අත් මනාපය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jul 16, 2026

අත් මනාපය

අප ජීවත් වන සමාජයේ, අපට හමුවන වැඩිදෙනා දකුණත්කරුවන්ය. ප්‍රතිශතයක් ලෙස ගත්විට එය ලෝක ජනගහනයෙන් සියයට 90 ක් පමණය. මේ බහුතරය, එදිනෙදා සියලු බරපතළ මෙන්ම සියුම් වැඩකටයුතු සඳහා දකුණු අත ප්‍රධාන වශයෙන් භාවිත කරයි. ඉතිරි සියයට 10 වමත්කරුවන්ය. වම් අත ප්‍රධාන වශයෙන් භාවිත කරන්නේ ඉතා සුළු පිරිසකි. මෙය මෙසේ වූයේ කෙසේද? 

අප අපේ ප්‍රධාන අත තෝරා ගැනීම සිදු කරන්නේ ළදරු වියේදීය. එය ඉඹේටම වෙන දෙයකි. කවුරුත් උගන්වන දෙයක් නොවෙයි. මෙය සැබැවින්ම ප්‍රහේලිකාවකි. දීර්ඝ කාලයක තිස්සේ මානව විද්‍යාඥයන්ට, මෙන්ම වෛද්‍යවරුන්ට ද විශාල ප්‍රහේලිකාවක් වූ මෙම ‘අත් මනාපය’ (Handedness) පිළිබඳව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් විසින් සිදු කරනු ලද නවතම පර්යේෂණයකින් අතිශය අපූරු රහසක් අනාවරණය කරගෙන තිබේ. විද්‍යාඥයන්ට අනුව, දකුණත්කරුවකු වීමේ හෝ වමත්කරුවකු වීමේ මෙම සුවිශේෂී තත්ත්වය, හදිසියේ සිදුවූවක් නම් නොවෙයි. 

මෙය මීට වසර ලක්ෂ ගණනකට පෙර විසූ අපගේ ආදි මුතුන්මිත්තන්ගෙන් ජානමය වශයෙන් වර්තමාන මානවයා වෙත දායාද වූ පරිණාමීය ලක්ෂණයකි. විද්‍යාඥයන් පෙන්වා දෙන පරිදි මානවයා දකුණු අත භාවිතයට වැඩි වශයෙන් හුරු වීම කෙරෙහි ප්‍රධාන සාධක දෙකක් බලපා ඇත. 

ඉන් පළමු වැන්න නම්, ඈත අතීතයේ ගස් මත ජීවත් වූ අප මුතුන්මිත්තන් කාලයත් සමඟ ගස්වලින් බිමට බැස, කකුල් දෙකෙන් කෙළින් සිටගෙන ඇවිදීමට හුරු වීමය. මෙලෙස දෙපයින් ඇවිදීම ආරම්භ කිරීමත් සමඟ ඔවුන්ගේ දෑත් සම්පූර්ණයෙන්ම නිදහස් විය. එලෙස නිදහස් වූ දෑත්, විවිධ ආයුධ පරිහරණය සහ සියුම් කාර්යයන් සඳහා යොදා ගැනීමට යොදා ගැනුණි. 

දෙවැනි සහ වඩාත්ම වැදගත් හේතුව මානව පරිණාමයේදී සිදුවූ මොළයේ ශීඝ්‍ර වර්ධනය සහ එහි ව්‍යුහමය වෙනස්කම්ය. මානව මොළය වම් අර්ධගෝලය සහ දකුණු අර්ධගෝලය ලෙස කොටස් දෙකකට බෙදී පවතී. මිනිස් සිරුරේ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය අනුව, සිරුරේ දකුණු පැත්ත පාලනය කරනු ලබන්නේ වම් මොළය මඟිනි. 

මානවයාගේ බුද්ධිමය වර්ධනයත් සමඟ භාෂා හැසිරවීම, තර්කනය සහ මෙවලම් භාවිතය වැනි සංකීර්ණ ක්‍රියාවලීන්ට වගකියන ‘වම් මොළය’ වඩාත් සක්‍රීය හා ප්‍රබල වීමට පටන් ගැණුනි. මෙහි සෘජු ප්‍රතිඵලයක් ලෙස මිනිසාට නොදැනීම සිරුරේ දකුණු පසට සහ දකුණු අතට වැඩි බරක් මෙන්ම ප්‍රමුඛතාවක් හිමි විය. 

