එන්නත්කරණ වැඩසටහන ඇරඹේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 29, 2021

එන්නත්කරණ වැඩසටහන ඇරඹේ

'වැක්සින් මෛත්‍රී' වැඩසටහන යටතේ ඉන්දීය රජය ප්‍රදානය කළ 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්' එන්නද අද (29) උදෑසන සිට ලබා දීම ඇරැඹිණි. 

බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 6 ක දී එන්නත් ලබා දීම ආරම්භ වුණු අතර, ඉදිරි දිනවලදී සෙසු පළාත්වල රෝහල්වලින් ද එන්නත් ලබා දීමට නියමිතය. 

කොරෝනා මර්දනයට දායක වන එක් ලක්ෂ 50,000 ක් වන ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටත්, එක් ලක්ෂ 20,000 ක් පමණ ත්‍රිවිධ හමුදා, පොලිස් ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන්ටත් පළමුවෙන් එන්නත් ලබා දීම සිදුවෙයි. 

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයට එන්නත් ලබා දෙද්දී, ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව් ඩී. වික්‍රමසිංහ මහතා ඇතුළු කාර්ය මණ්ඩලයත්, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ විශේෂ නියෝජිත වෛද්‍ය රාකේෂ් පාණ්ඩේ සහ විවේක් ෂර්මා යන මහත්වරු ද එම අවස්ථාවට එක් වී සිටියහ. 

ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව් ඩී. වික්‍රමසිංහ මහතා පැවැසුවේ කොළඹ ජාතික රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලයට ම තෙදිනක් ඇතුළත එන්නත් ලබා දීම සිදු කරන බවය. 
ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි.ඩී.එච්. රෝහලේ දී එන්නත ලබා දීම ආරම්භ වූ අවස්ථාවේදී එන්නත පළමුවෙන් ලබා ගත්තේ එම රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාය. 

අද (29) උදෑසන යුද හමුදා රෝහලේ දී එන්නත් ලබා දීම ආරම්භ වූයේ යුද හමුදා සාමාජිකයන් තිදෙනකුට එන්නත් ලබා දෙමිනි. එම අවස්ථාවට යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු හමුදා ප්‍රධානීහු එක් වූහ. 

මහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනකා ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවා ඇති එන්නත මහා පරිමාණයෙන් ඉන්දියාවේ පූනේ නුවර පිහිටි 'සේරම්' ඖෂධ නිෂ්පාදන සමාගම මහා පරිමාණයෙන් නිපදවයි. ඒ, කොවිෂීල්ඩ් යනුවෙනි. 

ශ්‍රී ලංකාවේ අපට පමණක් නොව, 'වැක්සින් මෛත්‍රී' යටතේ සෙසු ආසියානු රටවලට ඉන්දියාව ප්‍රදානය කර ඇත්තේ මෙම 'කොවිෂීල්ඩ්' එන්නතය. 

මෙම එන්නත ලබා ගැනීම මගින්, 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීමට ඇති ඉඩකඩ ඇහිරේ.

එන්නතේ සාර්ථකත්වය සියයට 70 සිට 90 දක්වාය. මෙම එන්නත ලබා ගැනීමෙන් රෝගය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවීමේ අවදානම ද විශාල ලෙස අඩුවෙයි. 

එන්නත ලබා ගැනීමෙන් පසු රෝගය වැළඳුණ ද එමගින් සංකූලතා ඇතිවීම, දරුණු රෝගී තත්ත්වයක් ඇතිවීම ඉතා විශාල ලෙස අඩු වීමක් පෙන්නුම් කර ඇත. 

පර්යේෂණ වාර්තා වලට අනුව පර්යේෂණයට භාජනය කළ 10,000 කට අධික පිරිසගෙන් කිසිම කෙනෙකුට රෝහල් ගත කර ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වන තරම් රෝගී තත්ත්වයක් වැළඳී නැති බව වාර්තා වේ. 

'කොවිෂීල්ඩ්' එන්නත මුලින්ම ලබා දෙන්නේ, පළමු පෙළ සෞඛ්‍ය, ආරක්ෂක සහ අනෙකුත් හඳුනාගත් අංශවල සිටින පුද්ගලයින්ටය. 

දෙවනුව අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ටත් ඉන්පසු අඩු වන වයස් පිලිවෙලට, අවදානම් සාධක ද සලකා බලා, පියවරෙන් පියවර එන්නත ලබාදීමට තීරණය කර ඇත. 

එන්නත අනුමත කර නැති පිරිසක් ද වෙති. 

වයස අවුරුදු 18ට අඩු අයට, ගර්භනී මව්වරුන්ට සහ මව් කිරි දෙන මව්වරුන්ට, එන්නත් සදහා දැඩි අසාත්මිකතා පෙන්වා ඇති පුද්ගලයන්ට එන්නත ලබා දෙන්නේ නැත. ඒ, එන්නත එම අයට කුමන ප්‍රතිචාරයක් දක්වාවිදැයි තහවුරු කර නැති බැවිනි.

සෙසු කොරෝනා ආාසදනය වළක්වන ප්‍රතිශක්තිකරණ එන්නත් සේම, මෙම 'කොවිෂීල්ඩ්' එන්නත ද මාත්‍රා දෙකකි. වයිරසයට එරෙහිව සිරුරේ ප්‍රතිශක්තියක් ඇති වන්නේ දෙවැනි මාත්‍රාව ලබා ගැනීමෙන් පසුවය.

Classified_Ad

Classified_Ad_News_Bottom