‘කොවිඩ් 19’ වයිරසය ආරම්භ වූයේ 2019 දෙසැම්බරයේ, චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින්ය.
‘කොවිඩ් 19’ වයිරසය පාලනය කර ගැනීමට චීන රජය, සෞඛ්‍ය අංශ සහ හමුදාව සමත් වී සිටී. වසරක් ගෙවී ගියත් ‘කොවිඩ් 19’ වයිරසය ගැන අප දන්නා දේට වඩා නොදන්නා දේ බොහෝය.
වයිරසයේ සුලමුල තවමත් අබිරහසක් වන නමුත්, ‘කොවිඩ් 19’ වයිරසය කොරෝනා වයිරස පවුලට අයත් බව විද්‍යාඥයන් සොයාගෙන ඇත.
ඒ අනුව, එහි ජානමය ව්‍යුහය හඳුනා ගැනීම සිදුවුණ අතර, අද වනවිට මහා බ්‍රිතාන්‍යය ඇමෙරිකාව ඇතුළු රටවල් බොහොමයක් ඔවුන්ගේ වැසියන්ට ලබා දෙන ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවීම සිදුවූයේ ඒ අනුවය.
කොරෝනා යනු සතුන් අතරේ පවතින, මිනිසුන්ට ආසාදනය වී පසුව මිනිසුන් අතරේ පැතිරෙන වයිරස වර්ගයකි. ‘කොවිඩ් 19’ එහි නවතම ප්‍රභේදයයි.
ලොවට වින කරන පළමු සහ අවසන් වයිරසය ‘කොවිඩ් 19’ නොවෙයි. ‘කොවිඩ් 19’ ලෝකය කැලැඹීමට පෙර සිටම, තවමත් ඇතැම් වයිරස කාලයෙන් කාලයට හිස ඔසවයි.
ඒ සෑම වයිරසයක්ම මාරකය. ප්‍රතිකර්ම ඇත්තේ කීපයකට පමණය.
‘කොවිඩ් 19’ ලොව කැලඹීමට පෙර, 2002 චීනයෙන් තවත් කොරෝනා වයිරසයක් හිස එසවීය. එය ‘සාර්ස්’ වයිරසයයි. මෙය ආරම්භ වූයේ දකුණු දිග චීනයේ ගුවෙන්ඩොං පළාතෙනි.
‘සාර්ස්’ වයිරසය ලොව රටවල් 26 කට ව්‍යාප්ත විය. 8,000 කට වයිරසය ආසාදනය වූ අතර මරණ 770 ක් වාර්තා විය. වයිරසය වසර දෙකක් තිස්සේ පැවැතිණි. යළිත් ‘සාර්ස්’ වසංගත තත්ත්වයක් ඇතිවුහොත් යන බියෙන් 2006 වසරේ සිට ‘සාර්ස්’ සඳහා එන්නතක් නිපදවිමට ලොව ප්‍රධාන පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගම් රැසක් පියවර ගෙන තිබුණි.
‘සාර්ස්’ සහ ‘කොවිඩ් 19’ වයිරසවල මූලික ජාන ව්‍යුහයේ සමානකම් පවතී. එහෙයින්, 2006 සිට ආරම්භ කළ පර්යේෂණ, ‘කොවිඩ් 19’ සඳහා කඩිනමින් එන්නත් නිපදවීමට පහසුවක් වූ බව රහසක් නොවේ. ‘සාර්ස්’ හා සමාන තවත් කොරෝනා පවුලේ වයිරසයක් වන්නේ ‘මර්ස්’ ය.
‘මර්ස්’ වයිරසය ආරම්භ වූයේ සෞදි අරාබිය ඇතුළු මැදපෙරදිග රටවලින්, ඔටුවන් හරහා මනුෂ්‍යයන්ටය. පසුව දකුණු කොරියාවෙන් ද ‘මර්ස්’ ආසාදිතයන් වාර්තා විය. ඒ, 2012 දී සහ 2015 දීය.
‘කොවිඩ් 19’ හා සමාන කළ නොමැකි නමුත්, ‘මර්ස්’ සහ ‘සර්ස්’ ද කොරෝනා වයිරස පවුලේ බිහිසුණු සාමාජිකයන්ය. එන්නත් ලබා දීම ආරම්භ කර ඇති බැවින්, සමූහ ප්‍රතිශක්තියක් නිර්මාණය වී, ‘කොවිඩ් 19’ පාලනය වීමට තව වසර කීපයක් ගත වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතයයි.
නූතන මානවයා අනාදිමත් කාලයක පටන් අදිසි සතුරකු සමඟ සටන් වදී. මේ අදිසි සතුරා වයිරසය. වයිරසවලට ප්‍රතිකර්ම සෙවීම අසීරුය. ඒ, වයිරස සැමවිටම වෙනස් වෙමින් පැතිරෙන බැවිනි. එසේ වුවත්, ඇතැම් වයිරස අඩපණ කිරීමට වයිරස නාශක ඖෂධ සහ වැක්සීන එසේත් නැතිනම් එන්නත් නිපදවා තිබේ. ඒ වයිරස ආසාදනය වැළැක්වීම, පැතිරීම පාලනය සහ රෝගී වූවන් ඉක්මණින් සුවපත් කිරීමේ අරමුණින්ය.
මිනිසාට කෙසේ හෝ ලොවෙන් තුරන් කර දැමීමට හැකිවුණු එක් බිහිසුණු වයිරසයක් වන්නේ වසූරිය ය. එය සුවිශේෂී ජයග්‍රහණයක් බව අමුතුවෙන් කිවයුතු වන්නේ නැත.
එසේ වුවත් පොදුවේ ගත් කළ වයිරසවලට අප ගෙන යන සටන පහසුවෙන් ජයග්‍රහණය කළ හැකි එකක් නොවන බව පැහැදිලිය. 2014 සිට 2016 තෙක් කාලයේ අප්‍රිකාව කේන්ද්‍රකොට ගනිමින් පැතිර යන්න වූ ‘ඉබෝලා’ වයිරසය සුළුපටු එකක් නොවෙයි.
ඉබෝලා ආරම්භ වූයේ දකුණු අප්‍රිකාවෙනි. ඉබෝලා ආසාදනය වූවන්ගෙන් සියයට 90 ක් ජීවිතක්ෂයට පත්වූහ. කුමක් හෝ වාසනාවකට, ඉබෝලා ගෝලීය වසංගතයක් දක්වා දුරදිග ගියේ නැත.
ඒත් ඉබෝලාට වඩා බිහිසුණු මාරක වයිරස ඇති බව අප දැන් හොඳින් දනී. ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය කොතරම් බිහිසුණු ද කියනවා නම් අද, ඇන්ටාක්ටිකාවෙන් පවා ආසාදිතයන් වාර්තා වී ඇත. ලෝකයේ රටවල් සහ පාලන ප්‍රදේශ 218 කට ‘කොවිඩ් 19’ පැතිර ගොස් අවසන්ය. ‘කොවිඩ් 19’ වයිරසයේ සම්ප්‍රේෂණ හැකියාව ඉතා වේගවත්ය.
ආසාදිතයන්ට සාපේක්ෂව මරණ අඩු මට්ටමක පවතී. එසේ වුවත්, ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය මුළු ලොවටම විශාල තර්ජනයක් බව පැහැදිලිය.
විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ද ඇතුළුව මිනිසාට තර්ජනයක් කළ හැකි ආකාරයේ වයිරස 12 ක් ලොව සක්‍රීයව පවතී.
‘මාර්බර්ග්’ වයිරසය එයින් එකකි. විද්‍යාඥයන්, ‘මාර්බර්ග්’ වයිරසය සොයා ගත්තේ 1967 දීය. ඒ, ජර්මනියේ රසායනාගාරයක විද්‍යාඥයන් සහ රසායනාගාර සේවකයන් අතරේ එය පැතිර යෑමට පටන් ගැනීමත් සමඟය. ජර්මනියේ රසායනාගාරයට වයිරසය පැමිණ තිබුණේ අප්‍රිකාවෙනි.
