ට්‍රම්ප් හීලෑ වෙයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 8, 2021

ට්‍රම්ප් හීලෑ වෙයි

2016 වසරේ පැවැති ඇමෙරිකන් ජනාධිපතිවරණයේදී කවුරුත් මවිත කරමින්, රිපබ්ලිකන් ජනපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් විය. 

ඇමෙරිකන් දේශපාලන ඉතිහාසයේ එදා මෙදා ට්‍රම්ප් වැනි ජනාධිපතිවරයකු බිහි වී නැත. ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත් වීම ඇමෙරිකානුවන්ට පමණක් නොව ලොව අප කාටත් අපූරු අලුත් අත්දැකීමක් විය. 

ට්‍රම්ප් 'පිස්සු නැටුවා' යැයි කියන්නේ ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පමණක් නොවෙයි. ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයෙන් පවා ට්‍රම්ප්ට විවේචන එල්ල වී තිබේ. 'ට්‍රම්ප් නටපු ලොකුම පිස්සුව' පසුගිය 6 වැනිදා ඇමෙරිකානුවන්ට පමණක් නොව අප කාටත් දකින්න ලැබුණි.

ඒ බදාදා දිනය ඇමෙරිකානුවන් හඳුන්වන්නේ 'කළු බදාදා' යනුවෙනි.

අවසානයේ ට්‍රම්ප් හීලෑ විය. 
ඇමෙරිකාවේ මීළඟ ජනාධිපති ලෙස ප්‍රතිවාදී ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් පිළිගන්නා බව, රිපබ්ලිකන් ජනාධිපති ඩොනල්ඩ් සිය ට්විටර් ගිණුම ඔස්සේ වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමිනි.

ජෝ බයිඩන් ට බලය පවරා දීම සාමකාමීව සිදු කිරීමට තමන් පියවර ගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් කිසිදු බාධාවක් නොකරන බවත් ට්‍රම්ප් ප්‍රතිඥා දුන්නේය.  

තමන්ට සහාය දක්වමින්, වොෂින්ටන් අගනුවරට එක්රොක් වුණු තම ආධාරකරුවන්ට ස්තුති කිරීමට ට්‍රම්ප් පියවර ගත් නමුත්, කැපිටල් හිල් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදුණු විරෝධතාකරුවන් සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කළේය.

ඇමෙරිකාවේ කොංග්‍රස් මණ්ඩලය (පාර්ලිමේන්තුව) නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සහ සෙනෙට් මණ්ඩලයකින් සමන්විතය. පසුගිය 6 වැනි බදාදා කොංග්‍රස් මණ්ඩලය රැස්වූයේ පසුගිය නොවැම්බර් 3 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ජෝ බයිඩන්ට ලැබුණු ජය තහවුරු කිරීමටය. 

ට්‍රම්ප් හිතවාදී විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වූයේ එම කොංග්‍රස් මණ්ඩල සැසියටය. කෙසේ නමුත් ප්‍රමාදයකින් පසු එම සැසිය නැවතත් පැවැත්විණි. එහිදී ඇමෙරිකාවේ මීළඟ ජනාධිපති ලෙස ජෝ බයිඩන් ද උප ජනාධිපතිනිය ලෙස කමලා හැරිස් ද පත් කෙරුණි. 

ජනාධිපති ට්‍රම්ප්ට සහාය දක්වමින්, වොෂින්ටන් අගනුවර රැස්වුණු දහස් ගණනක් විරෝධතාකරුවන් සුදු අන්තවාදීන් බව පැවැසෙයි. කලහකරමින්, ප්‍රචණ්ඩකාරීව හැසිරුණු විරෝධතාකරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීමට පොලිසිය මේ වනවිටත් විමර්ශන ආරම්භ කර තිබේ. 

පොලිසිය සමඟ පැවැති දරුණු ගැටුම් හේතුවෙන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. පොලිස් අත්අඩංගුවට පත් වුණු ගණන 70 කට ආසන්නය.

පසුගිය 6 වැනිදා වොෂින්ටන් අගනුවර විරෝධතා උත්සන්න වූයේ ට්‍රම්ප්ගේ ට්විටර් පණිවුඩ හේතුවෙනි. ඒ සමඟ ට්විටර් සහ ෆේස්බුක් ගිණුම් අත්හිටුවීමට පියවර ගත්තේය.

ට්විටර් සමාගම, ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම යළි සක්‍රීය කිරීමට පියවර ගෙන තිබුණේ විරෝධතා සියල්ල අවසන් වීමෙන් පසුවය. 

කෙසේ නමුත් ට්‍රම්ප්ගේ ෆේස්බුක් ගිණුම දිගටම අක්‍රිය කර තැබෙනු ඇතැයි ෆේස්බුක් සමාගමේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් පවසා තිබේ.

ට්‍රම්ප් ට්විටර් පණිවුඩයෙන් කියූ දේ...

‘මා පළමුවෙන් කියන්න කැමතියි, ඇමෙරිකා එක්සත් ජනපද අගනුවරට එල්ල වුණු ඒ කුරිරු ප්‍රහාරය කිසිසේත් අනුමත කරන්නේ නැහැ. ඇමෙරිකානුවන් සියලු දෙනා මෙන්ම එම ප්‍රචණ්ඩ ක්‍රියා මා හෙලා දකිනවා. 

කලහකාරීන් මර්දනයට මා වහාම පොලිසියත් හමුදා බළඇණියකුත් යෙදෙව්වා. කැපිටල් හිල් ගොඩනැගිල්ලට කඩා වැදුණු කලහකාරීන් ඉවත් කිරීමට උපදෙස් දුන්නා.

ලෝක බලවතා ලෙස ඇමෙරිකාව, සැමවිටම නීතිගරුක රටක් බව ලෝකයාට පෙන්විය යුතුයි. 

කොංග්‍රස් සැසියට කඩා වැදීමට තැත් කළ විරෝධතාකරුවන් නිසා ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය දෙදරා ගියා. 

ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින්, ප්‍රචණ්ඩ ක්‍රියාවල නියැලුණු කාටත් මා කියන්න කැමතියි. ඔබ ඇමෙරිකානුවන් නොවෙයි. ඔබ නියෝජනය කරන්නේ ඇමෙරිකාව නොවෙයි. නීතිය කඩ කළ සැමට දඬුවම් ලැබේවි.අප ආන්දෝලනාත්මක ඡන්දයකට මුහුණ දුන්නා. ඒක හැඟීම්බර මැතිවරණයක්. 

ඒත් දැන් සියල්ල සන්සුන් විය යුතුයි. සාමකාමී විය යුතුයි. ඇමෙරිකාවේ කටයුතු සුපුරුදු පරිදි කරගෙන යා යුතුයි. 

මා ඡන්ද ප්‍රතිඵලය අභියෝගයට ලක් කළ බව ඇත්ත. ඒ, එහි අසාධාරණයක් දුටු නිසයි. එවැනි අක්‍රමිකතා, දූෂණ ඉදිරි මැතිවරණවලදී සිදු නොවනු දැකීමටයි. 

මා ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න උත්සාහ ගත්තා.දැන් කොංග්‍රසය, ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයන් සනාථ කර අවසන්. නව පරිපාලනය ජනවාරි 20 වැනිදා දිවුරුම් දෙනවා. මට දැන් පැවැරී තියෙන්නේ සාමකාමීව, කිසිදු බාධාවකින් තොරව බලය පවරා දීමයි. එය මා කරනවා.

2020 අභියෝග පිරුණු එකක්. අපි කවුරුත් අභියෝගවලට මුහුණ දුන්නා. වසංගතයකින් බැට කන්න සිදුවුණා. රැකියා නොමැතිව මිලියන ගණනක් නිවෙස්වලට කොටුවුණා. ආර්ථිකය කඩා වැටුණා. ජීවිත අහිමි වුණා.

වසංගතය හමුවේ, රට ගොඩනැගීමට සහ ආර්ථිකය ශක්තිමත් කිරීමට පක්ෂ භේදයකින් තොරව අප එකමුතු වෙන්න ඕනෑ. හැමෝම එක් පවුලක් විදියට ඉදිරියට යන්න ඕනෑ. 

එකිනෙකා කෙරෙහි විශ්වාසය නැති කර ගන්න අවශ්‍ය නැහැ.

මා මගේ පුරවැසියන්ට කියන්න කැමතියි ඔබේ ජනපති වීමට මට අවස්ථාවක් ලැබීම මට ලොකු ගෞරවයක්. 

මාගේ ආධාරකරුවන්ට මා කියන්න කැමතියි, දන්නවා ඔබ කවුරුත් ඉන්නේ කනගාටුවෙන්. ඒත් මේක අලුත් ආරම්භයක්. 

ස්තුතියි. 

දෙවි පිහිටයි. ඇමෙරිකාවට දෙවි පිහිටයි.'

ඇමෙරිකන් පුවත් සේවා ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom