
‘හර්මිට් ක්‍රෑබ්ස්’ කකුළුවන් සිංහලෙන් හැඳින්වෙන්නේ තාපස කකුළුවන් කියාය. තාපස කකුළුවන් ලොව පුරා නිවර්තන කලාපීය මුහුදු වෙරළ ආශ්‍රිතව සුලබව දැකිය හැකි කකුළු විශේෂයකි. තාපස කකුළු විශේෂ 500 ක් සිටින අතර, ප්‍රමාණයෙන් ඔවුන් විවිධය. තාපස කකුළුවා කවචයෙකි. එයින් අදහස් වන්නේ, කකුළුවන්ට පොත්තක් තිබීමය. තාපස කකුළුවන් ද අයත් වන්නේ ඉස්සන්, කූනිස්සන්, පොකිරිස්සන් අයත් පවුලටමය.
ස්ථිර නිවහනක් නෑ
තාපස කකුළුවන් විවිධාකාරයේ වර්ණවලින් යුක්තය. රතු, දුඹුරු සහ දම් බහුලව දකින්න ලැබේ. ඉරි, තිත් සහ ලපවලින් අලංකාර වුණු රටා පවා සිරුරුවල දකින්න ලැබේ. තාපස කකුළුවන්ට කකුල් 10 කි. ඇන්ටෙනා යුගල දෙකකි. එක් යුගලක් භාවිතයට ගැනෙන්නේ ඉව ඇල්ලීමට සහ ආහාර රස බැලීමටය. අනෙක් ඇන්ටෙනා යුගල භාවිතා කෙරෙන්නේ, අවට පරිසරය සහ එකිනෙකා හඳුනා ගැනීමටය. තාපස කකුළුවන්ගේ පිට පොත්ත සාමාන්‍ය සවිමත් නැත. එය ගොළු බෙලි කටුවකටත් වඩා සියුමැලිය. මෘදුය. එහෙයින්, වෙරළට ගසාගෙන එන සිප්පි කටු, බෙලි කටු ආදිය තාපස කකුළුවන්ගේ ජංගම නිවහන වෙයි. තාපස කකුළුවන්ට කරමල් ඇති නමුත්, ඔවුන් උණුසුම් මුහුදු වෙරළ නිවහන කරගෙන ජීවත් වෙයි. තාපස කකුළුවන් වැඩෙද්දී, කටුවේ ඉඩ මදිවෙයි. එවිට අලුතින් කටුවක් එසේත් නැතිනම් නව ජංගම නිවහනක් සොයා ගැනීමට සිදුවෙයි. ගැලපෙන කටුවක් සොයා ගැනීම පහසු කාර්යයක් නොවෙයි. ඊට ඇත්තේ තරගයකි.
බෙලි කටුව
අලුත් නිවසක් සොයන එක් තාපස කකුළුවකුට මුහුදු වෙරළේ ඇවිද යද්දී, බෙලි කටුවක් හමුවෙයි. කකුළුවා බෙලි කටුව හොඳින් පරීක්ෂා කර බලයි. බෙලි කටුව මේ කකුළුවාට ලොකු වැඩිය. තවත් බෙලි කටු සොයා යා යුතු වන්නේ නැත. කකුළුව එතැනට වී නිසොල්මනේ බලා සිටී. ඊට හොඳ හේතුවක් ඇත. නව නිවහනක් සොයමින් විවිධාකාරයේ තවත් තාපස කකුළුවන් ද සෙමින් සෙමින් එම බෙලි කටුව වෙත ඇදෙයි. ඔවුන් ද බෙලි කටුව අසලට වී බලා සිටී. දැන් බෙලි කටුව අසලට රැඳී සිටින කිසිම කකුළුවකුට එම කටුව ගැලපෙන්නේ නැත. රැස්වුණු කකුළුවන් කරන්නේ එකිනෙකාගේ කටු ගැන අධ්‍යයනය කිරීමය. එය එක්තරා ආකාරයක සන්සන්දනය කර ගැනීමකි. ටික වේලාවක් යද්දී කකුළුවන් පිරිස හරි අපූරු දෙයක් කරයි.