අප්‍රිකා රටක් වන උගන්ඩාවෙනි. පර්යේෂණ සහ අත්හදා බැලීම්වලට යොදා ගැනීමට උගන්ඩාවෙන් වඳුරන් ගෙනෙන ලද අතර, වඳුරන්ගෙන් රසායනාගාරයේ සේවක සේවිකාවන්ට වයිරසය ව්‍යාප්ත විය. ‘මාර්බර්ග්’ සමාන වන්නේ ‘ඉබෝලා’ වයිරසයටය.
රක්තපාත උණ ‘ඉබෝලා’ මෙන්ම, ‘මාර්බර්ග්’ ආසාදිතයන්ගේ ප්‍රධානතම රෝග ලක්ෂණයයි. අභ්‍යන්තර රුධිර වහනයක් සිදුවී, ඉන්ද්‍රියයන් අකර්මණ්‍ය වී, ආසාදිතයන්ට වේදනාකාරී මරණයක් උදාවෙයි.
1967 මුල්ම ‘මාර්බර්ග්’ ව්‍යාප්තියේදී මරණ ප්‍රතිශතය සියයට 25 ක් වූ නමුත්, 1998 සිට 2000 තෙක් කාලය පුරාවට කොංගෝ ජනරජයේ ‘මාර්බර්ග්’ වයිරසය දෙවැනි වරට ව්‍යාප්ත වෙද්දී, මරණ අනුපාතය සියයට 80 ට වැඩි විය.
2005 දී යළි ඇන්ගෝලාවෙන් ‘මාර්බර්ග්’ ආසාදිතයන් හමුවීමට පටන් ගත් අතර, මරණ අනුපාතය සියයට 90 ක් විය.
‘මාර්බර්ග්’ සඳහා ප්‍රතිකර්මයක් තවමත් සොයාගෙන නැත. මෙම මාරක වයිරසය ඕනෑම වෙලාවක, අප්‍රිකාවෙන් පිට ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව, ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.
2014 සිට 2016 දක්වා වසංගත තත්ත්වයක් නිර්මාණය වුවත්, මෙය ‘ඉබෝලා’ වයිරසයේ ආරම්භය නොවිණි. 1976 දී දකුණු සුඩානයෙන් සහ කොංගෝවෙන් ‘ඉබෝලා’ ආසාදිතයන් හමුවී තිබේ.
“අද වනවන ඉබෝලා වයිරසයේ ප්‍රභේද කිහිපයක් අපට සොයා ගැනීමට හැකි වී තිබෙනවා. 2014 වසරේ සිට 2016 තෙක් බිහිසුණු වසංගත තත්ත්වයක් නිර්මාණය කළ ප්‍රභේදයට වඩා මාරකයි, 1976 වසරේ ප්‍රභේදයට වඩා. ඉදිරියේ දී අපට හමුවනු ඇතැයි විශ්වාස කරන සියලුම ඉබෝලා ප්‍රභේද මාරක වේවි සැකයක් නැහැ.” මෙසේ පවසන්නේ, ඇමෙරිකා එක්සත් ජනපදයේ බොස්ටන් විශ්ව විද්‍යාලයේ ක්ෂුද්‍රජීවී විද්‍යාඥවරියක වන එල්ක් මුහෙල්බර්ගර් ය.
ඉබෝලා වයිරසය ද පැතිර යන්නේ පරිණාමය වෙමිනි. ඉබෝලා නවතම ප්‍රභේදයක් වන්නේ ‘ඉබෝලා රෙස්ටොන්’ ය. මෙය ආසාදිතයන් රෝගී කරන්නේ නැත.
කිසිදු රෝග ලක්ෂණයක් නොමැතිව, ආසාදිතයන් හිටිහැටියේ ඇද වැටී මියයයි.
‘බුන්ඩිබුග්යෝ’ නමින් තවත් ඉබෝලා ප්‍රභේදයක් හඳුනා ගෙන තිබේ. එය ආසාදනය වී මියයන ප්‍රතිශතය සියයට 71 ක් බව පැවැසෙයි.
පසුගිය දිනවල අපට අසන්න ලැබුණේ ‘කොවිඩ් 19’ වයිරසයේ නව ප්‍රභේදයක් එංගලන්තයෙන් පැතිරීම ආරම්භ කළ බවය. මාරක නොවුණත් මෙම නව ප්‍රභේදය, සාමාන්‍ය ‘කොවිඩ් 19’ මෙන් නොව, සියයට 70 කින් සම්ප්‍රෙෂ්ණය වේගවත් බව සොයාගෙන තිබේ. දකුණු අප්‍රිකාවෙන් ද ‘කොවිඩ් 19’ නව ප්‍රභේදයක් සොයා ගන්නා ලදී.
එය ද බෙහෙවින් එංගලන්තයෙන් හමුවුණු ප්‍රභේදයට සමාන බව තහවුරු විය. ඊට අමතරව, අප්‍රිකාවට අයත් නයිජීරියාවෙන් ද ‘කොවිඩ් 19’ විකෘති ප්‍රභේදයක් හමුවුණු නමුත් මෙය එංගලන්තයෙන් සහ දකුණු අප්‍රිකාවෙන් හමුවුණු නව ප්‍රභේදයට හාත්පසින්ම වෙනස් විය.
වයිරස යනු සජීවී දෙයකි. වයිරසයක්, එක් පුද්ගලයකුට බෝ වී, එම පුද්ගලයාගෙන් තවත් පුද්ගලයකුට බෝ වන්නේ වෙනස් වෙමින්. එසේ වෙනස් වෙමින් යද්දී, වයිරස ජානමය වශයෙන් විකෘති වෙයි.
එය එක්තරා ආකාරයකට පරිණාමය වීමකි. ඒ අනුව විකෘති ප්‍රභේද නිර්මාණය වෙයි.
වයිරසයක් අඩපණ කිරීමට එන්නත් හෝ ඔසුවක් හෝ නිර්මාණය කළොත්, වයිරසය එයින් බේරීමට සිය ස්වරූපය වෙනස් කර ගනී. අඩපණ වීමට හෝ මියයෑමට වයිරසය කැමැති නැත.
කෙසේ හෝ දිවි රැක ගැනීමට වෙර දරයි. වයිරසවල ස්වභාවය එය වන අතර, එසේ වූ විට, එම වයිරසය ආසාදනය වැළැක්වීමට නිපදවා ඇති ඖෂධවලින් හෝ එන්නත්වලින් හෝ පලක් නොවෙයි.
ජලභීතිකාව මර්දනයට නිවසේ බලු සුරතලුන් වෙනුවෙන්, එන්නත් හඳුන්වා දීම සිදුවූයේ 1920 වසරේදීය. අද ලෝකයේ සංවර්ධිත රටවල ජලභීතිකාව ගැන අසන්නටවත් ලැබෙන්නේ නැත.
කෙසේ නමුත් අප්‍රිකාවේ සමහර පළාත්වලින් සහ ඉන්දියාවෙන් ද ජලභීතිකා රෝගීන් ගැන වාර්තා වෙයි. ජලභීතිකාවට හේතුව ද මාරක වයිරසයකි.
“මේක එසේ මෙසේ වයිරසයක් නොවේ. සෘජුව හානි කරන්නේ මොළයට. ජලභීතිකාවට එරෙහිව එන්නතක් අප නිපදවා තිබෙනවා. ජලභීතිකාවට එරෙහිව ප්‍රතිදේහ අප සතුව තිබෙනවා. ජලභීතිකාවෙන් පෙළෙන බල්ලකු හෝ වෙනත් සතකු සපා කෑවොත්, ඒ තැනැත්තාට ප්‍රතිකාර ලබා දීම කළ හැකියි” යැයි මුහෙල්බර්ගර් පවසයි. “පිස්සු බල්ලකු ඔබ සපාකෑවොත්, ඔබට නිසි ප්‍රතිකාර නොලැබුනොත්, මරණය නිසැකයි.” විද්‍යාඥවරිය පෙන්වා දෙයි.
