හගියා සොෆියා පූස් සුරතලිය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 5, 2021

හගියා සොෆියා පූස් සුරතලිය

තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි ‘හගියා සොෆියා’ ගැන ඔබ දන්නවාද? හගියා සොෆියා යනු පුරාණයේ, රෝමානු කතෝලික දේවස්ථානයකි. 

ඔටෝමාන් අධිරාජ්‍ය සමයේ එය මුස්ලිම් පල්ලියකි. තුර්කි ජනරජය බිහිවීමෙන් පසු එය කෞතුකාගාරයක් ලෙස නම් කෙරුණි. ඒ අනුව, වසර 1,500 ක් පැරණි, හගියා සොෆියා යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ද නම් කෙරුණි. 

දැන් යළිත් ‘හගියා සොෆියා’ මුස්ලිම් පල්ලියක් වී තිබේ. ඒ තුර්කි අධිකරණ තීන්දුවකට අනුවය. එම අධිකරණ තීන්දුව ආන්දෝලනාත්මක විය. ලොව බොහෝ දෙනකුගේ අප්‍රසාදයට එය හේතුවක් විය. ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් පවා ඒ ගැන කකස්සල පළ කළේය. 
‘හගියා සොෆියා’ මුස්ලිම් පල්ලියේ සිකුරාදා දිනවල දේවමෙහෙයයන් පවා පැවැත්වෙයි. දේව මෙහෙය පැවැත්වෙන්නේ එම අවස්ථාවේ පල්ලියේ ඇති ජේසුතුමන්ගේත් මරියා මවුතුමියගේත් ප්‍රතිමා තිර රෙදිවලින් වසා දමමිණි.

වර්ෂ 330 ත් 395 ත් අතර කාලයේ, රෝම අධිරාජ්‍යයේ අගනුවර වූයේ කොන්ස්තන්තිනෝපලයයි. රෝම අධිරාජ්‍ය පැවැති සමයේ 1923 දී තුර්කි ජනරජය ස්ථාපිත කරද්දී, තුර්කියේ අගනුවර ලෙස තෝරා ගැණුනේ අන්කාරා නුවරය. 1930 දී, කොන්ස්තන්තිනෝපලය වෙනස් විය. ඒ, ඉස්තාන්බුල් ලෙසිණි. 
කොන්ස්තන්තිනෝපලය ඉස්තාන්බුල් ලෙස වෙනස් තුර්කි ජනරජය පිහිටුවීමෙහිලා පුරෝගාමියා පමණක් නොව තුර්කියේ ප්‍රථම ජනාධිපතිවරයා ද වූ මුස්තාෆා කමාල් අටාටුක්ගේ මූලිකත්වයෙනි. 

කිතුනුවන්ට පමණක් නොව ඉස්ලාම් බැතිමතුන්ට ද වැදගත් ස්ථානයක් බව වටහා ගනිමින්, ‘හගියා සොෆියා’ කෞතුකාගාරය කෞතුකාගාරයක් කළේත්, එය ලෝක උරුමයක් ලෙස නම් කරන්නැයි ඉල්ලීමක් කළේත් අටාටුක් ය. ඒ අනුව, 1934 දීය. හගියා සොෆියා කෞතුකාගාරයක් ලෙස නම් කෙරුණි.
හගියා සොෆියා කෞතුකාගාරය නිවහන කර ගනිමින් ජීවත් වන ‘ග්ලී’, කොළ පැහැති දීප්තිමත් ඇස් ඇති අළු දුඹුරු බැළැලියකි. හගියා සොෆියා නැරැඹීමට පැමිණෙන බොහෝ දෙස් විදෙස් සංචාරකයන් ග්ලී අත ගා සුරතල් කිරීමට අමතක කරන්නේ නැත. හගියා සොෆියා මෙන්ම ග්ලී ද ජනප්‍රිය චරිතයකි. 

ග්ලී වෙනුවෙන් වෙනම ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුමක් ද ඇත. ග්ලී වෙනුවෙන් ගිණුම පවනත්වාගෙන යන්නේ උමුත් බාසීසි නමැති තරුණියයි. උමුත් බාසීසි සංචාරක මඟ පෙන්වන්නියකි. අද වනවිට ග්ලීට ආදරේ කරන 48,000 ක් එම ගිණුම සමඟ සම්බන්ධ වී සිටිති. 

2009 දී, ඇමෙරිකා ජනාධිපති ලෙස බැරැක් ඔබාමා, තුර්කියට පැමිණියේය. ඔබාමා, හගියා සොෆියා නැරඹීමට ද ගියේය. එහිදී ඔබාමාට, ග්ලී දැක ගැනීමට හැකිවුණු අතර, ග්ලීගේ සමාජ මාධ්‍ය ගිණුමට සම්බන්ධ වී, එහි පළවන ග්ලීගේ ඡායාරූපවලට ‘ලයික්’ දමන්නන් අතරේ ඔබමා ද සිටී. 
උමුත් බාසීසි, ග්ලීගේ සමාජ මාධ්‍ය ගිණුම නිර්මාණය කළේ මීට සිවු වසරකට පෙරය. 

’මා හගියා සොෆියා යන හැම විටම, ග්ලී දකින්න ලැබුණා. ඇය මා ගන්නා ඡායාරූපවලට පෙනී සිටියේ පලපුරුදු නිරූපිකාවක් ලෙසින්. මට ඇය ගැන ආදරයක් ඇති වුණේ එහෙමයි. අද ඇයට ආදරේ කරන බොහෝ දෙනකු ඉන්නවා’ යැයි උමුත් බාසීසි පවසා ඇත. 

හගියා සොෆියා මුස්ලිම් පල්ලියක් ලෙස නම් කිරීමට තීරණය කළ අවස්ථාවේදී, බොහෝ දෙනාට ගැටලුවක් වූයේ ග්ලී ට එතැනින් යන්න වේවිදැයි කියාය. ඒත් තුර්කි වැසියෝ බළලුන්ට හරි ආදරේය. බල්ලන්ට වඩා බළලුන්ට ආදරේය. 

ග්ලීට කුමක්වේවිද යන්න ඉතාලි පුවත් නාළිකා ඔස්සේ දිනපතාම වාගේ විමසුමට භාජන වූ ‘දැවෙන ප්‍රශ්නයක්’ විය. තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පවා ඒ ගැන උනන්දුවක් දැක්වීය. 

අවසානයේ දී, හගියා සොෆියා භාරකාර මණ්ඩලය ග්ලී සම්බන්ධයෙන් තීරණයක් ගත්තේය. ජනාධිපතිවරයාට ඒ ගැන දැනුම් දුන්නේය. ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ඊබ්‍රහීම් කාලින් මාධ්‍ය හමුවක් කැඳවීය. 

‘ග්ලී ට සදාකල් හගියා සොෆියා නිවහන වේවි. ඇය ජනප්‍රියයි. හගියා සොෆියා බලධාරීන් දිගටම ඇය රැක බලා ගනීවි. ග්ලී පමණක් නොවෙයි, තවත් බළලුන් හගියා සොෆියා ඉන්නවා. එයාලා නම් එතරම් ජනප්‍රිය නැහැ. එයාලටත් දිගටම හගියා සොෆියා පල්ලියේ ඉන්න අවසර ලැබෙනවා’ යැයි ඊබ්‍රහීම් කාලින් මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය. 

එදා එම ප්‍රකාශය ඇසීමෙන් වැඩියෙන්ම සතුටට පත් වූයේ උමුත් බාසීසි ය. 

ලුසිත ජයමාන්න 
තුර්කි පුවත් ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom