ට්‍රම්ප්ගේ වියරුව - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 7, 2021

ට්‍රම්ප්ගේ වියරුව

ඇමෙරිකාවට කළු පැල්ලමක් එක් කළ ට්‍රම්ප්ගේ බල වියරුව 

ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන්මල්කඩ ඇමෙරිකාවය. ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රජාතන්ත්‍රවාදය දෙදරායෑම අපේ ඇස්පනාපිට සිදුවිය. 

ඒ, පසුගිය නොවැම්බරයේ පැවැත්වුණු ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින්, සාමකාමී බලහුවමාරුවකට අකමැත්ත පළ කරන වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ‘උසිගැන්වීම්’ මැද ඔහුගේ ආධාරකරුවන් දහස් ගණනක්, ඇමෙරිකන් කැපිටල් ගොඩනැගිල්ල වටලමින්, ඊට කඩා වදිමින්, එහි පාලනය සියතට ගැනීමට උත්සාහ දැරීමය. 

ඇමෙරිකන් ජනපති ට්‍රම්ප් සාමකාමී බලහුවමාරුවකට අකමැති වීමත් ජනතාව උසිගැන්වීමත් ලෝක නායකයන් බොහෝ දෙනකුගේ පිළිකුලට හේතුවක් විය. 

කැපිටල් හිල් ගොඩනැගිල්ලට බලෙන් ඇතුළු වී කොංග්‍රස් මණ්ඩලයේ පාලනය සියතට ගැනීමට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් උත්සාහ ගැනීමත් සමඟ දරුණු ගැටුම් හටගත්තේය.  

වොෂින්ටන් පොලිස් නිලධාරීන්ගෙන් ඔවුන්ට බාධා එල්ල විය. එහිදී විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට පොලිසිය පියවර ගත්තේය. 
පොලිස් වෙඩි පහරින් කලහකාරීව හැසිරුණු සිවු දෙනකු ජීවිතක්ෂයට පත් වුණු බව ද පැවැසෙයි. එයින් එක් අයකු කාන්තාවකි. 58 ක් පොලිස් අත්අඩංගුවට පත් වූහ.

ඇමෙරිකාවේ අගනුවර වොෂින්ටනයයි. විධායකය, ව්‍යවස්ථාදායකය, සහ අධිකරණයේ කේන්ද්‍රස්ථානය වොෂින්ටනයයි. 

ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය, එනම් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය රැස්වන ගොඩනැගිල්ල එසේත් නැතිනම් ඇමෙරිකන් පාර්ලිමේන්තුව පිහිටා ඇත්තේ කැපිටල් හිල් හි ය. 

ඇමෙරිකානු ජනාධිපතිවරණය පැවැත්වූයේ පසුගිය නොවැම්බර් 3 වැනිදාය. එය ආන්දෝලනාත්මක එකක් විය. 

ඇමෙරිකන් ව්‍යවස්ථාවට අනුව, ජනාධිපතිවරයකුට ධුර කාල දෙකක් හිමිවෙයි. ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය ආරම්භ වූයේ 2016 ජනාධිපතිවරණයෙන් අනපේක්ෂිත ආකාරයට ජය ලැබීමෙනි.

රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින්, ඩොනල්ඞ් ට්‍රම්ප් සිය දෙවැනි සහ අවසන් ධුර කාලය අපේක්ෂාවෙන්, 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු අතර, ඔහුට අභියෝගයක් එල්ල වූයේ ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන්ගෙනි. 

ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය පැහැදිලි වූ නමුත් ට්‍රම්ප් දිගින් දිගටම පරාජය ප්‍රතික්ෂේප කරන්න විය. ඒ ජනාධිපතිවරණය දූෂිත බවත් හොර ඡන්ද දැමීමක් සිදුවුණු බවත් පෙන්වා දෙමිනි. සාම්ප්‍රදායික රිපබ්ලිකන් පක්ෂ බළකොටු රැසක් ඩිමොක්‍රටික් පක්ෂය සතු විය. 

ට්‍රම්ප් අධිකරණ ක්‍රියා මාර්ගයක යොමු විය. ජනපද කීපයක ඡන්ද යළි අතින් ගණන් කිරීමට තීන්දු කෙරුණි. එයින් එකක් වන්නේ ඇට්ලැන්ටා ජනපදයේ ජෝර්ජියා නුවර ඡන්ද ගණන් කිරීමය. 

නැවත සිදුවුණු ජෝර්ජියා ඡන්ද ගණන් කිරීමෙන් ට්‍රම්ප්ට අවාසියක් වූ අතර, ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන්ගේ ජය තවත් තහවුරු විය.

ජෝර්ජියා ජනපදයේ ඡන්ද ගණන් කිරීම යළිත් සිදුවුණු අවස්ථාවේදීල ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන අපේක්ෂකයන් දෙදෙනකු වන රැපීල් වානොක් සහ ජොන් ඕසොෆ්ට ජයග්‍රහණය හිමිවිය. 

ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට අමතරව ජනපද මට්ටමින් කොංග්‍රස් (පාර්ලිමේන්තු) නියෝජිතයන් තෝරා ගැනීමක් ද සිදුවෙයි. 

රැපීල් වානොක් සහ ජොන් ඕසොෆ් ට තේරී පත් වූයේ සෙනෙට් මණ්ඩලයටය.
33 හැවිරිදි ඕසොෆ්ල ඇමෙරිකන් සෙනෙට් මණ්ඩලයට තේරී පත් වුණු පළමු යුදෙව් ජාතික සෙනෙට් මන්ත්‍රීවරයාය. 51 හැවිරිදි වානොක් පාදිලිවරයෙකි.

ජනාධිපති ධුර අපේක්ෂකයාට ජය හිමිවන්නේ 'ඡන්ද ගණ’ ඡන්ද ක්‍රමයටය. ඉලෙක්ට්‍රෝරල් කොලේජ් යනුවෙන් හැඳින්වෙන්නේ මෙයයි. 'ඡන්ද ගණ’ ඡන්ද යනු ජනපද මට්ටමින් ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ නියෝජිතයන්ය. 

නියෝජිතයන්ගේ මනාපය පක්ෂයේ ජනපති ධුර අපේක්ෂකයාට හිමිවන අතරල වැඩි ඡන්ද හිමිවන අපේක්ෂකයාට ජනාධිපති ධුරයට පත් වෙයි.ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය (පාර්ලිමේන්තුව) නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සහ සෙනෙට් මණ්ඩලයකින් සමන්විතය. 

නොවැම්බර් 3 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන්ගේ ජය සනාථ කිරීමට කොංග්‍රස් මණ්ඩලය (පාර්ලිමේන්තුව) රැස්විය. ඒ ඡන්ද විමසුමකට සම්බන්ධ වෙමිණි. 
ට්‍රම්ප් සිය ආධාරකරුවන් අමතමින්, ජනාධිපතිවරණය දූෂිත බවත්, ඇමෙරිකන් මාධ්‍ය ඒක පාර්ශ්වීය පුවත් පළ කරන බවටත් චෝදනා නගමින්...

'ඇමෙරිකාව බේරා ගන්න පෙළ ගැසෙනු' යැයි ට්‍රම්ප් කළ ඉල්ලීමකට අනුව, තවත් පිරිසක් ද වොෂින්ටන් අගනුවරට රැස් කන්න වූහ. පසුව කලහ කරන්න පටන් ගත්තේ ට්‍රම්ප්ගේ මෙම ආධාරකරුවන්ය. දස දහස් ගණනක් දෙනා ට්‍රම්ප් වටා එක් රොක් වූහ. ඔවුන්ගෙන් බොහෝ දෙනා සාම්ප්‍රදායික සුදු ඇමෙරිකානුවන්ය. දැඩි මතධාරී ඇමෙරිකානුවන්ය. ට්‍රම්ප්ගේ වචනවලින් කීවොත්, සැබෑ ඇමෙරිකානු දේශප්‍රේමීන්ය.
“ඇමෙරිකන් කොංග්‍රසය දුර්වලයි. දුර්වල කොංග්‍රසයකින් ඇමෙරිකානුවන්ට සෙතක් වෙන්නේ නැහැ. ඇමෙරිකන් අප එකමුතු වෙන්න ඕනෑ. එයයි අපේ ශක්තිය. මාගේ ජය තහවුරුයි. දහස් ගණනින් ඇමෙරිකානුවන් මෙසේ අද එක් රොක් වී සිටින්නේ ඒ නිසයි. නිර්භීත සෙනෙට් සභිකයන්, කොංග්‍රස් සභිකයන් බොහෝ දෙනකු අපේ සහායට සිටිනවා. එසේ නොකරන බියගුල්ලන් පවා සිටිනවා.” යැයි ට්‍රම්ප් රැස්ව සිටි එම පිරිස හමුවේ කළ ප්‍රකාශය, ගින්නට පිදුරු දැමීමක් විය. 
විරෝධතාකරුවන් පාර්ලිමේන්තුවට කඩැ වැදුණු අවස්ථාවේ ආරක්ෂක අංශ නිලධාරීන් ගිනි අවි අමෝරා ගනිමින්, මහජන නියෝජිතයන් ආරක්ෂා කරමින්...