නූතන ලෝකයේ වයිරස අතරින් අංක එකේ මාරක වයිරසය ලෙස වෛද්‍යවරුන් සලකන්නේ ඒඩ්ස් ඇති කරන එච්.අයි.වී. වයිරසයයි. එච්.අයි.වී යනු මානව ප්‍රතිශක්ති ඌනතා වයිරසයයි.
එච්.අයි.වී. වයිරස බලපෑම නිසා හටගන්නා රෝගී තත්ත්වය ඒඩ්ස් නැතහොත් 'නතු කරගත් ප්‍රතිශක්ති ඌණතා සහලක්ෂණය' නම් රෝගී තත්ත්වයයි.
“අවිවාදයෙන් පිළිගන්න ඕනෑ. ලොව බොහෝ දෙනකුට මරු කැඳවන වයිරයක් ලෙස එච්.අයි.වී. සැලකිය හැකියි” යැයි ඇමෙරිකාවේ බෝවන රෝග පිටුදැකීමේ සංසදයේ ප්‍රකාශක වෛද්‍ය අමේෂ් ඇඩල්ජා පවසයි. එච්.අයි.වී. වයිරසය මුලින්ම සෙයා ගත්තේ 1980 දශකයේ.
එදා සිට මේ දක්වා මිලියන 32 ක් වයිරසයට බිලි වී අවසන්ය. එච්.අයි.වී. වයිරසය අඩපණ කිරීමට හෝ ඒඩ්ස් මර්දනයට කිසිදු ඔසුවක් මෙතෙක් නිපදවා නැත.
බලාපොරොත්තු තැබිය හැකි ආකාරයේ ඖෂධ කීපයක් අත්හදා බලමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. එපමණක් නොව, එච්.අයි.වී. ආසාදිතයන්ගේ ආයු කාලය වසර කීපයකින් වැඩි කිරීමට සමත් ප්‍රබල වයිරසනාශක ඔසු නිපදවා තිබේ.
ලෝකයේ අඩු සහ මධ්‍ය ආදායම්ලාභී රටවල එච්.අයි.වී පැතිරීම ඉතා වේගවත්ය. අප්‍රිකා රටවල වැඩිහිටියන් 25 දෙනකුගෙන් එක් අයකු එච්.අයි.වී. ආසාදිතයකු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
අද වනවිට ලොව පුරා තුනෙන් දෙකක පිරිසක් එච්.අයි.වී. ආසාදිතයන් ලෙස ජීවත් වන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
වසූරිය ලොවෙන් තුරන් කළ බව නිවේදනය කෙරුණේ 1980 වසරේදීය. එය මානව වර්ගයා, වයිරසයක එරෙහිව කළ සාර්ථක සටනක අවසානය යැයි කීවොත් නිවැරදිය.
ඊට පෙර, වසර දහස් ගණනක් තිස්සේ මානව මර්ගයා වසූරිය සමඟ සටන් වැදුණි. වසූරිය ආසාදනය වූ තිදෙනකුගෙන් එක් අයෙක් මියගියේය. වසූරිය පරදවා පණ බේරා ගැනීමට යම් අයකු සමත් වූයේ නම්, වසූරිය වයිරසයේ අමිහිරි කැළැල් ජීවිත කාලය පුරාවට පැවැතිණි.
සමහරක් දෙනා නොයෙක් රෝගා බාධවලට ලක් වූහ. තවත් සමහරක් අන්ධභාවයට පත්වූහ.
යුරෝපයෙන් පිට මරණ ඉතා වැඩි විය. වයිරසය පැතිරුණේ සංචාරකයන්ගෙනි. ඇමෙරිකාවේ මුල් පදිංචිකරුවන් වූ ස්වදේශීය රතු ඉන්දියානු ගෝත්‍රිකයන්ගෙන් සියයට 90 ක් මියගියේ යුරෝපා දේශගවේෂකයන්, ඇමෙරිකාවට ගෙනා වසූරිය වයිරසයෙනි. විසිවැනි සියවසේ දී පමණක්, මිලියන 300 ක පිරිසක් වසූරිය ආසාදනය වී මියගියහ.
