ඉන්දීය එන්නත අද එනවා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 28, 2021

ඉන්දීය එන්නත අද එනවා

ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගනිමින්, මිතුදම් වර්ධනය කර ගනිමින්, ඉන්දියාවෙන් ප්‍රදානය කළ ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා ලක්ෂ හයක් අද (28) අපට ලැබීමට නියමිතය. 

මෙම එන්නත් තොගය අපට ලැබෙන්නේ ශ්‍රී ලංකාවෙන් පළමු ‘කොරෝනා’ ආසාදිතයා හමුවී වසරක් ගතවෙද්දීය. 

 පළමු ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයා ලෙස මෙරටින් හඳුනා ගැනුනේ මෙරට සංචාරයකට පැමිණි 44 හැවිරිදි ලෝ යැං නමැති චීන ජාතික කාන්තාවකි.

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය අඩපණ කළ හැකි ප්‍රධාන එන්නත් 4 ක් මේ වනවිට කරළියට පැමිණ තිබේ. 

මේ එන්නත් සියල්ල මාත්‍රා දෙකකින් යුක්ත වෙයි. සිරුරේ වයිරසයට එරෙහි ප්‍රතිශක්තියක් ඇති වන්නේ දෙවැනි මාත්‍රාව ලබා ගැනීමෙන් පසුවය. 

 පළමුවෙන් ලොව නිපදවූ ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත වන්නේ රුසියාවේ ‘ගැමලේයා’ ඖෂධ නිෂ්පාදන සමාගමේ ‘ස්පුට්නික් 5’ එන්නත ය. 

පළමුවෙන් ලොව ලියාපදිංචි කළ එන්නත වන්නේ ද මෙයයි. තෙවැනි වටයේ අවසන් සායනික අත්හදා බැලීම් සම්පූර්ණ කිරීමටත් පෙර, හදිසි තත්ත්වයක් සේ සලකා මහා බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව එරට වැසියන්ට ලබා දීම ආරම්භ කළේ ‘ෆයිසර් එන්නතය.

‘ෆයිසර්’ එන්නත නිපදවා ඇත්තේ ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සමාගම සහ ජර්මනියේ ‘බයෝඇන්ටෙක්’ ඖෂධ සමාගම් එක් වෙමිනි. අද රටවල් බොහොමයකට ලබා දෙන්නේ ‘ෆයිසර්’ එන්නත වන අතර, ඇමෙරිකන් නව ජනාධිපති ජෝ බයිඩන් ද ලබා ගෙන ඇත්තේ මෙයයි. 

 ඊට අමතරව ඇමෙරිකාවේ ‘මොඩර්නා’ සමාගම නිපදවූ ‘මොඩර්නා’ එන්නත ද ඇමෙරිකානුවන්ට ලබා දීම සිදුවෙමින් පවතී. ‘ෆයිසර්’ මෙන්ම ‘මොඩර්නා’ එන්නත්වල සාර්ථකත්වය සියයට 95 කි. රුසියාවේ ‘ස්පුට්නික් 5’ එන්නතේ සාර්ථකත්වය සියයට 92 කි. 

 ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් සහ සුප්‍රසිද්ධ ‘ඇස්ට්‍රා සෙනකා’ ඖෂධ නිෂ්පාදන සමාගම එක් වී නිපදවූ ‘ඔක්ස්ෆර්ඩ්’ එන්නත ද සියයට 92 ක් සාර්ථක යැයි පැවැසෙයි.

ඉන්දියාවේ පූනේ නුවර පිහිටි ‘සේරම්’ ඖෂධ නිෂ්පාදන සමාගම, ‘ඇස්ට්‍රා සෙනකා’ ඖෂධ නිෂ්පාදන සමාගම සමඟ ගිවිසුමක් ඇති කර ගනිමින්, ‘ඔක්ස්ෆර්ඩ්’ එන්නත මහා පරිමාණයෙන් නිපදවයි. ඒ, ඉන්දියානුවන්ට සහ ආසියානු රටවල වැසියන් වෙනුවෙනි. 

‘සේරම්’ සමාගම නිපදවන මෙම එන්නත නම් කර ඇත්තේ ‘කොවිෂීල්ඩ්’ යනුවෙනි.  අද (28) ශ්‍රී ලංකාවේ අපට ලැබෙන්නේ මෙයයි. 

‘සේරම්’ යනු ලොව විශාලතම ඖෂධ නිෂ්පාදන සමාගමක් වන අතර, ඔවුන් ‘ඔක්ස්ෆර්ඩ්’ එන්නත ‘කොවිෂීල්ඩ්’ යනුවෙන් නිපදවන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය යටතේය. 

එහෙයින් එන්නත ගැන සැකයක් කිසිදු ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බවට ඉන්දීය රජය සහතික වී ඇත. 

ලොව ප්‍රතිශක්තිකරණ එන්නත්වලින් සියයට 50 ත් 60 ත් අතර ප්‍රමාණයක් නිපදවන්නේ ඉන්දියාවේය. ඇමෙරිකන් ඖෂධ සමාගම් නිපදවන බෙහෙත්වලින් සියයට 40 ක් ද බ්‍රිතාන්‍යයේ ඖෂධ සමාගම් නිපදවන බෙහෙත්වලින් සියයට 75 ක් ද නිපදවන්නේ ඉන්දියාවේය. 

 දිගුකාලීනව බෝ නොවන රෝගවලට ප්‍රතිකාර ලෙස, එම රෝග පාලනය කර ගැනීමට, භාවිතයට ගන්නා ඖෂධ බොහොමයක් නිපදවන්නේ ඉන්දියාවේය. 

එම ඖෂධ ගුණාත්මක බවින් මුල් ඖෂධවලට සමාන අතර, පහසු මිලට ලබා ගැනීමට හැකිවීම විශේෂත්වයකි. මෙරටට ලැබෙන ඖෂධවලින් සියයට 70 ක් නිපදවන්නේ ද ඉන්දියාවේය. 

 ඉන්දියාව, පාකිස්තානයට හැර, භූතානය, නේපාලය, මාලදිවයින, මියන්මාරය, ෂීසෙල්ස්, මුරුසි, බංගලාදේශය සහ ඇෆ්ගනිස්තානයටත් ‘කොවිෂීල්ඩ්’ එන්නත් ලබා දීමට කටයුතු කර තිබේ. 

මියන්මාරයට පසුගිය සතියේ එන්නත් ලැබුණු අතර ඊයේ (27) ඒවා ජනතාවට බෙදා දීම ආරම්භ කෙරුණි. 

පවතින එදිරිවාදිකම් හේතුවෙන් පාකිස්තානය තමන්ගෙන් එන්නත් ඉල්ලා නොමැති බව ඉන්දීය රජය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. චීනය පාකිස්තානයේ මිතුරෙකි.

චීනය පවසා ඇත්තේ තමන් නිපදවා ඇති ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් පාකිස්තානයට තෑගි කරන බවය.

෴ ලුසිත ජයමාන්න

Classified_Ad

Classified_Ad_News_Bottom