උතුරු ජපානයට ඔබ්බෙන් සාගර පතුළේ ගිලිණු නැව්වල නටබුන් අතර දකින්න ලැබෙන්නේ මූදු පතුළේ වනාන්තරයකි. කොළ සහ දුඹුරු පැහැයෙන් යුත් ජලජ ශාකවලින් පිරුණු මෙම වනාන්තරය අඳුරුය. ගුප්ත පෙනුමක් දකින්න ලැබේ.
මෙම සාගර වනාන්තරය, නොයෙක් නොයෙක් අපූරු, අසාමාන්‍ය පමණක් නොව වර්ණවත් මසුන්ගේ නිවහනය. සාගරයේ උණුසුම සහ සීතල ද වෙනස් වෙයි.
සාගරයේ ද සෘතු භේද දකින්න ලැබේ. මේ මුහුදු වනාන්තරය ආශ්රිත පදිංචිකරුවන් බොහෝ දෙනෙක් ගිම්හානය අපේක්ෂාවෙන් සිටිති.
ගිම්හානය යනු ඇතැමුන්ට වර්ගයා බෝ කිරීමේ කාලයයි.
අඳුරු මෙන්ම ගුප්ත මුහුදු වනාන්තරයේ ගිලුණු නැව්වල සුන්බුන් සහ කුහර අතරින් සෙමින් සෙමින් ඇදෙන දැවැන්තයෙක්. ඌ ප්‍රමාණයෙන් විශාල පිළිකුල දනවන මත්ස්‍යයෙක්.
මේ මත්ස්‍යයා හැඳින්වෙන්නේ ‘කොබුඩායි’ යන නමිනි. සත්ව විද්‍යාත්මක නාමය ‘සෙමිකොසිපිස් රෙටිකියුලේටස්’ ය. මෙම මත්ස්‍යයා අයත් වන්නේ ‘ව්රාස්’ මත්ස්‍ය පවුලටය. ‘ව්රාස්’ මසුන් සිංහලෙන් හැඳින්වෙන්නේ ‘රැස් ගිරවා’ යනුවෙනි.
‘කොබුඩායි’ ආසියාවට, පැසිෆික් සාගරයට, කොරියානු අර්ධද්වීපයට ආවේණිකය. ‘කොබුඩායි’ පිරිමි මාළුවා ගැහැනු මාළුවාට වඩා ප්‍රමාණයෙන් විශාලයි. රිදී අළු පැහැතියි. ගැහැනු සත්වයා අඳුරු අළු පැහැයක් ගනී. පිරිමි කොබුඩායිට ඇත්තේ අප්‍රසන්න පෙනුමකි. හිසේ විශාල මොල්ලියකි.
මේ මාළුවාට නිකටක් ඇත. එය විශාලය. ඉදිරියට නෙරාවිත් ඇත. එහෙට මෙහෙට නැමුණු දත් ද විශාල තොල් ඇති මුඛයෙන් පිටතට නෙරා පවතී. බැලූ බැල්මට අපට අප්‍රසන්න වුණත්, ‘කොබුඩායි’ ගැහැනු සතුන්ට නම්, මේ දැවැන්ත පිරිමි මාළුවා කඩවසම් හැඩකාරයෙකි.
පිරිමි ‘කොබුඩායි’ මීටරයක් දිගින් යුක්ත වන අතර, බර කිලෝ 15 කි. ප්‍රමාණයෙන් කුඩා ගැහැනු සතුන් මෙවැනි සද්දන්ත පිරිමියකු ඉදිරියේ අසරණය.
තම ලිංගික අවශ්‍යතා සපුරා ගන්න පිරිමි මාළුවා සතා සූදානම් වෙයි. ඔහු ගැහැනු මාළුවා සමඟ එක් වෙයි. ඔහුගේ ‘වැයික්කියේ’ වාසය කරන සියලුම ගැහැනු මාළුවන් ඔහුගේ ‘පුරුෂාධිපත්‍යයට’යටය.
කෙසේ නමුත්, අවුරුදු 10 ක් වන ‘කොබුඩායි’ ගැහැනු සතුන්ට, පිරිමි මාළුවාගේ ‘ලිංගික අඩන්තේට්ටම්’ ඉවසා සිටිය නොහැකි වෙයි. අවුරුදු 10 ක් ගතවෙද්දී, ඇතැම් ගැහැනු මාළුවන් මහා පෙරැළියකට ලක් වෙයි.
පිරිමි කොබුඩායි මාළුවාගේ ලිංගික හිරිහැරවලට ලක්වුණු ගැහැනු ‘කොබුඩායි’ මාළුවා, කෙසේ හෝ බේරී මුහුදු ශාකවලින් වැසුණු ගිලුණු නැවක කුහරයක් ඇතුළට රිංගා ගනී.
අඳුරු ගුහාවක් වැනි මේ කුහරයේ සැඟවෙන කොබුඩායි ගැහැනු මාළුවාගේ සිරුර පරිවර්තනයකට ලක් වෙයි.
මාස ගණනාවක් ඌ සැඟවුණු තැනින් පිටතට පැමිණෙන්නේ නැත. ගැහැනු මාළුවාගේ සිරුර කෙමෙන් කෙමෙන් විශාල වීමට පටන් ගනී.
මාස කිහිපයක් ගත වෙද්දී, ඇගේ සිරුරේ ඇති එන්සයිම විශේෂයක් සක්‍රීය වී, ක්‍රියාත්මක වෙයි. දැන් ඇගේ සිරුර පුරා සංසරණය වීමට පටන් ගන්නේ පිරිමි සතුන්ගේ හෝමෝනය.
තවත් දින කිහිපයක් ගත වෙද්දී, ගැහැනු මාළුවාගේ හිස විශාල වීමට පටන් ගනී. මොල්ලියක් නිර්මාණය වෙයි.
කට පළල් වී පහළට එල්ලී නිකටක් නිර්මාණය වෙයි. පිරුණු තොල් ඇති මුඛය විශාල වෙයි.
පරිවර්තනය අවසන්ය. ගැහැනු මාළුවා, සැඟවී සිටි අඳුරු ගුහාවෙන් පිටතට පැමිණෙයි. ඒ, ගැහැනු මාළුවකු ලෙස නොව සද්දන්ත ‘කොබුඩායි’ පිරිමි මාළුවකු ලෙසිනි.
ඇය ඔහු බවට පරිවර්තනය වී ඇත. දැන් 'ඔහු වුණු ඇය' ප්රචණ්ඩය.
ගැහැනු සතුන් සිය අණසකට නතු කරගෙන සිටින පරණ පිරිමි මාළුවාට, ඔහු බවට පත්වුණු ඇයගෙන් අභියෝගයක් එල්ල වෙයි. දෙදෙනා සටනකට මුල පුරයි.
හකුපාඩා අයාගෙන මුහුණට මුහුණ දෙදෙනා ගැටෙයි. හිස වඩා විශාල නම් දිනුම හිමි වන්නේ ඔහුටයි. පිරිමි මාළුවකු වුණු ගැහැනු මාළුවා සිය මුඛයෙන් පහරක් එල්ල කරයි.
පැරැණි පිරිමි මාළුවාගේ මුඛය තුවාල වෙයි.අවසානයේ දී පැරැණි පිරිමි මාළුවා, අලුත් පිරිමි මාළුවාට පරදී. ඔහු පරාජය පිළිගිනිමින් පසුබසී. අලුත් මාළුවාට ජය.
දැන් වැක්කියේ අලුත් නායකයා වන්නේ ඔහු වුණු ඇයයි.
වැයික්කියේ සෙසු ගැහැනු මාළුවන් ඔහුගේ අණට කීකරු විය යුතුය. යළිත් පුරුෂාධිපත්‍යය රජ කරයි. තුවාල වී පරාජයට පත් වුණු පැරැණි පිරිමි ‘කොබුඩායි’ මාළුවා යටහත් පහත්ව සැඟවී ජීවත් වෙයි.
උගේ කතාව දැන් අවසන්ය. දැන් අලුත් පිරිමියා රජ කරයි.
පුරුෂාධිපත්‍ය පතුරුවමින්, ගැහැනු සතුන් වසඟයට ගනී. මේ විදියට ලිංග පෙරැළියකට ලක් වෙන්නේ ‘කොබුඩායි’ මාළුවන්ගේ ප්‍රමාණයෙන් විශාල ගැහැනු සතුන් පමණි.
හැම ගැහැනු සතකුම එසේ ලිංග පෙරැළියකට ලක් වන්නේ නැත. මේ ‘පෙරැළිය’ උන්ට උපකාරී වෙයි. ඒ, ඔවුන්ගේ ‘සුවිශේෂ ලිංග පෙරැළි ජාන’ පිරුණු පරම්පරාව දිගටම පවත්වාගෙන යෑම සඳහාය. හැම ‘කොබුඩායි’ ගැහැනු සතකුගේම සිරුරේ, අලුත් පිරිමියෙක් බලා සිටී.
ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ ඉදිරිපත් කරන
BBC Blue Planet II ඇසුරිනි
වීඩියෝ අනුග්‍රහය - ඩේලිමේල්