![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiHhiaTu0BMSjnLbJZQ0prtii6vganJY1c_W5cmZrxBigOgRX6cswvS0oufP_Lnhlae2_290SXNRXM9FCtYtMMy_efRJlo4g_kb3dDZylYxAg-2MHTHmIG7Bw9tsbtfbrn7srcY5ASdrn9-/s16000/Iguana-Pic01.jpeg)
සොබා දහමේ අරුමය අපට කියා දෙමින් සොබා දහමට ආදරේ කරන්න ඉගැන්වූ කීර්තිමත් පරිසරවේදියකු සහ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙස ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ හැඳින්විය හැකිය. මෙම සටහනට පාදක වන්නේ BBC නාලිකාවේ විකාශය වූ Planet Earth II කතා මාලාවේ දූපත් වාසීන් ගැන කියැවෙන කතාංගයේ එක් අපූරු ත්‍රාසජනක පරිච්ඡේදයකි.
යමහල් හෙවත් ගිනිකඳු පිපිරීම්වල ප්‍රතිඵලයක් ලෙස පෘථිවියේ දූපත් නිර්මාණය වෙයි. ඇතැම් යමහල් ප්‍රචණ්ඩකාරීව පුපුරා යන්නේ දුම්වලා සහ ගිනි පුපුරු අහසට විදිමින් සහ උණු පාෂාණ හෙවත් ලාවා දසත විසුරුවමිනි. ගෙවී ගිය අවුරුදු 50 පුරාවට, ගිනි කඳු පිපිරීම් හේතුවෙන්, අලුත් දූපත් දහස් ගණනක් නිර්මාණය වී ඇත. අලුතින් නිර්මාණය වන දූපත් හුදෙකලාව පවතී. හේතුව, ජනපද පිහිටුවා ගැනීමට සතුන්ට හෝ ශාකවලට හෝ ඒවාට යෑමේ හැකියාවක් නොමැති බැවිනි. කෙසේ හෝ මෙවැනි හුදෙකලා දූපතකට යැමට කිසියම් සතකු හෝ ශාක විශේෂයක් සමත් වුවහොත්, ජීවත් වීම වෙනුවෙන් මහත් ආයාසයක් දැරීමට ද සිදුවනු නොඅනුමානය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhf716YjDtWKkb9zI-6iHeBFXmMU11oWk3QdB_MxAGIkfKHRinlRWgDTBR-Tlp1DgH5sD_hURauE8387jrCzBcQAJfiYb8J1ldf893bsaqE2ZYXPwkvANGktxJrDe0A5Uux-TiM_HdXlZKQ/s16000/Iguana-Pic03.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh1-g973cQa9Jyp6jNAE1a7EEhPp1Amp2bQMbqi9yjQ-OsvHNZ0pg44jpObmn2HpYTZbIlBk0W9ryNqVUdR_izPF-X399UsxBW9wDT24GiM8AMNO2TbCSunde41ky_K8qSVfG_v7a6XjDLN/s16000/Iguana-Pic04.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg2N_UkQP8_hVpv2fD8yCzLNNSz2o6xKxzON20JMALzvkrkEMfwo1abiOZkoxPpo4wfKfQs3maZQCRcf62e8lut7UVidc1ZvK_fxSgqthU_EczV3R7dNQu8E9TrGmaT4Ls-Dzy7B7uKuvYP/s16000/Iguana-Pic07.jpg)
ෆර්නැන්ඩීනා
‘ෆර්නැන්ඩීනා’ පැසිෆික් සාගරයේ පිහිටි ගලෙපොගොස් දූපත් සමූහයට අයත් එක් දූපතකි. ෆර්නැන්ඩීනා තවමත් තරුණ දූපතකි. යමහල් ක්‍රියාකාරීත්වය තවමත් තැනින් තැන දකින්න ලැබේ. සෙසු ගලෙපොගොස් දූපත් සේම, ෆර්නැන්ඩීනා ද කර්කශය. හුදෙකලා තැනකි. ගස්වැල් නොමැති නිසා දූපත නිසරු බව පෙනුනත්, අවට සාගරය නම් ජීවයෙන් පිරී පවතී. දූපත් සහ ඒ අවට සාගරය නිවහන කරගත් උරග විශේෂයක් මෙහි ජීවත් වෙයි. ලොව උරග විශේෂ අතරින් අසාමාන්‍යතම උරගයන් ලෙස මොවුන් සැලකෙයි.
ඉගුවානා
‘මුහුදු යන ඉගුවානා’, ‘ගලෙපොගොස් ඉගුවානා’ ආදී නම්වලින් මේ උරගයන් හැඳින්වෙයි. මුහුදු ඉගුවානා යෝධ කටුස්සෙකි. ශාක භක්ෂකය. ගොඩබිම ආහාර නැති බැවින්, මුහුදු ඉගුවානා ආහාර සොයා යන්නේ දූපත අවට සාගරයටය. පිහිනමින්, කිමිඳෙමින් ඉගුවානා මුහුදු පතුලේ වැඩෙන ලා කොළ පැහැති මුහුදු ශාක ආහාරයට ගනී. හොඳින් වැඩුණු පිරිමි සතකුට මීටර් 30 ක් ගැඹුරට කිමිඳිය හැකි බව පැවැසෙයි. ඒ, පැය භාගයක් හුස්ම අල්ලන් ගෙන සිටීමෙනි. ෆර්නැන්ඩීනා දූපතේ පමණක් මුහුදු ඉගුවානා උරගයෝ 7,000 කට වැඩිය ජීවත් වෙති.
අසල්වැසියෝ
ෆර්නැන්ඩීනා දූපතේ ඉගුවානාට අසල්වැසියන් කිහිප දෙනෙකි. මුහුදු ඉගුවානාගෙන් පෝෂණය වන කකුළුවන් ඒ අතරින් කැපී පෙනෙයි. දූපතේ සිටින කහ සහ දීපතිමත් රතු පැහැයක් ගන්නා කකුළුවෝ ඉගුවානාගේ මැරුණු සම් කැබැලි ආහාරයට ගනිමින් ජීවත් වෙති. ඉගුවානා අව්ව තපිද්දී, උන්ගේ සිරුරු මත නැග මැරුණු සම් කොටස් කඩා ගෙන කකුළුවන් ඒවා ආහාරයට ගනී. කකුළුවන්ට එය පෝෂණීය ආහාරයකි. ඉගුවානාට නම් සම්බාහනාගාරයට ගියා හා සමානය. ෆර්නැන්ඩීනා දූපතේ මැස්සෝ වෙසෙති. ඉගුවානා කටුස්සන්ට මේ මැස්සන්ගෙන් කරදරය. මැසි කරදරයෙන් ඉගුවානා බේරා ගන්නේ කුඩා කටුසු විශේෂයකි. දීප්තිමත් රෝස පැහැති බඩ ප්‍රදේශයක් ඇති මෙම කටුස්සන් ද ඉගුවානා කොලනිය වෙත පැමිණ, ඉගුවානාගේ ඇඟට ගොඩ වෙන්නේ මැස්සන් අල්ලා කෑමට ගනිමිනි. කකුළුවන්ගේත් මෙම කුඩා කටුස්සන්ගේත් සමාගම ඉගුවානා ප්‍රිය කරයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj-jCmY9RYbpV6SRSwdB9ljXDq1kyx8v2-mZf4mEa9uCOh2jS0nClo3Q3dOri2M_8sxRg39_wDSfVQ6yd5EH6xLubApLgIm4TF6vPtzoTYReFMRIBomUZQa2C5Z2DSzQqZk72bocusuMN9t/s16000/Iguana-Pic08.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjN25peRS1_mbFhaXBoSwJpe9NJMjpZzGP6zh2iWyxFROFRoPoeIROqWCvJqtMZENMr58WmzUsi-8Zq_TkjRH0-s88TtHx_ojTJwotNbthoREQPwZQGNPhyphenhyphen4w_Sa7bG0KNZ4oykDR4IKfyY/s16000/Iguana-Pic09.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgyiBY4fDchZU6ap1UbsNcz9xQ2iv_or55YSU9czDcvqzt-DrIfREczyEpRmCl-Btp1DvlanIj0mmutL9MnadGhpaUxs87oh9jPIDYz41SWW4vv9gxRyX7az3EY4uI-6j7iKCOq1PoyIDTE/s16000/Iguana-Pic10.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgziXGo62jl8pFuL-eVUgBNsgPDYCreLFUIOnkyQ3Ztbz6GJUWT-YsS9Izbcj2l8IrI9K_DBOIVS536BiAq-OFaZgC3kGaD7S6cTfrf7RiIeqmFLHsEyLzQaPiIOP65b9lOoi6pvJ0_5gx3/s16000/Iguana-Pic11.jpg)
ඉගුවානා පැටව්
මුහුදු ඉගුවානා මේ අයුරින්, කකුළුවන් සහ කුඩා කටුස්සන් සමඟ සමගියෙන් සහ සහයෝගයෙන් කටයු- කරන නමුත්, ඉගුවානා සමඟ සහයෝගයෙන් කටයුතු නොකරන පිරිසක් ද දූපතේ වාසය කරති. මුහුදු ඉගුවානා බිත්තර දමන්නේ දූපත මැදට වෙන්න පිහිටා ඇති වැලිවලින් සමන්විත භූමි ප්‍රදේශයේය. වැලි යට බිත්තර නිසි කාලයට පුපුරා පැටවුන් වැලි අතරින් මතුවෙයි. පැටවුන්ගේ අම්මලා තාත්තලා සිටින්නේ මීටර් කිහිපයක් ඈතින් ගල් ගොඩැලිවලින් පිරුණු දූපත අද්දරය. බිත්තර පුපුරා පැටවුන් එළියට එන්නේ සෑම වසරකම ජූනි මාසයේය. අලුත උපන් පුංචි පැටවුන් අසරණය. ඔවුන් දූපත අද්දර ඉගුවානා කොලනිය එසේත් නැතිනම් ජනපදයට යා යුතුය. එහෙත් ඒ ගමන හරිම බිහිසුණුය. මාරකය.
රේසර් සර්පයෝ
ඉගුවානා පැටවුන් වැලි අතරින් මතුවන තෙක් බලා සිටින විලෝපිකයෝ පිරිසකි. මොවුන් රේසර් සර්පයන්ය. රේසර් සර්පයන් යනු සිහින් දිග විස රහිත සර්පයෙකි. අප දන්නා විසියට කීවොත් මොවුන් රැට් ස්නේක් එසේත් නැතිනම් ගැරඬි පවුලට අයත්ය. විදුලි වේගයෙන් යෑමට රේසර් සර්පයන්ට පුළුවනි. ‘රේසර්’ යන නම පටබැඳී ඇත්තේ ද එහෙයිනි. (‘බැන්ඩෙඩ් රේසර්’ යන නමින් දුර්ලභ ගැරඬි විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සිටින බව මෙහිදී කිව යුතුය. මෙම සර්පයා සිංහලෙන් හැඳින්වෙන්නේ වල් ගැරඬියා කියාය.) ෆර්නැන්ඩීනා දූපතේ දූපතේ රේසර් සර්පයෝ එක පොදියට, දුසිම් ගණනින්, හතර වටින් ඉගුවානා පැටවා වට කරගනිති. සර්පයන් ඉතා වේගවත්ය. දුවන්න සැරසෙන එක් පැටවකුට වෙත කඩා පැන සපා කමින්, පැටවා වෙලා ගැනීමට සර්පයෝ සමත් වෙති. තවත් පැටවකු සර්පයන් දැක දුවන්න පටන් ගනී. පැටවා සිතන්නේ සර්පයන් එන්නේ තමා පසුපසින් පමණක් කියාය. ඒත් ඉදිරියේගල් කුට්ටි අතරින් තවත් සර්පයෝ කණ්ඩායමක් සැඟවී සිටිති. උන් පැටවාගේ ඇඟට පැන වෙලා ගනී. මේ අතරතුරේ තවත් පැටියෙක් බේරී ඉහළට දිව යයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgZq1gqmKun6zIBC1BeBRUbUg9ePAST-UPrAHbRXVLuoPhKf4zCXg-Zerw_ILD3RF0zQTHCwpVLmP7VvONSITBwuFJPaQ4y8P0DybtEx0iFKxHk4ejRrzPKvKRik5Ur6HHq61AWv_LjSNTs/s16000/Iguana-Pic012.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjVO2KolWgV6PNC9lGPg87mSkf-SnijIOS91fD9igKDJxzGs689dks3ZhaMQupQKyM4g8YgJRxxmWC0KS0hwQxikDs-OY93tf1y_I-bFMzOp9Fs5qLnDsna93zJAuGlPq_XUQ6kSY_TBRRg/w679-h347/Iguana-Pic13.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg6MnEIA465yAy0ZuwMp5YyhOHu6x-OnQk5IxsjrKUIyAhPGzYAj1qzzBQav_1m7A8BPRoGMChqLfAFY4eBpnwgN1qjwnHmPV_vxrwzeSmAE82XhOFtGId70v-UlitTeRvvElYcbcA-lfsP/s16000/Iguana-Pic15.jpg)
බඩගිනිකාරයෝ
තව තවත් ඉගුවානා පැටවුන් වැලි අතරින් මතුවන බව රේසර් සර්පයින් දනී. ඔවුහු මීළඟ පැටවා මතුවන්නේ කොතැනින්දැයි හොඳ අවදානයෙන් පසුවෙති. සෙසු සර්පයන් සේම, රේසර් සර්පයන්ගේ පෙනීම තියුණු නැත. කන් ඇසෙන්නේ ද නැත. ඒත් වටපිට ඇති දේවලවල කම්පනය හරහා උන් ගොදුර සිටින තැන හඳුනා ගනී. පාද නැති වුවත්, කවාකාර ආකාරයට කොරළවලින් සැදුණු සිරුර වේගයෙන් ඇදී බඩ ගා යන්න බොහෙවින් ප්‍රයෝජනවත්ය. රේසර් සර්පයන්ට ආහාර ලෙස පහසුවෙන් ලබා ගැනීමට හැකි එකම ගොදුර වන්නේ මේ පැටවුන්ය. පැටවුන් මෙසේ අල්ලා ආහාරයට ගැනීම කළ හැක්කේ ද සෑම වසරකට වරකි. එහෙයින්, බඩකට පුරා ආහාර ගැනීම දැන් කළ යුතුය. ගල් කුහර අතරේ සැඟවී සිටින රේසර් සර්පයන් රංචුව තවත් ඉගුවානා පැටවකු දකී. එක පොදියට, වේගයෙන් ඇදී ඇවිත්, දුවන පැටවා වටකර ඌ වෙලා ගනී. ඇටකටු පොඩිපට්ටම් වී, හුස්ම ගැනීමට නොහැකිව මියයන පැටවා සර්පයන්ගේ ආහාරය වෙයි. වැලිවලින් පිරුණු තැනිතලාවේ සර්පයන් පරදවා වේගයෙන් දුවන්න ඉගුවානා පැටවුන්ට හැකිය. ඒත් සැඟවී සිට පහර දී පැටවා අල්ලා ගන්න සර්පයන් කපටිය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjihlqueS8-loOvupZ2nRApfonY1boIjFx2cDGvB8b7jsZ-tZf0bvGkUcSe7AEk9rbMGBSUQCKJUMXNcYTlE-SQFoqMc_aA7pYc3N0jfVQf7ly5s8ZnBuOMoxvPT2S_KJKH5v_g9lG3hI-X/s16000/Iguana-Pic17.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhGb8fZWYiVJeETCzh3pLtH6gmJxMVeykhrlt47S7ZV05wZxyZOBiiudT6HynJ3jQ9Nb2yov3CMyd_oAhf8HNOU_J_uOW5Ngb4gZI6M0cPA30g2s1H-O90bZuKRuu0ooOwFA4Laqb_6ee1E/s16000/Iguana-Pic18.jpg)
පණකඩාගෙන දුවයි
වැලි අතරින් එළියට පැමිණෙන තවත් ඉගුවානා පැටවකු උගේ සහෝදර සහෝදරියන්ට අත්වන ඛේදජනක ඉරණම දකී. වැලි අතරේ සිට ඇස් කරකවමින් සිදුවන්නේ කුමක්දැයි පැටවා බලා සිටී. සහජ ඉව අනුව, වැලි අතරින් මතුවන පැටවා සෙමින් සෙමින් උස ගල් පර වෙත ගමන් කරයි. තැනින් තැන නතර වෙමින් වටපිට බලයි. එක් රේසර් සර්පයකු සෙමින් පැටවා සිටින තැනට ඇදෙයි. ඒ පිටුපසිනි. පැටවා නොසෙල්වී සිටියොත් බේරීමට අවස්ථාවක් ඇත. ඒ, සර්පයාගේ පෙනීම දුර්වල නිසාය. සර්පයා අසලට පැමිණෙද්දී, ඉගුවානා පැටවා කලබල වෙයි. ඌ පණ බේරාගෙන වේගයෙන් දුවයි.
නූලෙන් බේරෙයි
සර්ප රෑන පැටවා පසුපස හඹා එයි. එහෙන් මෙහෙන් හැම තැනින්ම රේසර් සර්පයන් මතුවෙයි. වැලි අවුස්සමින් ඉගුවානා පැටවා වේගයෙන් දුවයි. ඉදිරියෙන් තවත් උගුලකි. රේසර් සර්පයන් රොත්තක් එක පොදියට පැමිණ පැටවා අල්ලා ගනී. සර්පයන් උන්ගේ සිරුරුවලින් ඉගුවානා පැටවා වෙලා ගැනීමට උත්සාහ දරයි. සර්පයන්ගේ ගණන වැඩිය. එක පොදියට උන් සිරුරු දඟර ගසා ගනිද්දී, අස්සෙන් රිංගා බේරීමට පැටවා සමත් වෙයි. සර්පයන්ගෙන් මිදුණු පැටවා යළිත් පණ බේරා ගෙන දුවයි. ගල් පර ඇත්තේ ඉදිරියෙන් එහි ඉහළට ගියොත් පණ බේරා ගැනීමට හැකිය. වේගයෙන් දුවන පැටවා පසුපස සර්පයන් එක් දෙන්නා ඇදෙයි. එක් සර්පයකු උගේ කට අයාගෙන පැටවා සපා කෑමට පනී. ඒ පිම්මෙන් බේරෙමින් පැටවා ගල් පර අතරින් ඉහළට පැන ගනී. තවත් සර්පයන් කිහිප දෙනකු පිම්මක් පනිමින් පැටවා අල්ලා ගැනීමට වෙර දරයි. සර්පයන්ගේ උත්සාහය අසාර්ථක වෙයි. විදුලි වේගයෙන් දුවගෙන ආ ඉගුවානා පැටවා ඉහළට නගී. ඌ සර්පයන්ගෙන් පණ බේරා ගෙන ඉහළ ආ අනෙක් පැටවුන් අතරට යයි. මරණය පෙනි පෙනී, මරණයෙන් බේරී මේ අයුරින් ඉගුවානා පැටවුන් රේසර් සර්පයන් පරයා දිවීම සැබැවින්ම වික්‍රමයකි.
෴ ලුසිත ජයමාන්න
ඩේවිඩ් ඇටන්බරෝ ඉදිරිපත් කරන
BBC Planet Earth II ඇසුරිනි