පෝලිම
කකුළුවෝ බොහොම විනීතව එක පෙළෙට එක දිගට පෝලිම් ගැසෙති. ඒ, ප්‍රමාණයෙන් විශාල කකුළුවන් පෝළිමේ මුලටත්, ප්‍රමාණයෙන් කුඩා කකුළුවන් පෝලිමේ කෙළවරටත යන අයුරිනි. පිරිස මේ සැරැසෙන්නේ තම තමන්ගේ ජංගම නිවාස මාරු කර ගැනීමටය. කකුළුවන් පිරිස එක පෙළට පෝලිමේ සිටියත්, නිවෙස් මාරුව ආරම්භ කිරීමට නම්, පෝලිමට තව එක් කෙනකු පැමිණිය යුතුව ඇත. ඒ, වෙරළට ගසාගෙන ආ ලොකු බෙලි කටුව සුදුසු ලොකු කකුළුවෙකි. ලොකු කකුළුවා එතැනට සෙමින් සෙමින් ඇදෙයි. පෝලිමේ සිටින පිරිස නොඉවසිල්ලෙන් බලා සිටිති. ලොකු කකුළුවාගේ පැමිණීමත් සමඟ පිරිස නොසන්සුන් වන බවක් පෙනෙයි. අලුත් බෙලි කටුව ඉතා හොඳින් පරීක්ෂා කිරීමෙන් පසු, එය තමන්ට සුසුදු යැයි පෝලිමේ මුලින්ම සිටින ලොකු තාපස කකුළුවා තීරණය කරයි. කකුළුවා ඔහුගේ කටුවෙන් එළියට පැමිණ අලුත් බෙලි කටුව නව ජංගම නිවස ලෙස තෝරා ගනී. ප්‍රමාණය අනුව පෝලිමේ සිටින සෙසු කකුළුවන් දැන් ඔවුන්ගේ රාජකාරි අරඹයි.
කටු මාරුව
මුලින්ම සිටි කකුළුවා බැහැර කළ කටුව, පෝලිමේ මුලින් දෙවැනියට සිටින කකුළුවාට විසින් අත්පත් කරගනු ලබයි. දෙවැනියට සිටින එම කකුළුවාගේ කටුව, තුන් වැනියාට අයිති වෙයි. මේ ආකාරයට පොරකමින්, කකුළුවන් තම තමන්ගේ නිවෙස් මාරුව සිදු කරයි. එක් කටුවක් පෙනුවෙන් තාපස කකුළුවන් දෙදෙනකු අතර සටන් පවතී. අවසානයේදී ජය හිමිවන්නේ ශක්තිවන්තයාටය. ලොකු බෙලිකටුව මුලින් ම දුටු කකුළුවා පෝලිමේ කෙළවරින්ම සිටී. තමාට සුදුසුයි සිතූ කටුවක් වෙත කකුළුවා ඇදෙයි. එය ගන්න ඔන්න මෙන්න තිබියදී, පෝලිමට පසුව අලුතින් පැමිණි කකුළුවකු පැමිණ පොඩි කකුළුවා පැත්තකට තල්ලු කර දමා කටුව අයිති කර ගනී. කුඩා කකුළුවාට දැන් කටුවක් නැත. කටුවක් නොමැති වීම, මරණය කැඳවීමකි. සතුරන්ගේ ගොදුරු බවට පත්වීමේ අවදානමක් පවතී. එපමණක් නොව, දැඩි හිරු රැස්වලට නිරාවරණය වුණොත් කකුළුවා පිළිස්සී යනු ඇත. කටු හුවමාරුව අවසන් වී, සෙසු තාපස කකුළුවෝ පිටවී යති.



අසරණයා
බෙලි කටුව දැක මුලින්ම එතැනට ආ කුඩා කකුළුවා අසරණ වී බලා සිටී. අලුත් කටුවක් ලැබුණේ නැත. දැන් එතැන ඉතිරි වී ඇත්තේ එක් කටුවක් පමණය. ඒ, අවසන් මොහොතේ බලෙන් කඩා වැදුණු කකුළුවා ඉතිරි කළ කටුවය. එය ද තමන් සතුව පැවැති කටුව තරම් බව කකුළුවාට පෙනෙයි. එපමණක් නොව, ඒ කටුවේ සිදුරක් ද ඇත. වෙන කරන්න දෙයක් නැත. පුංචි කකුළුවා මේ කටුව තෝරා ගනී. නිවසක් නැතිව අසරණ වෙනවාට වඩා, සිදුරක් ඇති නිවසක් පවා වටින බව කකුළුවා දනී.
ඩේවිඩ් ඇටන්බරෝ
ඉදිරිපත් කරන
BBC Earth ඇසුරිනි