
මහා බ්‍රිතාන්‍යයෙන් හමුවුණු ‘කොවිඩ් 19’ වයිරසයේ විකෘතිකරණයට ලක් වුණු නව ප්‍රභේදය ජර්මනිය, ප්‍රංශය, ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය, ස්වීඩනය ඇතුළු යුරෝපා රටවලට පමණක් නොව, කැනඩාවෙන්, මැදපෙරදිග රටක් වන ලෙබනනයටත් ආසියාවේ කෙළවර පිහිටි ජපානයටත් ව්‍යාප්තවී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර තිබේ.
වයිරසය මෙසේ ව්‍යාප්ත වන්න ඇත්තේ එම රටවලට පැමිණි බ්‍රිතාන්‍ය වැසියන්ගෙන් බව ද පැවැසෙයි. ජපන් රජය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ අනේවාසික විදේශිකයටන්ට මහා බ්‍රිතාන්‍යයට පැමිණීම තාවකාලිකව නවත්වන බවය. සෙසු රටවල් පවසා ඇත්තේ මහා බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන මගීන් වෙනුවෙන් සීමා පනවා ඇති බවත් ඒවා දිගටම ක්‍රියාත්මක වනු ඇති බවත්ය.
මහා බ්‍රිතාන්‍යය යනු එංගලන්තය, ස්කොට්ලවන්තය, වේල්සය සහ උතුරු අයර්ලන්තයයි. පළමුවෙන් ම මෙම නව වයිරස ප්‍රභේදය ගැන වාර්තා වූයේ එංගලන්තයේ නැගෙනහිර පළාත්වලිනි. ඒ, ඉකුත් සැප්තැම්බරයේය. කෙසේ නමුත් අද වනවිට මහා බ්‍රිතාන්‍යය පුරා මෙම නව විකෘතිය ව්‍යාප්ත වී ඇත. වෛද්‍ය පර්යේෂකයන් මෙම නව ප්‍රභේදය නිල වශයෙන් හඳුන්වා ඇත්තේ ‘බී.1.1.7’ යනුවෙනි. මෙහි ඇති විශේෂත්වය නම්, සාමාන්‍ය ‘කොවිඩ් 19’ වයිරසය මෙන් නොව, මෙහි සම්ප්‍රේෂණය 70 ගුණයකින් වේගවත්ය.
‘බී.1.1.7’ විකෘති ප්‍රභේදය ගැන එංගලන්ත වෛද්‍ය පර්යේෂකයන් බිය පළ කළේ පසුගිය 21 වැනිදාය. ඒ සමඟ ලෝකයේ රටවල් රැසක් මහා බ්‍රිතාන්‍යය සමඟ මුහුදු සහ ගුවන් සබඳතා නවතා දැමුවේය. එසේ වුවත්, 22 වැනිදා වනවිට ඕස්ට්‍රේගියාවෙන්, සිංගප්පූරුවෙන් සහ ඉතාලියෙන් ද, 23 වැනිදා වනවිට සිංගප්පූරුවෙන් ද ‘බී.1.1.7’ ආසාදිතයන් හමුවිය.
එංගලන්තයෙන් මෙසේ නව ප්‍රභේදයක් හමුවෙද්දී, තවත් නව ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හමුවිය. දකුණු අප්‍රිකා වෛද්‍ය පර්යේෂකයන් එම නව ප්‍රභේදය නම් කර ඇත්තේ ‘501.වී2’ යනුවෙනි. බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් මුලින් අනුමාන කරන්න වූයේ එංගලන්තයෙන් හමුවුණු ප්‍රභේදය සහ දකුණු අප්‍රිකාවෙන් හමුවුණු ප්‍රභේදය සමාන බවත්, එංගලන්තයට නව ප්‍රභේදය පැමිණෙන්න ඇත්තේ දකුණු අප්‍රිකාවෙන් බවත්ය.
කෙසේ නමුත් ඊයේ (26) වනවිට එම විකෘති ප්‍රභේද දෙක එකක් නොවන බවත් සමානකම් තිබුණත් ප්‍රභේද දෙකක් බවත් තහවුරු විය. එපමණක් නොව, එංගලන්තයේ ප්‍රභේදයට වඩා දකුණු අප්‍රිකාවෙන් හමුවුණු ප්‍රභේදය සම්ප්‍රේෂණය වීම වේගවත් බව ද තහවුරු විය.
මේ අතර, එංගලන්තයෙන් සහ දකුණු අප්‍රිකාවෙන් හමුවුණු ‘කොවිඩ් 19’ වයිරස ප්‍රභේදවලට වඩා වෙනස්, අලුත්ම විදියේ ජාන විකෘති වූ ප්‍රභේදයක්, නයිජීරියාවෙන් ද හමුවී ඇත. වයිරස ව්‍යාප්තියක් සිදුවෙද්දී එම වයිරසය විකෘති වෙමින් ස්වරූපය වෙනස් කර ගැනීම සාමාන්‍ය දෙයක් වන නමුත්, ඒ ගැන අවධානයෙන් සිටිය යුතු බවත්, එම නව ප්‍රභේද පැතිරීම පාලනය කර ගැනීම අවශ්‍ය බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය යළිත් වරක් පැහැදිලි කර තිබේ.
අද (27) වනවිට ලොව පුරා ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන කෝටි 8 පසු කළේය. සමස්ත ආසාදිතයන් වාර්තා වූයේ 80,720,289 ක් ලෙසය. ලොව සමස්ත මරණ වාර්තා වූයේ 1,764,706 ක් ලෙසිණි.
(ඒ.එෆ්.පී.)