2020 වසරේ හොඳම ළමයා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 26, 2020

2020 වසරේ හොඳම ළමයා

ඇමෙරිකාවේ සුප්‍රකට ‘ටයිම්’ සඟරාව ‘වසරේ හොඳම ළමයා’ ලෙස මෙම 2020 වසරේ නව යෞවනියක හඳුන්වා දුන්නේය. පසුගිය දෙසැම්බර් 4 වැනිදා එළිදැක්වුණු ‘ටයිම්’ සඟරාවේ කවරය හැඩවන්නේ ඇගේ රුවෙනි.


15 හැවිරිදි ඇය දක්ෂ, බුද්ධිමත් විද්‍යාඥවරියකි. නව නිපැයුම්කාරියකි. ඉන්දීය සම්භවයක් ඇති ඇමෙරිකානු දැරියක වන ඇය ගීතාංජලී රාඕ ය. ‘ටයිම්’ සඟරාව, ‘වසරේ හොඳම ළමයා’ විනිසුරු මඬුල්ලක් හරහා, ගීතාංජලී තෝරා ගත්තේ, විවිධ ක්ෂේත්‍රවලින් සුවිශේෂී දක්ෂතා පෙන්වා, ලෝකය යහපත් තැනක් කිරීමට කැපවුණු අවුරුදු 8 ත් 16 ත් අතර නව යෞවන යෞවනියන් 50,000 ක් අතරිනි. 


‘ටයිම්’ සඟරාව, ‘වසරේ හොඳම ළමයා’ තේරීම කළ පළමු අවස්ථාව මෙය වන අතර, මින් ඉදිරියට සෑම වසරකම ‘හොඳම ළමයා’ තේරීම සිදු කරන බව ද පවසා තිබේ. මෙම වසරේ, ගීතාංජලී ට අමතරව, පළමු පස් දෙනා අතරට තේරුණු දරු දැරියන්ගේ විස්තර ද ‘ටයිම්’ සඟරාවේ ඡායාරූප සහිතව පළ කර තිබේ.


‘ටයිම්’ සඟරාව වෙනුවෙන්, ගීතාංජලී සමඟ දොඩමළු වූයේ, ටයිම් සගරාවේ සංස්කාරකවරියක වන ප්‍රවීණ සම්මානනීය හොලිවුඞ් නිළි ඇන්ජොලීනා ජෝලී ය. මැය එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ විශේෂ නියෝජිතවරියක ලෙස ද කටයුතු කරන්නීය. ‘කොවිඞ් 19’ වසංගතය හේතුවෙන් ගීතාංජලී මේ දිනවල උසස් පාසල් අධ්‍යාපන කටයුතු සිදු කරන්නේ, ඔන්ලයින් ක්‍රමයටය.


ජෝලී ද ගීතාංජලී සමඟ කතාබහ කළේ ‘සූම්’ හරහා ය. ඒ, පාසල් කටයුතු අතරතුරේ, ගීතාංජලී ට විවේකයක් ලැබුණු අවස්ථාවකදීය. ගීතාංජලී රාඕගේ පදිංචිය කොලරාඩෝ ජනපදයේ ඩග්ලස් කවුන්ටියේ, ලෝන් ට්‍රී නමැති නගරයයි. ඇන්ජොලීනා ජෝලී ඇසූ ප්‍රශ්නවලට ගීතාංජලී ලබා දුන් පිළිතුරු ඇසීමෙන් ජෝලී මහත් පුදුමයට පත් වූවාය. ‘මේ පොඩ්ඩි එසේ මෙසේ කෙල්ලක නම් නොවෙයි. ලෝකය වෙනස් කරන හරි අපූරු තැනැත්තියක්. ඇය බුද්ධිමත්. වෙනස් විදියට හිතන කෙනෙක්’ යැයි ජෝලී, ගීතාංජලී රාඕ හඳුන්වා දී තිබේ.


ගීතාංජලී පවසන පරිදි, ඇය විද්‍යාවට ඇළුම් කරන්න පටන් ගෙන ඇත්තේ මීට අවුරුදු පහකට පමණ පෙරය. එවිට ඇගේ වයස අවුරුදු 10 කි. 2017 වසරේ, රූපවාහිනී පුවත් නරඹමින් සිටිද්දී, ඇයට මිචිගන් හි ෆ්ලින්ට් නුවර වැසියන් මුහුණදෙන පානීය ජල අර්බුදය දකින්නත් ලැබුණි. ෆ්ලින්ට් වැසියන්ට සැපැයෙන ජලය විෂ විය. ඒ, එහි ඊයම් අඩංගු වීම නිසාය.