මී උණක් වැනි ‘හන්ටා’ වයිරසය කෙරෙහි වැඩි අවදානයක් යොමු වූයේ, 1993 වසරේ දී ඇමෙරිකාවේ වසංගත තත්ත්වයක් නිර්මාණය වූ බැවිනි. නවාහෝ ස්වදේශීය ඉන්දීය ඇමෙරිකානු තරුණයෙක් සහ ෆෝ කෝනර්ස් පළාතේ පදිංචි වී සිටි ඔහුගේ පෙම්වතිය, ස්වසන අපහසුතා හේතුවෙන් හිටිහැටියේ මියගියහ.
ඔවුන් මියගියේ හන්ටා වයිරසයෙන් බව තහවුරු වෙද්දී, ආසාදිත යුවලගේ නිවසේ සිටි මීයන්ගේ සිරුරුවල වයිරසය තිබී සොයා ගැණින. ඉන්පසු ඇමෙරිකානුවන් 600 දෙනකු හන්ටා වයිරස ආසාදිතයන් බව සොයා ගැණින.
ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීන්ට අනුව, ආසාදිතයන්ගෙන් සියයට 36 ක් ජීවිතක්ෂයට පත් වූහ. මාරක වුවත් ‘හන්ටා’ වයිරසයේ ඇති විශේෂත්වය, එය මීයන්ගේ මලමුත්‍රවලින් මනුෂ්‍යයන්ට ආසාදනය වෙයි. එහෙත්, වයිරසය මනුෂ්‍යයන්ගෙන් මනුෂ්‍යයකුට පැතිරෙන්නේ නැත.
‘හන්ටා’ වයිරසය කොරියන් වයිරසය ලෙස ද හැඳින්වෙයි. ඒ, 1950 වසරේ කොරියන් යුද සමයේ, වයිරස වසංගත තත්ත්වයක් හට ගැනීමය. කොරියන් යුද්ධයට සම්බන්ධ වූ සොල්දාදුවෝ 3,000 කට වැඩි පිරිසක් වයිරස ආසාදිතයෝ වූහ. එයින් සියයට 12 ක් මියගියහ.
‘හන්ටා’ වයිරසය ඇමෙරිකාවේ වසංගත තත්ත්වයක් වෙද්දී, බටහිර වෛද්‍ය විද්‍යාවට එය අලුත් දෙයක් විය. කෙසේ නමුත් නවාහෝ රතු ඉන්දියනුවන් මීයන්ගෙන් බෝ වන මෙම රෝගී තත්ත්වය ගැන දැන සිටි බවත්, ඔවුන් ඒ වෙනුවෙන් සම්ප්‍රදායික ඖෂධ භාවිත කළ බවත් පැවැසෙයි.
සෑම වසරකම, බටහිර රටවල වැසියෝ ඉන්ෆ්ලුවෙන්සාවෙන් පීඩා විඳිති. ඉන්ෆ්ලුවෙන්සාවෙන් මියයන ගණන ද ඉතා වැඩිය. වසරකට ලොව පුරා ඉන්ෆ්ලුවෙන්සාවෙන් සෑම වසරකම, මියයන ගණන 5,00,000 ක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාවල සඳහන් වෙයි.
ඉන්ෆ්ලුවෙන්සාව බිහිසුණු වන්නේ වේගයෙන් සම්ප්‍රේෂණය වන වයිරස ප්‍රභේදයක් කරළියට පැමිණෙද්දීය. ඇතැම් වයිරස ප්‍රභේද අනෙක් ඒවාට වඩා මාරක වෙයි. සෑම වසරක බටහිර රටවල වැසියන් ඉන්ෆ්ලුවෙන්සාව වෙනුවෙන් එන්නත් ලබා ගනී. ඒ, වයිරසයෙන් ආරක්ෂා වීමටය.
‘කොවිඩ් 19’ වයිරසය ලොව කැලඹීමට පෙර, ලොව කැලඹූ බිහිසුණු මාරක වයිරසය වූයේ ‘ස්පාඤ්ඤ උණ’ ය. මෙය ද ඉන්ෆ්ලුවෙන්සා වයිරසයකි. 1918 වසරේ හටගත් ස්පාඤ්ඤ උණ වයිරසය ලොව රටවල් රැසකට පැතිර ගියේය. ලෝක ජනගහනයෙන් සියයට 40 ක් රෝගී වූ අතර, මිලියන 50 ක් ජීවිතක්ෂයට පත්වූහ.
ස්පාඤ්ඤ උණ යන නමින් හැඳින්වුවත් මෙම වයිරසයේ ආරම්භය සිදුවූයේ ස්පාඤ්ඤයෙන් නොව ඇමෙරිකාවෙන් බව පැවැසෙයි.
අප කවුරුත් හොඳින් දන්නා, නිසි ප්‍රතිකර්මයක් හෝ ඔසුවක් නැති ඩෙංගු වයිරසය ගැන පළමුවෙන්ම අසන්න ලැබී ඇත්තේ 1950 දශකයේය. ඒ, තායිලන්තය සහ පිලිපීනයෙනි. කෙසේ නමුත් මදුරුවන්ගෙන් බෝ වන ඩෙංගු වයිරසය ඊට වඩා පැරණිය.
අද ලෝක ජනගහනයෙන් සියයට 40 ක් ජීවත් වන්නේ ඩෙංගු අවදානම මැදය. වර්ෂා කාලයත් සමඟ නිවර්තන සහ උප නිවර්තන කලාපීය රටවල වැසියන්ට ඩෙංගු වයිරසය හිසරදයක් වෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සෑම වසරකම ඩෙංගු රෝගයට ගොදුරු වන ගණන මිලියන 100 කි.
මරණ කාලයෙන් කාලයට අඩු වැඩි වෙයි. ඉබෝලා මෙන්ම රක්තපාත තත්ත්වයක් ඇති කරයි. ඩෙංගු යනු සැබැවින්ම නූතන මානව වර්ගයා මුහුණ දෙන බිහිසුණු සතුරෙකි. පසුගිය 2019 වසරේදී, ඩෙංගු වයිරසය ආසාදනය වළක්වන එන්නතකට ඇමෙරිකන් ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය හිමිවිය.
එන්නත අවුරුදු 9 ත් 16 අතරේ, ඩෙංගු අවදානම් කලාපවල ජීවත් වන දරුවන්ට ලබා දීම ද ඇරැඹිණි. මෙම එන්නත සාර්ථක එක් වරක් ඩෙංගු වයිරසය ආසාදනය වී ඇති නම් පමණි. ඩෙංගු ආසාදනය වී නැති නම්, එන්නතෙන් සිදුවන හානිය, ඩෙංගු ආසාදනය වනවාට වඩා දරුණු බව පැවැසෙයි.
අවසන් වශයෙන් මිනිසාට තර්ජනයක් වන තවත් වයිරසයක් වන්නේ ‘රෝටා’ වයිරසයයි.
මේ වනවිට ‘රෝටා’ වයිරසයෙන් දරුවන් බේරා ගැනීමට එන්නත් දෙකක් නිපදවා තිබේ. ‘රෝටා’ වයිරසයේ බලපෑම වැඩි ළදරුවන්ට සහ කුඩා දරුවන්ටය. වයිරසයේ සම්ප්‍රේෂණ හැකියාව ද ඉතා වැඩිය. කෙල සහ හොටු බිඳිති මාර්ගයෙන් පැතිරේ.
ධනවත් රටවල එන්නත් පැවැතියත්, සංවර්ධිත රටවල මාරක වයිරසයක් ලෙස ‘රෝටා’ සැලකෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, අවුරුදු 5 ට අඩු දරුවන් 4,53,000 ක් 2008 වසරේ දී ‘රෝටා’ වයිරසයට බිලිවූහ
‘ලයිව් සයන්ස්’ ඇසුරිනි