මෙම සංසිද්ධිය තවදුරටත් තහවුරු කරගැනීම සඳහා විද්‍යාඥයන් වඳුරන්, චිම්පන්සීන් සහ ගෝරිල්ලන් ඇතුළු ක්ෂීරපායී සත්ව විශේෂ 41කගේ චර්යා නිරීක්ෂණය කළේය. එහිදී හෙළි වූයේ, එම සතුන්ට මිනිසාට මෙන් කිසියම් නිශ්චිත අතක් කෙරෙහි විශේෂිත උනන්දුවක් නොමැති බවය. 

උන් ආහාර ගැනීමට හෝ වෙනත් කාර්යයන් සඳහා දකුණු අත මෙන්ම වම් අත ද එක හා සමානව, සමමිතිකව භාවිත කරති. එසේ වුවත් මහ වානරයන් ලෙස සැලකෙන චිම්පන්සීන්, ගෝරිල්ලන් අතරට අයත් ඌරන්ඔටන් විශේෂත්වයක් පෙන්නුම් කරන බව විද්‍යාඥයන්ට අවබෝධ විය. වානර විශේෂ අතරින් ඌරන්ඔටන් යම් දුරකට වම් අත භාවිතයට වැඩි බරක් දක්වන බව ද පර්යේෂකයෝ පවසති. 

 මිනිසාට වඩාත්ම සමීප ලොව වෙසෙන බුද්ධිමත්ම වානර විශේෂය වන චිම්පන්සීන් සහ ලොව විශාලතම මෙන්ම ශක්තිමත්ම වානර විශේෂය වන ගෝරිල්ලන් ප්‍රධාන වශයෙන්ම ජීවත් වන්නේ මධ්‍යම සහ බටහිර අප්‍රිකාවේ නිවර්තන වැසි වනාන්තර ආශ්‍රිතවය. 

ආසියා මහද්වීපයෙන් හමුවන එකම මහා වානර විශේෂය වන, රතු-දුඹුරු ලොම් සහිත ඌරන්ඔටන් ජීවත් වන්නේ ගිනිකොනදිග ආසියාවේ සුමාත්‍රා සහ බෝර්නියෝ දූපත්වල ඝන වනාන්තරවල වන අතර, ඔවුන් අනෙක් වානරයන් මෙන් නොව තම ජීවිතයෙන් වැඩි කාලයක් උස් ගස් මුදුන්වල තනි තනිව ගත කිරීමට ප්‍රිය කරති.

මිනිස් පරිණාමීය ඉතිහාසය දෙස බලන විට, මීට වසර මිලියන කිහිපයකට පෙර විසූ ඔස්ට්‍රලෝපිතිකස් නමැති ආදි මානව මුතුන්මිත්තන්ට දකුණු අත පිළිබඳව තිබුණේ ඉතා සුළු උනන්දුවක් බව විද්‍යාඥයන් විසින් තහවුරු කරනු ලැබ ඇත. 

ඒත්, මීට වසර ලක්ෂ 18 කට පමණ පෙර විසූ, සෘජුව නැගී සිටි හෝමෝ ඉරෙක්ටස් සහ වර්තමාන මිනිසාට වඩාත්ම සමානකම් දක්වන නියැන්ඩර්තාල් මානවයන් දක්වා පරිණාමය වන විට, මෙම දකුණත් පුරුද්ද බෙහෙවින් තහවුරු වී තිබූ බව ඔවුන් පරිහරණය කළ ශිලා මෙවලම් විශ්ලේෂණය කිරීමෙන් පැහැදිලි වේ. 

 මීට කදිම ප්‍රතිවිරුද්ධ නිදසුන, ඉන්දුනීසියාවේ ෆ්ලොරස් දූපතෙන් හමු වූ ‘හෝමෝ ෆ්ලොරෙසියෙන්සිස්’ හෙවත් ‘හොබිට්’ නමැති කුරු මානව විශේෂයයි. පුදුමසහගත කරුණ නම්, මෙම ‘හොබිට්’ මානවයන්ට දකුණු අත පිළිබඳව කිසිදු විශේෂත්වයක් නොතිබීමය. 

විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ඔවුන්ගේ මොළයේ ප්‍රමාණය ඉතා කුඩා වීමත්, ඔවුන් ගස් නැගීමේ පුරුද්ද සම්පූර්ණයෙන්ම අතහැර නොතිබීමත් මීට හේතුව වූ බවය. මේ අනුව පැහැදිලි වන්නේ මොළය විශාල වීම සහ ගස්වලින් බිමට බැස කෙළින් ඇවිදීම යන සාධක දකුණු අත ප්‍රමුඛ වීමට සෘජුවම බලපා ඇති බවය. දකුණත ප්‍රමුඛ වී ඇත්නම් තවමත් ලෝකයේ වමත්කාරයන් සියයට 10 ක ප්‍රමාණයක් ඉතිරිව ඇත්තේ ඇයිදැයි යන ගැටලුවට පිළිතුර අපූරුය. එය සොබාදහමේ අපූරු නිර්මාණයකි. කෙනකු වමත්කරුවකු වෙනවාද නැද්ද යන්න මූලිකවම තීරණය කරනු ලබන්නේ ජාන මඟිනි. 

මවගේ කුස තුළ වැඩෙන කලලයට සති 8ක් වැනි ඉතා කෙටි කාලයක් ගතවන විටම, එම දරුවා අනාගතයේ දකුණත්කරුවකු ද වමත්කරුවකු ද යන්න ස්නායු පද්ධතිය මඟින් ස්ථිරවම තීරණය කර අවසන්ය. විද්‍යාඥයන්ට අනුව, මානව ඉතිහාසය සහ යුද ඉතිහාසය ගැන විපරම් කරද්දී හරි අපූරු කරුණු කාරණා ඉස්මතු වෙයි. පුරාණයේ, මුහුණට මුහුණ ලා සිදු කළ සටන්වලදී වමත හුරු සටන්කරුවන්ට සුවිශේෂී වාසියක් තිබූ බව පැහැදිලිය. 

සතුරන් බහුතරය දකුණත හුරු අය වෙද්දී, වමත්කරුවකුගෙන් එල්ල වන අසිපත් ප්‍රහාරයක් මාරක වෙයි. එය අනපේක්ෂිත ලෙස එල්ල වන ප්‍රහාරයක් ලෙස සැලකිය හැකිය. මෙවැනි ප්‍රහාර වළක්වා ගැනීමට දකුණත් සටන්කරුවන් අපොහොසත් වූහ. මේ හේතුවෙන් වමත් සටන්කරුවන් සටන් බිම ජයගෙන, ඔවුන්ගේ ජීවිතය ආරක්ෂා කරගැනීමේ සම්භාවිතාව වැඩි වූ අතර, එමඟින් ඔවුන්ගේ ජාන මීළඟ පරම්පරාවලට දායාද විය. අතීත සටන් බිමේ වාසිය, වර්තමානයේ ක්‍රීඩා පිටිය තුළ ද එලෙසම දැකගත හැකිය.

ක්‍රිකට්, ටෙනිස්, බේස්බෝල් සහ බොක්සිං වැනි ක්‍රීඩාවලදී වමත් ක්‍රීඩකයන්ට ඉහළ ඉල්ලුමක් පවතින්නේ ඔවුන්ගේ පන්දු යැවීමේ, පහරදීමේ හෝ ඉරියව් තේරුම් ගැනීමට ප්‍රතිවාදීන්ට ඇති අපහසුව නිසාය. බ්‍රයන් ලාරා, කුමාර් සංගක්කාර වැනි සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් ඊට කදිම උදාහරණ ලෙස පෙන්වා දිය හැකිය. අවසන් වශයෙන්, මේ ලිපිය කියවන ඔබ, දකුණත්කරුවකු වුවත්, වමත්කරුවකු වුවත්, ඒ පිටුපස සැඟවී ඇත්තේ වසර මිලියන ගණනාවක මානව පරිණාමයේ නොනිමි ඉතිහාස කතාවක් බව පැහැදිලිය. 

ලුසිත ජයමාන්න 
Live Science ඇසුරිනි

Classified_Ad