ලෝකය අප දෙස බලා සිටින්නේ යැයි සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ඇමෙරිකා එක්සත් ජනපදයේ නව රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (27) පැවැසීය.
‘‘ලෝකය අප දෙස දැඩි විමසිල්ලෙන් බලා සිටිනවා. අපිට අපේ ජාතිය සුවපත් කරගැනීමට හැකිදැයි දැනගැනීමේ අවශ්‍යතාවයෙන් ඔවුන් පසුවෙනවා. අපි ආදර්ශමත් ලෙස නායකත්වය දෙමින් ඉදිරියට යාවිදැයි ඔවුන් බලා සිටිනවා’’ යැයි සිය පළමු මාධ්‍ය හමුවට එක්වෙමින් ඇන්තනි බ්ලින්කන් වොෂින්ටන් නුවරදී පැවැසීය.
ඇන්තනි බ්ලින්කන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රවීණ රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස පිළිගැනෙන අතර ජනාධිපති ජෝ බයිඩන්ගේ විශ්වාසවන්ත සගයකු ලෙස ද සැලකේ.
ඇන්තනි බ්ලින්කන්, ඇමෙරිකා එක්සත් ජනපදයේ නව උප ජනාධිපති කමලා හැරිස් ඉදිරියේ ඊයේ (27) එරට නව රාජ්‍ය ලේකම්වරයා වශයෙන් දිවුරුම් දුන්නේ ය.
වොෂින්ටන් අගනුවර පිහිටි උප ජනාධිපති නිල මන්දිරයේදී එම දිවුරුම් දීමේ උත්සවය පැවැති අතර ඊට ඇන්තනි බ්ලින්කන්ගේ බිරිඳ එවන් රයන් ද සහභාගී වූවා ය. එම උත්සවය ඔවුන් තිදෙනාට පමණක් සීමා විය.
ඉන් අනතුරුව නව රාජ්‍ය ලේකම්වරයා වොෂින්ටන් අගනුවර පිහිටි රාජ්‍ය දෙපාර්තමේන්තුවට ද පැමිණියේ ය. එහි රාජ්‍ය ලේකම්වරයා පිළිගැනීම සඳහා කෙටි උත්සවයක් පැවැත්විණි.
නව කොරෝනා වයිරස හේතුවෙන් එය සුළු පිරිසකට සීමා කර තිබිණි.
ඇන්තනි බ්ලින්කන් ඇමෙරිකාවේ 71 වැනි රාජ්‍ය ලේකම්වරයා වේ. ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් ධුරය අන් රටවල විදේශ අමාත්‍ය ධුරයට සමාන වේ.
ඒ.එෆ්.පී.