විරෝධතාකරුවෝ සෙමින් සෙමින් කැපිටල්හිල් දෙසට ඇදෙන්න වූහ. ඒ, අතරතුරේ, ට්‍රම්ප් දිගට හරහයට ට්විටර් පණිවුඩ නිකුත් කරන්න වූයේ කොංග්‍රසය විවේචනය කරමිනි. විරෝධතාකරුවන් කොංග්‍රස් මණ්ඩලයේ පාලනය තමන් අතට ගැනීමට උත්සාහ දැරුවේ එම අවස්ථාවේදීය.

විරෝධතා උත්සන්න වෙද්දී, ට්‍රම්ප් හිතවාදී විරෝධතාකරුවන් තම පොලිස් නිලධාරීන්ට රසායනික දියරවලින් පහර දෙන්න වූ බව වොෂින්ටන් පොලිස්පති රොබර්ට් කොන්තේ පැවැසීය. 

කෙසේ හෝ අවසානයේ වෙන විකල්පයක් නොවූ බැවින්, වොෂින්ටන් අගනුවරට ඇඳිරි නීතිය පනවා ලොක්ඩවුන් කෙරුණි. ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම තාවකාලිකව නවතා දැමුණි. 

විරෝධතා ආරම්භ වී, ඒවා උත්සන්න වී, පැය දෙකක් ගත වෙද්දී, ජනපති ට්‍රම්ප්ට ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂයෙන් පමණක් නොව, ඔහුගේ රිපබ්ලිකන් පක්ෂයෙන් ද අප්‍රසාදයක් එල්ල වන්න පටන් ගත්තේය. ට්‍රම්ප් යළිත් වරක් අවසන් වරට, සිය ආධාරකරුවන් ඇමතුවේය. 
‘සාමකාමීව හැසිරෙන්න. කලහ කරන්න එපා. පොලිසියට හරස් වෙන්න එපා. පොලිස් නිලධාරීන් සතුරන් නොවේ. ඔවුන් ඉන්නේ අපේ පැත්තේ. දැන් සාමකාමීව හැමෝම ආපසු ගෙවල්වලට යන්න’ ට්‍රම්ප් අවසන් වශයෙන් පැවැසුවේ එයයි.

විරෝධතාකරුවන්ගේ බාධා මැද යළිත් වරක් පාර්ලිමේන්තුව රැස්වුණු අතර එහිදී ජනාධිපතිවරණයෙන් ජයගත් ජෝ බයිඩන්, ඇමෙරිකාවේ මීළඟ ජනාධිපති ලෙසත්, කමලා හැරිස් උප ජනාධිපති ලෙසත් සනාථ කළේය.

කැපිටල් ගොඩනැගිල්ලේ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරීන් කුපිත වූ ට්‍රම්ප් ආධාරකරුවන් හමුවේ අසරණ වන අයුරු ඇමෙරිකන් පුවත් නාළිකා ඔස්සේ දකින්න ලැබුණි. 
ට්‍රම්ප්ගේ දෙවැනියා මෙන්ම වත්මන් උප ජනාධිපතිවරයා ද වන මයික් පෙන්ස්, එම අවස්ථාවේ කොංග්‍රසයේ සිටි අතර, ඔහු ද බයිඩන් නව ජනාධිපතිවරයා බව පිළිගත්තේය. ඒ, ට්‍රම්ප්ගේ උදහසට ලක් වෙමිනි.

(රොයිටර්)

Classified_Ad

Classified_Ad_News_Bottom