ගීතාංජලී, කාබන් නැනෝ ටියුබ් සංවේදක තාක්ෂණය භාවිතයට ගනිමින් ජලයේ විෂ රසායන හඳුනා ගැනීමට උපාංගයක් නිර්මාණය කළාය. ඇය නිර්මාණය කළ එම උපාංගයට ජලයේ ඊයම් හඳුනා ගැනීම පහසුවෙන් කළ හැකි විය. ජලයේ විෂ ඇති නම් බ්ලූටූත් මගින් ඒ බව දැනුම් දීම සිදුවිය. එම උපකරණය නිර්මාණය කිරීමට අවශ්‍ය දේ තමන්ට ගෙනත් දෙන්නැයි ගීතාංජලී ඇගේ මවටත් පියාටත් පැවැසූ අවස්ථාවේ ඇගේ මව ඒ මොනවාදැයි අසා මවිතයට පත් වූවාය. එම උපකරණය නිර්මාණය කිරීමත් සමඟ 2017 දී, ඇමරිකාවේ හොඳම තරුණ විද්‍යාඥයා ද ගීතාංජලී ඇගැයීමට ලක් වූවාය. එපමණක් නොව, එම වසරේ, ‘ෆෝබ්ස්’ සඟරාවේ, අවුරුදු 30 ට අඩු ලොවට වැඩදායී පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවට ද ඇතුළත් වූවාය.


ගීතාංජලී රාඕගේ තවත් ව්‍යාපෘතියක් වන්නේ, අන්තර්ජාලය සමාජ මාධ්‍ය හරහා ‘සයිබර් හිරිහැර’ හඳුනා ගැනීමට නිර්මාණය කළ කෘතිම බුද්ධි මෘදුකාංගයයි. ‘කයින්ඩ්ලි’ නමැති එම මෘදුකාංගය ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රවුසරය හරහා ලබා ගැනීම කළ හැකිය. 2019 දී ගීතාංජලී ‘පිලර්’ සම්මානයෙන් පිදුම් ලැබුවාය. ඒ, ඇය ‘ඔපොයිඩ්’ වේදනානාශකවලට ඇබ්බැහිවූවන් හඳුනා ගැනීමේ මෙවලමක් නිර්මාණය කිරීම හේතුවෙනි. ලොව නන්දෙසින් නව නිපැයුම්කරුවන් ඔවුන්ගේ නිර්මාණ එළිදක්වන ‘ටෙඩෙක්ස්’ සමුළුවට සහභාගී වෙමින් ඇය තෙවරක් එම සමුළුව ඇමැතුවාය.


ගීතාංජලී රාඕ මේ වනවිට මැසචුසෙට් තාක්ෂණ විද්‍යා ආයතනයේ ශිෂ්‍යාවකි. ‘නිරීක්ෂණය කරන්න, අදහස් ඔළුවේ පුරවා ගන්න, පර්යේෂණ කරන්න, නිර්මාණ කරන්න, සන්නිවේදනයේ යෙදෙන්න. බැහැයි කියලා දෙයක් නැහැ. අනෙක් අයට පුළුවන් නම්, තමන්ටත් ඕනෑ දෙයක් පුළුවන්.’ යැයි ගීතාංජලී රාඕ, ජෝලී සමඟ දොඩමළු වෙමින් පැවැසුවේ මහත් ආඩම්බරයකින් සහ ආත්ම විශ්වාසයකිනි.


‘ටයිම්’ සඟරාව ‘වසරේ හොඳම ළමයා තේරීම සිදු කළේ ළමයින් වෙනුවෙන් වෙන් වුණු ‘නිකලෝඩියන්’ සමාගම සහ ‘නිකලෝඩියන්’ නාළිකාව සමඟ අත්වැල් බැඳගනිමිනි. ‘ටයිම් සඟරාවේ කවරයට යන්න තමන් කිසිම දිනෙක අපේක්ෂා නොකළ බව ද ගීතාංජලී පවසා තිබේ.


‘ටයිම්’ සඟරාව ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom