත්, ඉරානයේ රාජ්‍ය භාෂාව වන්නේ ‘ෆාසි’ හෙවත් පර්සියානු භාෂාවය. 

ෆාසි භාෂාව ලිවීමට අරාබි අක්ෂර මාලාවම භාවිතා කරන නිසා බැලූ බැල්මට එක වගේ පෙනුනත්, භාෂා දෙක ව්‍යාකරණ සහ වචන අතින් සම්පූර්ණයෙන්ම වෙනස්ය. ඉරාන ඉස්ලාමීය ජනරජයේ සම්ප්‍රදායට සහ ෂියා මුස්ලිම් චාරිත්‍රවලට අනුකූලව උත්තරීතර නායකයාගේ අවමංගල්‍ය කටයුතු රාජ්‍ය මට්ටමින් සහ අති උත්කර්ෂවත් අයුරින් සංවිධානය කර තිබෙන අතර, ඉරානය සති කීපයක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කර ඇත. 

අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍යයේ පළමු සහ ප්‍රධානතම අදියර ආරම්භ වූයේ ඉකුත් සති අන්තයේ තෙහෙරානයෙනි. කමේනිගේ දේහය තෙහෙරාන් අගනුවර මසූද් පල්ලියේ තැන්පත් කෙරුණු අතර,මිලියන ගණනින් ඉරාන වැසියන්ට තමන්ගේ ආදරණීය නායකයාට අවසන් ගෞරව දැක්වීමට ඉඩ සැලසුණි. ඉකුත් සති අන්තයේ තෙහෙරාන් අගනුවර එකම හිස් ගොඩක් වූයේ ඒ නිසාය. 

කමේනිගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට, විදේශීය රාජ්‍ය නායකයන්, අග්‍රාමාත්‍යවරුන්, විදේශ අමාත්‍යවරුන් මෙන්ම විවිධ දේශපාලන හා ආගමික සංවිධානවල ඉහළ පෙළේ නියෝජිතයෝ රැසක් සහභාගි වූහ. ඉරානය සමඟ සමීප රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වන රටවල් මෙන්ම මැදපෙරදිග කලාපීය නායකයන් ඒ අතර කැපී පෙණුනි. 

රුසියාව සහ චීනය නියෝජනය කරමින් එරට ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන්, විශේෂ නියෝජිතයන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීහු පිරිසක් තෙහෙරාන් නුවර පැමිණියහ. අසල්වැසි ඉරාකයේ ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක්, සිරියානු ජනාධිපති මෙන්ම කටාර්, ඕමානය සහ කුවේටය වැනි ගල්ෆ් කලාපීය රටවල රාජ්‍ය නියෝජිතයෝ ද අවසන් ගෞරව දැක්වීමට පැමිණියහ. 

පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහාබාස් ෂරීෆ්, හමුදාපති ඇතුළු නියෝජිත පිරිසක් ද, ඉන්දීය නියෝජිත පිරිසක් ද කමේනිගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට තෙහෙරානයේ මසූද් පල්ලියට පැමිණියහ. ඉරානයේ සහාය ලබන ලෙබනනයේ හෙස්බොල්ලා සංවිධානයේ ඉහළ පෙළේ දේශපාලන නායකයන්, යේමනයේ හූති සටන්කාමී නියකයන් සහ පලස්තීන හමාස් සංවිධානයේ නියෝජිතයෝ ද අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියහ. 

අප ශ්‍රී ලංකාව සහ ඉරානය අතර පවතින්නේ දිගුකාලීන සහ ඉතා සුහදශීලී රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයකි. ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් පාර්ලිමේන්තු නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලේ සහ පාර්ල්මේන්තු මන්ත්‍රී රයිෆ් හකීම් තෙහෙරාන් අගනුවරට ගියහ. 

මේ අතර, ඉරාන උත්තරීතර නායක කමේනීගේ අවමගුලට, ඉරානයේ සියලුම ජ්‍යෙෂ්ඨ නායකයන්, බුද්ධි ප්‍රධානීන්, ආරක්ෂක ප්‍රධානීන් සහ දේශපාලනඥයන් සහභාගී වන නිසා, එක මිසයිල ප්‍රහාරයකින් ඔවුන් සියලු දෙනා විනාශ කර දැමීමට තමන්ට හැකියාව ඇතැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසුවේ, ඉරානය කුපිත කරමිණි. 

‘මෙතෙක් කල් අපේ (ඇමෙරිකාවේ) ප්‍රහාරවලින් බේරී සැගවි සිටි ඉරාන රජයේ නායකයන් ආරක්ෂක අංශ ප්‍රධානීන් බොහෝ දෙනකු සැගවී සිටි තැන්වලින් එළියට ඇවිල්ලා. ඕනෑ නම් එක මිසයිල ප්‍රහාරයකින් සියලු දෙනා විනාශ කිරීමට පුළුවන්. ඒත් මා එසේ කරන්නේ නැහැ’ යැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් පවසා තිබේ. 

කිසිදු බාධාවක් නොමැතිව ඉරාන වැසියන්ට ඔවුන්ගේ නායකයාට අවසන් ගෞරව දැක්වීමට තමන් ඉඩ ලබා දෙන බව ද ඇමෙරිකා ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. ඇමෙරිකාවත් ඉරානයත් මේ වනවිට අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇති අතර, අදාළ කොන්දේසි අනුව කටයුතු කිරීමට දෙපාර්ශ්වයට දින 60 ක කාලයක් ලැබී තිබේ. 

අවබෝධතා ගිවිසුමට අදාළව, ගැටලු නිරාකරණය කරගනිමින් එකඟතාවකට පැමිණීමට ඉරානය දැඩි උනන්දුවකින් පසුවන බව ද ට්‍රම්ප් පවසා තිබේ. කමේනිගේ අවමංගල කටයුතු ආරම්භ වූයේ මෙම ගිවිසුමත් සමග ඇමෙරිකාව සහ ඉරානය අතරේ ගැටුම් සමතයකට පත්වුණු බැවිනි. 

ඉරානයේ ජ්‍යෙෂ්ඨතම අයතුල්ලාවරයකු විසින් ප්‍රධාන අවමංගල්‍ය යාච්ඤාව මෙහෙයවනු ලැබීමෙන් පසු, කමේනීගේ දේහය, විශේෂ රිය පෙරහරකින් ෂියා ඉස්ලාම් දහමේ ප්‍රධානතම ශාස්ත්‍රීය සහ ආගමික කේන්ද්‍රස්ථානයක් වන කොම් පූජනීය නගරය වෙත රැගෙව යෑම සිදුවිය. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ විශේෂ ආරක්ෂාවක් එම රිය පෙරහරට ලැබුණි. ඉරානයට ඉහළින් ගුවන් කලාපය ද වසා දැමුණි. කොම් නගරය, කමේනිට සුවිශේෂී වෙයි. 

කමේනි සිය ආගමික අධ්‍යාපනය ලැබූ සහ ජීවිතයේ සැලකිය යුතු කාලයක් ගත කළේ මෙම කොම් නගරයේය. මෙහිදී විශේෂ ආගමික වත්පිළිවෙත් සමූහයක් සිදු කිරීමට නියමිතව තිබුණු බව විදෙස් මාධ්‍ය පැවැසීය. ඉරාන රජයේ සහ ආගමික කවුන්සිලයේ විශේෂ තීරණයකට අනුව, කමේනිගේ දේහය ඉරානයේ චාරිත්‍රවලින් පසුව අසල්වැසි ඉරාකය වෙත රැගෙන යයි.

මෙය දේශපාලනික සහ ආගමික වශයෙන් අතිශය වැදගත් පියවරකි. ෂියා මුස්ලිම් බැතිමතුන්ගේ අතිපූජනීය ස්ථාන කිහිපයක්ම පිහිටා තිබෙන්නේ ඉරාකයේය. පළමු ෂියා ඉමාම්වරයා වන ඉමාම් අලිගේ සොහොන් ගැබ පිහිටි නජාෆ් නුවර සහ ඉමාම් හුසේන් ප්‍රාණ පරිත්‍යාගී වූ පූජනීය භූමිය වන කර්බාලා නුවර ඒ අතර ප්‍රධාන වේ.

කමේනිගේ දේහය මෙම නගරවලට රැගෙන ගොස් එහි ඇති පූජනීය සිද්ධස්ථාන වටා ප්‍රදක්ෂිණා කරමින් විශේෂ ආශිර්වාද ලබා දීමට නියමිත අතර, ඉරාකයේ වෙසෙන මිලියන සංඛ්‍යාත ෂියා වැසියන්ට ද කමේනි වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවනු ඇත. කමේනිගේ දේහය ඉරාකයට රැගෙන යෑමට හැකිවීමෙන්ම පෙනී යන්නේ වත්මන් යුගයේ ඉරානය සහ ඉරාකය අතර පවතින දැඩි සහයෝගීතාව සහ මිත්‍රත්වයයි. 

වර්තමානයේ මෙම දෙරට අතර සබඳතාව උපායමාර්ගික, ආගමික සහ දේශපාලනික වශයෙන් ඉතා ශක්තිමත් මට්ටමක පවතී. දෙරටේම බහුතර ජනගහනය ෂියා මුස්ලිම්වරුන් වීම මෙම මිත්‍රත්වයේ ප්‍රධානතම පදනමය. සෑම වසරකම මිලියන ගණනක ඉරාන වැසියන් ඉරාකයේ කර්බාලා පැවැත්වෙන අර්බයීන් පාගමන සඳහා සහභාගි වන අතර, ඉරාක රජය සහ ජනතාව ඔවුන්ව ඉතා ලෙන්ගතුව පිළිගැනීම සිදුවෙයි.

දේශපාලනික වශයෙන් ගත් කළ 2003 දී ඇමරිකානු ආක්‍රමණයෙන් පසු ඉරාකයේ බලයට පත් වූයේ ෂියා බහුතරයක් සහිත රජයන්ය. එතැන් පටන් ඉරානය ඉරාකයේ දේශපාලනයට සෘජු බලපෑමක් එල්ල කළේය. විශේෂයෙන්ම ඉරාකයේ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය හිස එසවූ අවස්ථාවේදී, ඉරානය තම ‘විප්ලවීය ආරක්ෂක බලකාය’ සහ ජෙනරාල් කසීම් සුලෙයිමාන්ගේ නායකත්වය හරහා ඉරාක හමුදාවලට දැඩි මිලිටරි සහයෝගයක් ලබා දුන්නේය. (කසීම් සුලෙයිමාන් ඝාතනය කළේ ඇමෙරිකාවය. ඊට අණ දුන්නේ ට්‍රම්ප්ය. 

ඒ, 2021 වසරේ ට්‍රම්ප් සිය පළමු දුරයේ අවසන් දින කීපයේදිය.) අද වනවිට ඉරාකය, තම රටට අවශ්‍ය විදුලිය සහ ස්වභාවික ගෑස් විශාල වශයෙන් ආනයනය කරන්නේ ද ඉරානයෙනි. අද මිතුරන් වුවත්, දශක කිහිපයකට පෙර, ඉරානය සහ ඉරාකය යනු මැදපෙරදිග දරුණුතම සතුරන්ය. 

මෙම අතීත විරසකය ලෙයින් සහ කඳුළින් පිරුණු එකකි. 1979 දී අයතුල්ලා කමේනිගේ නායකත්වයෙන් ඉරානයේ ‘ඉස්ලාමීය විප්ලවය’ සිදු විය. ඉරාකයේ පාලනය සදාහු හුසේන් සතු විය. සදාම් හුසේන් සුන්නි මුස්ලිම්වරයෙකි. ඉරාන ඉස්ලාමීය විප්ලවය, තම රටේ සිටින ෂියා බහුතරය වෙත ද පැතිරී තම බලය අහිමි වේ යැයි සදාම් හුසේන් දැඩි ලෙස බිය විය. 

මෙම ‘බිය’ සහ දේශසීමා ගැටුමක් බවට පත් වී, 1980 සැප්තැම්බර් මාසයේදී සදාම් හුසේන්ගේ ඉරාක හමුදාව ඉරානය ආක්‍රමණය කළේය. මෙය 20 වැනි සියවසේ පැවැති දීර්ඝතම මෙන්ම දරුණුතම ලේ වැගිරීම ලෙස සැලකෙයි. වසර 8ක් පුරා පැවැති ඉරාන-ඉරාක යුද්ධයේදී, සදාම් හුසේන්ගේ හමුදාව, ඉරාන සෙබළුන්ට සහ සිවිල් වැසියන්ට එරෙහිව රසායනික අවි භාවිතා කළේය. අයතුල්ලා අලි කමේනි ද එදා යුද පෙරමුණේ සක්‍රීයව කටයුතු කළ නායකයෙකි. 

මෙම යුද්ධයෙන් දෙපාර්ශවයේම මිලියනයකට අධික පිරිසක් මියගිය අතර, දෙරටේම ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටුණි. කිසිදු පාර්ශවයකට පැහැදිලි ජයග්‍රහණයක් නොමැතිව 1988 දී යුද්ධය අවසන් විය. ඉරානය සහ ඉරාකය අතර පැවැති දරුණු සතුරුකම, මිත්‍රත්වයක් බවට පරිවර්තවය වූයේ ප්‍රධාන කාරණා දෙකක් නිසාය. පළමුවැන්න , 2003 දී ඇමෙරිකාව, සදාම් හුසේන් බලයෙන් පහ කිරීමය. මෙහිදී සදාම්ගේ පාලනය නිම වී, ඉරානයට හිතවත් ෂියා නායකයෝ ඉරාකයේ බලයට පත් වූහ. 

දෙවැන්න, 2014 දී අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් ඉරාකය ආක්‍රමණය කළ අවස්ථාවේ, ඉරානය සෘජුවම මැදිහත් වී ඉරාකය බේරාගැනීමට මැදිහත් වීමය. සදාම් හුසේන්ගේ පාලනය බිඳවැටීමත් සමඟ, අතීතයේ ඉරානයේ රැකවරණය ලබා සිටි ඉරාක ෂියා දේශපාලනඥයෝ පිරිසක් ඉරාකයේ පාලනය ඔවුන්ගේ අතට ගත්හ. ඉන්පසු, පැරණි විරසක අමතක කර, පොදු ආගමික සහ සංස්කෘතික උරුමයන් පෙරදැරි කරගනිමින් දෙරට අතර නව මිත්‍රත්වයේ පාලම ගොඩනැඟුණි. 

අද ඉරානය සහ ඉරාකය අතරේ පවතින්නේ ශක්තිමත් මිත්‍රත්වයකි. ඉරාන උත්තරීතර නායක කමේනිගේ අවමංගල්‍යය, හුදෙක් එක් ආගමික නායකයකුගේ සමුගැනීමක් පමණක් නොවෙයි. ඔහුගේ දේහය ඉරානයේ සිට ඉරාකයේ පූජනීය නගර වෙත රැගෙන යෑම හරහා ලෝකයට පෙන්වා දෙන්නේ අතීතයේ ලෙයින් තෙත් වූ සතුරන් වූ ඉරානය සහ ඉරාකය, වර්තමානයේ කෙතරම් දුරට එකිනෙකාට බද්ධ වී ඇතිද යන්නය. 

බටහිර බලපෑම් සහ කලාපීය අර්බුද හමුවේ මෙම දෙරටේ මිත්‍රත්වය ඉදිරියටත් මැදපෙරදිග දේශපාලනයේ තීරණාත්මක සාධකයක් වනු නොඅනුමානය. ඉරානයෙන් ඉරාකයට රැගෙන යන දේහය, යළි ඉරානයේ මෂාද් නගරය බලා රැගෙන ඒම සිදුවෙයි. ඒ, අවමංගල කටයුතු අවසානයේදීය. මෂාද් යනු අයතුල්ලා අලි කමේනිගේ උපන් නගරයයි. 

ලුසිත ජයමාන්න 
අල් ජසීරා ඇසුරිනි

Classified_Ad