කමලා හැරිස් සාරියෙන් සැරසේවිද? - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 17, 2021

කමලා හැරිස් සාරියෙන් සැරසේවිද?


ඇමෙරිකා එක්සත් ජනපදයේ තේරී පත්වූ උප ජනාධිපති කමලා හැරිස් ලබන 20 වැනිදා පැවැත්වීමට නියමිත දිවුරුම් දීමේ උත්සවයට සිය ඉන්දීය උරුමය සිහිපත් කරමින් සාරියකින් සැරැසී පැමිණෙනු ඇත්දැයි යන්න සම්බන්ධයෙන් බොහෝ දෙනකුගේ අවධානය යොමු වී තිබේ. 

ඇමෙරිකා එක්සත් ජනපදයේ තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් එරට 46 වැනි ජනාධිපතිවරයා ලෙසත් තේරී පත්වූ උප ජනාධිපති කමලා හැරිස් එරට 49 වැනි උප ජනාධිපතිවරයා ලෙසත් දිවුරුම් දීමේ උත්සවය වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ලේ දී ලබන 20 වැනිදා පැවැත්වීමට නියමිතය. 

වොෂින්ටන් නුවර සහ කැපිටල් ගොඩනැගිල්ලේ පසුගියදා ඇති වූ තත්ත්වය නිසා ආරක්ෂාව වැඩි කිරීමට ද එරට බලධාරීන් පියවර ගෙන ඇත. 

ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති ධුරයට පත් පළමු කාන්තාව වන කමලා හැරිස් එම ධුරයට පත් පළමු කළු ජාතික, පළමු ඇමෙරිකානු-අප්‍රිකානු සම්භවයක් ඇත්තිය, පළමු ඇමෙරිකානු-ආසියානු සම්භවයක් ඇත්තිය මෙන්ම දකුණු ආසියානු සම්භවයක් ඇති පළමු තැනැත්තිය ද වන්නීය. 
ඇය සිය ඉන්දීය සහ දකුණු ආසියානු උරුමය සිහිපත් කරමින් සාරියකින් සැරැසෙනු ඇත්ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට ඇමෙරිකානු මාධ්‍ය මෙන්ම එරට බොහෝ පිරිසක් අතරේ විශේෂයෙන්ම ආසියානු ඇමෙරිකානුවන් අතරේ කතාබහට ලක්ව තිබේ. 

ඇමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා දිවුරුම් දෙන උත්සවය දෙස මුළු ලෝකයම බලා සිටීමත් එය ජාත්‍යන්තර ඉසව්වක් වීමත් යන කරුණු නිසා මේ කෙරෙහි වැඩි අවධානයක් යොමු වී තිබේ. 

කමලා හැරිස් සාරියකින් සැරැසී උත්සවයට සහභාගී වුවහොත් බයිඩන්-හැරිස් පරිපාලනය ඇමෙරිකාවට නායකත්වය දෙන ආකාරය සහ ඔවුන් සුළු ජාතීන් නියෝජනය කරන ආකාරය සම්බන්ධයෙන් ලබාදෙන බලවත් පණිවුඩයක් සහ සංඥාවක් වනු ඇතැයි ජාත්‍යන්තර විශ්ලේෂකයෝ අදහස් පළ කරති. 

මේ අතර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් සාරිය අඳින්නේ දැයි ආසියානු ඇමෙරිකානු කණ්ඩායමක් 2019 පැවැති ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ අතරතුරදී කමලා හැරිසන්ගෙන් විමසීය. නෙවාඩා හි පැවැති ඉසව්වකදී 2019 වසරේ දී කමලා හැරිස්ට මෙම ප්‍රශ්නය ඉදිරිපත් විය. 

 ‘‘අපි මුලින් දිනලා ඉමු’’ යැයි සිනහා සෙමින් කමලා හැරිස් ඊට පිළිතුරු දුන්නාය. 

‘‘අපේ අම්මා අපි හැදුවේ අපේ සංස්කෘතික පසුබිම අගය කරමින් සහ ඒ අභිමානයෙන්. අපිට ඒ ගැන ලොකු අගයක් ඇති කළා. අපේ අග නම කොහොම කිව්වත් අපි හැමෝම අපේ උත්සවවලට සහභාගී වෙනවා. එය තමයි ජාතියක් විදියට අපි කවුද කියන එකේ ලස්සන’’ යැයි කමලා හැරිස් කීවාය.

සී.එන්.එන්.

Classified_Ad

Classified_Ad_News_Bottom