වයිරසය පාලනය කරගත් රටවල් ත්‍රිත්වය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 28, 2021

වයිරසය පාලනය කරගත් රටවල් ත්‍රිත්වය

නවසීලන්තය, වියට්නාමය සහ තායිවානය ගෝලීය අර්බුද රැසක් ඇති කළ ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය පාලනය කිරීමේ ක්‍රියාවලියේදී ඉහළම කාර්යසාධනයක් පෙන්නුම් කළ මුල් රටවල් ත්‍රිත්වය බවට පත්ව ඇත. 

ඔස්ට්‍රේලියාවේ බුද්ධි මණ්ඩලයක් වන ලෝවි ආයතනය මෙම දර්ශකය සකස් කර තිබෙන අතර එම දර්ශකය ප්‍රකාශයට පත් කෙරුණි. 

බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකාවට මෙම දර්ශකයේ පහළම ස්ථාන හිමි වී තිබේ. ප්‍රමාණවත් දත්ත නොමැතිවීම හේතුවෙන් චීනය මෙම දර්ශකයෙන් ඉවත් කර ඇත.

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය මුලින්ම හඳුනාගත්තේ ද චීනයෙනි. ඒ 2019 වසරේ දෙසැම්බර් මාසයේදී ය. 

තායිලන්තය, සයිප්‍රසය, රුවන්ඩාව, අයිස්ලන්තය, ඔස්ට්‍රේලියාව, ලැට්වියාව සහ ශ්‍රී ලංකාව එම ලැයිස්තුවේ පිළිවෙළින් මුල් ස්ථාන දහය අතරට පත් අනෙක් රටවල් ය.

ඒක පුද්ගල පදනම මත වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන සහ වයිරස ආසාදිත මරණ ගණන අඩු වීම යන කරුණු එම රටවල් දහය මුල් ස්ථානවලට පැමිණීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ. 

මෙම දර්ශකය සැකසීමේදී රටවල් 98ක දත්ත අධ්‍යයනයට ලක් කර තිබේ. 

සති 36ක් මුළුල්ලේ මෙම අධ්‍යයනය කර තිබෙන අතර ඉහත කරුණුවලට අමතරව අදාළ රටවල 100 වැනි ආසාදිතයා වාර්තා වූ දිනයේ සිට මේ වසරේ ජනවාරි 9 වැනිදා දක්වා තිබෙන දත්ත ද සැලකිල්ලට ගෙන තිබේ. 

දින 14කට වරක් දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ සාමාන්‍ය ගණන් බැලීම, මිලියනයකට වාර්තා වන ආසාදිතයන් ගණන, සමස්ත ආසාදිතයන් ගණන, තහවුරු කරන ලද ‘කොවිඩ්-19’ මරණ, මිලියනයකට වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන, කර තිබෙන පරීක්ෂණවලින් සමානුපාතයක් ලෙස වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන, පුද්ගලයන් දහසකට කරන ලද පරීක්ෂණ ගණන යනාදිය මෙහිදි සැලකිල්ලට ගත් බව ද ලෝවි ආයතනය සඳහන් කරයි. 

 මෙම දර්ශකය සහ වාර්තාව නිකුත් වූයේ ගෝලීයව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 100 සහ ලොවපුරා වයිරස ආසාදිත මරණ ගණන මිලියන 2 ඉක්මවා ගිය මොහොතක ය. ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මේ වනවිට වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 25 ඉක්මවන අතර ඇමෙරිකාව එම දර්ශකයේ 94 වැනි ස්ථානයේ පසුවෙයි. 

ආසාදිතයන් මිලියන 11ක් වාර්තා වන ඉන්දියාව 86 වැනි ස්ථානයේ පසුවෙයි. යුරෝපයේ වැඩිම වයිරස ආසාදිත මරණ ගණනක් වාර්තා වන බ්‍රිතාන්‍ය මෙම ලැයිස්තුවේ 66 වැනි ස්ථානයේ පසුවෙයි.

මෙම දර්ශකයට අනුව ආසියා-ශාන්තිකර කලාපයේ රටවල් වසංගතය පාලනය කිරීමේදී සාර්ථක වී ඇති නමුත් යුරෝපයේ සහ ඇමෙරිකාවේ වයිරස ආසාදිතයන්ගේ ගණන ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

‘‘කොවිඩ්-19 පාලනය කිරීමේදී ඒ ඒ රටවල ආර්ථික සංවර්ධනය, ඒ ඒ රටවල දේශපාලන පද්ධති හෝ ඒවායේ වෙනස්කම් සිදු කර ඇත්තේ ඉතා අඩු බලපෑමක්’’ යැයි සිඩ්නි පිහිටි ලෝවි ආයතනය සිය විශ්ලේෂණයේ සඳහන් කර ඇත. 

 ‘‘සාමාන්‍යයෙන් ගත් විට ඉතා කුඩා ජනගහනයක් සිටින, සාමූහික සමාජ සහ හැකියාව ඇති රටවලට වසංගතය පාලනය කිරීමේදී අන් රටවලට සාපේක්ෂව වාසියක් තිබෙනවා’’ යැයි ද එම ආයතනය සඳහන් කරයි. 

මේ අතර ඉලක්ක ගත පරීක්ෂණ සහ මධ්‍යගත කරන ලද නිරෝධායන වැඩසටහන මගින් සාර්ථකව නව කොරෝනා වයිරසය පාලනය කළ වියට්නාමයෙන් ඊයේ (27) වයිරස ආසාදිතයකු වාර්තා විය. 

එම වයිරස ආසාදිතයා දින 55කට පසු රට ඇතුළතින් වාර්තා වූ පළමු වයිරස ආසාදිතයා තැනැත්තා ය. 

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom