
කලහ කළේ දේශීය ත්‍රස්තවාදියෝ - ජෝ බයිඩන්
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උසිගැන්වීමෙන්, වොෂින්ටන් අගනුවර, කැපිටල් හිල් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට, කඩා වැදී කලහ කළේ ‘දේශීය ත්‍රස්තවාදීන්’ යැයි ඇමෙරිකාවේ මීළඟ ජනාධිපති ලෙස තේරී පත් වී සිටින ජෝ බයිඩන් චෝදනා කරයි.
ඇමෙරිකානුවන්ට මේ අයුරින් ‘ත්‍රස්තවාදීන්’ යැයි චෝදනාවක් එල්ල වූයේ පළමු වතාවටය. ට්‍රම්ප් හිතවාදීන් ලෙස කලහ කළ එම පිරිස සැබැවින්ම ඇමෙරිකාවේ සතුරන් බවත්, ඔවුන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් ඇමෙරිකාවට ‘කළු පැල්ලමක්’ එකතු වුණු බවත් ජෝ බයිඩන් පැහැදිලි කර තිබේ.
බයිඩන් මෙසේ පැහැදිලි කළේ, ඔහුගේ තහවුරු වීමත්, වත්මන් ජනපති ට්‍රම්ප් ඔහුට සාමකාමී ලෙස බලය පැවැරීමට කැමැත්ත පළ කිරීමත් සමඟය. ජනාධිපති ට්‍රම්ප්, සිය හිතවතුන් තනතුරුවලට පත් කර ගැනීම සහ රජයේ නියෝජිතයන්ට බලපෑම් කිරීම තරයේ හෙලා දකින බව බයිඩන් වැඩි දුරටත් පැවැසුවේය.
ඇමෙරිකාවේ මීළඟ ජනාධිපති ලෙස බයිඩන්ට කොංග්‍රසයේ අනුමැතිය හිමිවීමෙන් පසු ඔහු ජාතිය ඇමැතූ පළමු අවස්ථාව මෙය විය.
‘අපට දකින්න ලැබුණේ මහ පිළිකුල් සහගත සිදුවීමක්. ඒක විරෝධතාවක් නොවෙයි. මහ අවුල් ජාලයක්. ද්වේශසහගත අන්දමින් ප්‍රචණ්ඩකාරී හැසිරීමක්. පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදුණේ විරෝධතාකරුවෝ නොවෙයි. ඔවුන් ත්‍රස්තවාදියෝ. දේශීය ත්‍රස්තවාදියෝ’ යැයි ජෝ බයිඩන් පැවැසුවේය.

බයිඩන් මෙසේ පැවැසුවේ ඩෙලවෙයාර් ජනපදයේ වෙල්මින්ටන් නගරයේ දී විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මේ අතර, වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිට තිබී බෝම්බ දෙකක් සොයා ගැනීමට පොලිස් නිලධාරීන් සමත් විය. මෙම බෝම්බ ‘පයිප්ප’ බෝම්බ යැයි ද පොලිසිය පවසයි.
පයිප්ප බෝම්බයක් යනු කුඩා පයිප්ප කොටසක පුපුරන ද්‍රව්‍ය අටවා සකසන බෝම්බය. මෙවැනි බෝම්බ නිවසේ දී පවා ඇමෝනියම් නයිට්රේට් වැනි රසායනික පොහොර භාවිතයට ගනිමින් නිපදවීම කළ හැකි යැයි බෝම්බ විශේෂඥයෝ පවසති.
කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිට තිබී පයිප්ප බෝම්බ බෝම්බ විශේෂඥයන් විසින් නිෂ්ක්‍රීය කර රැගෙන ගිය බව ද වොෂින්ටන් පොලිසිය කියයි.
ඇමෙරිකාවේ කොංග්‍රස් මණ්ඩලය එසේත් නැතිනම් පාර්ලිමේන්තුව පිහිටා ඇත්තේ මෙම කැපිටල් ගොඩනැලිලේය.
වත්මන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, පසුගිය නොවැම්බර් 3 ජනාධිපතිවරයෙන් ලැබූ පරාජය ප්‍රතික්ෂේප කරද්දී, ඔහුගේ උසි ගැන්වීමෙන්, ඔහුගේ ආධාරකරුවෝ කැපිටල් හිල් ගොඩනැගිල්ලට කඩා වැදී එය අත්පත් කර ගැනීමට කටයුතු කළහ.

කැපිටල් හිල් ගොඩනැගිල්ලට කඩා වැදී, කලහ කරමින්, පොලිසිය සමඟ ගැටුම් ඇති කරගත් එම සුදු අන්තවාදී විරෝධතාකරුවන් පයිප්ප බෝම්බ සහ රසායනික දියර බෝම්බ රැගෙන විත් තිබුණි.
වොෂින්ටන් පොලිස් නිලධාරීන්ට හමුවී, පසුව බෝම්බ නිෂ්ක්‍රීය අංශ නිලධාරීන් විසින් බාර ගනු ලැබූ පයිප්ප බෝම්බ එසේ රැගෙන ආ ඒවාය.
(ඇමෙරිකන් පුවත් සේවා)