සංකථන යළිත් අවැසිය! - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 23, 2021

සංකථන යළිත් අවැසිය!

මෙරට බිහිවන ඇතැම් පුවත්පත්, ග්‍රන්ථ හා සමගාමී මෙහෙවරක සඟරා ද නියැළෙයි. 

විවිධ තේමා අනුව බිහිවන සඟරා වුව ද ඉලක්කගතව සංවිධානය නොවීමෙන් සහ රාජ්‍ය බලපෑම් හමුවේ ඉදිරියට මුද්‍රණය නොවී වැසී යන අතර සාහිත්‍ය හා කලා ක්ෂේත්‍රයට ද මෙම කරුණ පොදු වේ. 

ආචාර්ය අමරදාස වීරසිංහගේ ප්‍රධානත්වයෙන් ඇරඹි සංස්කෘති, ටයිම්ස් පුවත්පත ඇරඹි රසවාහිනිය, ප්‍රතිභා වැනි සඟරා අතීතයේ මෙකී කලා විචාර සම්බන්ධව සෘජුව මැදිහත් වූ අයුරු සිහි වේ. මේවනවිට ලේක්හවුස් ආයතනය විසින් සත්මඬල නමින් මාසික සඟරාවක් නිකුත් කරමින් සිටී. 

විශ්වවිද්‍යාල මට්ටමින් පළකරන ලද ප්‍රකාශනද වී නමුදු ඒවා සාමාන්‍ය ප්‍රජාව වෙත පිවිසීමේ ගැටලු පැවතිණි. 

එක්ස් කණ්ඩායමේ මැදිහත්වීමෙන් ඇරඹි ප්‍රවාද සඟරාව තරුණ සබුද්ධික තරුණ පාඨක ප්‍රජාව වෙනුවෙන් සෘජු දායකත්වයක් දැක්වීය. මෑතකදී මෙරට දේශපාලන සමාජ කලා භාවිතාවන් සම්බන්ධයෙන් වන අවතාරය, ලෙෆ්ට් වැනි සඟරා ද පාඨකයන් අතර භාවිත වනු පෙනේ. 

සංකථන ද එවැනිම දිශානතියකින් ඇරඹියකි. දිනක් චින්තක රණසිංහ වැදගත් සඟරාවක් ඇතැයි කියමින් සරසවි පළමුවසර පන්තියකට ගොඩවැදුණේය. ඒ 2013දී පමණය. 

මෙම සඟරාවත් එහි කලාප දෙකක් පමණ රැගෙන අවුත් ඒවා මිලදීගෙන කියවන්නැයි සිසුන්ට යෝජනා කළේය. මමද ඉන් එකියක වීමි.

වැදගත් යැයි කී බැවින් කියවා බැලිය යුතුබවට ආසා සිතුණමුත් මුදල් නොමැතිකමින් පසුබසිමින් සිටියෙමි. මදක් ඉල්ලාගෙන බැලූ කලට කදිම ලිපි කිහිපයක් එහි විය. 

එය මනෝ ප්‍රනාන්දුගේ සංස්කරණයකි. මනෝ ප්‍රනාන්දු අප දැනසිටියේ විශිෂ්ට පරිවර්තකයකු ලෙසින් නිසා යම් ගැඹුරක් මෙහි ඇතැයි සිත කීය. 

නොදන්නා බසකින් නොදන්නා දැයක් කියන්නා සේ වන ඇතැම් ලිපි දිගු සහ ශාස්ත්‍රීය බව පෙනිනි. 

මුදල පසුව සිතන්නැයි කියා ඔහු කිහිපදෙනෙකුට සඟරාව නොමිලේ දුනි. (ඔහුගේ දේශපාලනික ප්‍රකාශන ගැන අප දරන මතය මෙයට අදාළ නොකරගමි) එවකට අවබෝධ කරගත හැකි මට්ටමේ කවියක්, කෙටිකතාවක්, විචාර කොටසක්, පොතක් ගැන යමක් වැනි දෙයක් කියවා එය අරන් තැබුවෙමි. 

ලිපියක් දෙකක් කියැවීමි. ඒවා අත තැබීමට බිය ලිපි සේ කියවීමි. 

අවසන් වසරට පැමිණ තරුණවියට පත්ව සංකථන සඟරාවේ කලාප කියවීමේදී සඟරාවේ තරම අවබෝධ විණි. 

ශාස්ත්‍රීය ලිපි ලෙසින් ලොබ නැතිව හැඳින්විය හැකි විචක්ෂණශීලීන් අතින් ඒවා රචනා වී තිබුණු අතර ගත්තාට පාඩු නැති තෘප්තිකර හැඟීමක් දැනෙන්නට විය. බොහෝ ලේඛන කටයුතු සම්බන්ධයෙන් හැදෑරිය යුතු ලුහුතැන් පිරවුමටද මෙම සගරාව දායක විය. 

කිහිපදෙනෙකුගේම පරිශීලනය ලද එම සඟරා තවත් ඇත්දැයි විමසූ විට එය නවතා ඇතැයි ආරංචි විය. මෙම සඟරාවෙහි කලාප කිහිපයක් පමණක් වත්මනෙහි සොයාගැනීමට ඉතිරිව තිබේ. 

 සංකථන වැනි සඟරාවල අවශ්‍යතාවය වඩාලාම දැනෙමින් පවතින මොහොතක, අප පරම්පරාවේම නොකියවා නොදැන කුමක් හෝ ලියන්න ආසා පිරිස් පැමිණෙමින් සිටින වත්මනක, අහම්බෙන් මෙම සඟරාවේ කවරය අන්තර්ජාලයේ නෙතගැටී මෙම සටහන යෙදීමට සිත්විය! 

෴ඩිල්ෂානි චතුරිකා දාබරේ

Classified_Ad

Classified_Ad_News_Bottom