සඳ අයිති ඇමෙරිකාවට යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ට්‍රම්ප් මෙසේ පැවැසුවේ, සිය ‘ටෲත් සෝෂල්’ සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් පළ කරමිනි.
‘සඳ අයිති අපට’ (ඇමෙරිකාවට) යැයි පවසමින්, ඒ.අයි. තාක්ෂණය භාවිතයට යොදා ගත් සඳේ සහ පෘථිවියේ රූපයක් ද ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමේ පළ කර ඇත.
ඇමෙරිකන් ධජය ද එහි දකින්න ලැබේ.
සඳ හෙවත් චන්ද්‍රයා යනු පෘථිවියේ එකම උප ග්‍රහයාය. ස්වභාවික චන්ද්‍රිකාවක් ලෙස ද සඳ හැඳින්වෙයි. සඳ ගවේෂණය සහ සඳට ගගනගාමීන් යැවීමේ තරගය පැවැතියේ ඇමෙරිකාව සහ එවකට පැවැති සෝවියට් දේශය අතරේය. ඒ නිරවි යුද සමයේදීය.
1969 ජූලි 20 වැනිදා, නාසා ආයතනයේ ‘ඇපලෝ 11’ මෙහෙයුම යටතේ ඇමෙරිකන් ගගනගාමීන් වන නීල් ආම්ස්ට්‍රෝං සහ එඩ්වින් ඕල්ඩ්‍රීන් සඳ මතට පය තැබූහ.
අද වනවිට චීනය, ඉන්දියාව සහ ජපානය ද සඳ ගවේෂණයට යොමු වී සිටී. මිනිසුන් රහිත ගවේෂණ යානා සාර්ථකව සඳට යවා ඇත.
ඇමෙරිකාව් නාසා ආයතනය ද යළිත් වරක් සඳ තරයට යොමු වී සිටී. ඒ, ‘ආටිමිස්’ චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම් යටතේය. 2030 න් පසුව ‘ආටිමිස්’ මෙහෙයුම් යටතේ පිරිමියකු පමණක් නොව, ගැහැනියක ද සඳට යැවීමට ‘නාසා’ ආයතනය සැලැසුම් කර ඇත.
මේ සියල්ල සැලසුම් කෙරුණේ ට්‍රම්ප්ගේ උපදෙස් අනුවය. සඳ මතුපිට ජනාවාස පිහිටුවීමට ‘නාසා’ සූදානම් වෙයි. මේ අතර චීනය ද සඳ ගවේෂණයට පමණක් නොව, සඳ මත ජනාවාස පිහිටුවීමට පිඹුරුපත් සකස් කරමින් සිටී.
