ඔක්ස්ෆර්ඩ් එන්නත බංග්ලාදේශ වැසියන්ට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 29, 2021

ඔක්ස්ෆර්ඩ් එන්නත බංග්ලාදේශ වැසියන්ට

‘වැක්සින් මෛත්‍රී’ වැඩසටහන යටතේ ඉන්දීය රජය, අසල්වැසි බංග්ලාදේශය රජයට ප්‍රදානය කළ ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නත බංග්ලාදේශ වැසියන්ට ලබාදීම මේ වනවිට ආරම්භ වී ඇත. 

බංග්ලාදේශය ‘කොවිඩ් 19’ වයිරසයෙන් දරුණු ලෙස බැටකන ආසියානු රාජ්‍යයකි. මේ වනවිට එරට සමස්ත ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 5,33,000 පසු කර ඇති අතර මරණ සංඛ්‍යාව 8,000 පසු කර තිබේ. 

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් සහ ඇස්ට්‍රාසෙනකා ඖෂධ නිෂ්පාදන සමාගම එක් වී නිපදවූ ‘ඔක්ස්ෆර්ඩ්’ එන්නත ඉන්දියාවේ පූනේ නුවර ‘සේරම්’ ඖෂධ නිෂ්පාදන සමාගමේ ප්‍රති නිෂ්පාදනයක් සිදුවෙයි. ඒ, ඉන්දියානුවන් වෙනුවෙන් සහ ආසියානු රටවල් වෙනුවෙනි. 

‘සේරම්’ ඖෂධ නිෂ්පාදන සමාගම එන්නත නිපදවන්නේ ‘කොවිෂීල්ඩ්’ යන නාමයෙනි. එන්නත් ලබා දීම සම්බන්ධයෙන් බංග්ලාද්ශ රජය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට සිය කෘතඥතාව පළ කර තිබේ. 

එන්නත පළමුවෙන් ලබා දීම සිදුවන්නේ සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ සාමාජික සාමාජිකාවන්ට බව බංග්ලාදේශ සෞඛ්‍ය බලධාරීහු පවසති. 

එන්නත ලබා දීම ආරම්භ කළ පළමු දිනයේ එන්නත ලබා ගත් පළමු පුද්ගලයන් අතර වෛද්‍යවරයකු, හෙදියක, රථවාහන පොලිස් නිලධාරියකු සහ මාධ්‍යවේදියකු සිටි බව බංග්ලාදේශයෙන් වාර්තා වේ. එන්නත් කිරීමේ කටයුතු ආරම්භ වූයේ ඩකා අගනුවර ජාතික රෝහලේදීය. 

බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා, එන්නත් ලබාදීමේ සජීවී දසුන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ නැරැඹූ බව ද පැවැසෙයි. ඉන්දීය රජය, ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නත් මාත්‍රා මිලියන දෙකක් බංග්ලාදේශ රජයට ප්‍රදානය කර ඇත. 

ඉන්දීය රජය ‘වැක්සින් මෛත්‍රී’ යන නමින් නම් කළ වැඩසටහන හරහා පාකිස්තානයට හැර අසල්වැසි ආසියානු රටවල් සියල්ලයට එන්නත් ප්‍රදානය කරයි. 

ඒ, එන්නත් අවශ්‍ය යැයි එම ආසියානු රටවල් ඉන්දියාවෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දකිවමින්, හොඳහිත තවත් වර්ධනය කර ගනිමිනි. 

තමන්ට එන්නත් අවශ්‍ය යැයි පාකිස්තානය ඉන්දියාවෙන් ඉල්ලා නැති බව ඉන්දී්‍ය රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඒ, ඉන්දු පාකිස්තාන එදිරිවාදිකම් නිසාය. 

කෙසේ නමුත් පාකිස්තානයට තමන් නිපදවූ එන්නත් මාත්‍රා මිලියන ගණනක් තෑගි වශයෙන් ලබා දෙන බව චීන රජය පවසා ඇත. චීනයත් පාකිස්තානයත් අතර සමීප මිතුදම් පවතී. රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom