එක් මාත්‍රාවක එන්නතක් එයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 25, 2021

එක් මාත්‍රාවක එන්නතක් එයි

එක් මාත්‍රාවකින් පමණක් ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීම වැළැක්විය හැකි එන්නතක් ගැන ඇමෙරිකාවෙන් වාර්තා වෙයි. 

මෙම එන්නත ඇමෙරිකාවේ ‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවූ ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නතය. 

‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ එන්නත හිතුවාටත් වඩා සාර්ථක බවත්, එය එක් මාත්‍රාවක එන්නතක් බවත් පොවට අනාවරණය කළේ ඇමෙරිකාවේ ආහාර සහ ඖෂධ පාලන අධිකාරියයි. ඒ, එන්නත සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් කිරීමෙන් පසුවය. 

‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ එන්නත සාර්ථක බව ලොවට පැවැසුවේ, ඇමෙරිකාව තුළ ඖෂධ නිර්දේශ කිරීම සහ බෙදා හැරීම සඳහා අනුමැතිය ලබා දෙන්නේ ආහාර සහ ඖෂධ පාලන අධිකාරියයි. ඒ අනුව ඉදිරියේ දී හදිසි භාවිතයට මෙම එන්නත සුදුසු යැයි ද ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය නිර්දේශ කිරීමට සූදානම් වෙයි.

ඉදිරියේ දී ඇමෙරිකානුවන්ට ලැබෙන තෙවැනි එන්නත වනු ඇත්තේ ‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ සමාගමේ මෙම එන්නතය. මේ වනවිට ඇමෙරිකානුවන්ට ලැබෙන්නේ ‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ යන සමාගම් නිපදවූ එන්නත්ය. සියයට 95 කට වඩා සාර්ථක යැයි පැවැසෙන ‘ෆයිසර්’ එන්නත ලොව රටවල් රැසක භාවිතයට ගැනෙයි. 

‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ සමාගම නිපදවා ඇති එන්නත ‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ එන්නත්වලට වඩා වෙනස් වන අතර එය මිලෙන් ද අඩු යැයි පැවැසෙයි. 

 එන්නත ගබඩා කිරීම ද පහසුය. සෙල්සියස් අංශක රින 20 ක් යටතේ එන්නත වසර දෙකක් ගබඩා කර තබා ගැනීම කළ හැකිය. සෙල්සියස් අංශක 2 ත් 8 ත් අතර උෂ්ණත්වයක් යටතේ සාමාන්‍ය නිවසේ ශීතකරණයක පවා මාස 3 ක් ගබඩා කර තබා ගැනීමට හැකිය.

‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ සමාගම එන්නත ගැන පළමුවෙන් අනාවරණය කළේ පසුගිය ජනවාරි 29 වැනිදාය. ඒ, තෙවැනි අදියරේ මූලික වටයේ සායනික අත්හදා බැලීම් සිදු කරද්දීය. ‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ එන්නත ‘කොවිඩ් 19’ වයිරසයේ විකෘති ප්‍රභේද සාර්ථකව අඩපණ කරන බව ද තහවුරු වී තිබේ. 

 සායනික අත්හදා බැලීම් සිදුවෙද්දී, එන්නත මිලදී ගෙන හදිසි භාවිතයට යොදා ගත් රට දකුණු අප්‍රිකාවය. එරට වේගයෙන් ව්‍යාප්තවුණු කොරෝනා විකෘතිය අඩපණ කිරීමට ‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ එන්නතට හැකියාව ලැබී තිබෙන බව පැවැසෙයි. 

 මහා බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වනවිටත් ‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ එන්නත ඇණවුම් කර තිබේ. මහා බ්‍රිතන්‍ය එන්නත් මාත්‍රා මිලියන 30 ක් ද, යුරෝපා සංගමය මිලියන 200 ක් ද කැනඩාව මිලියන 38 ක් ද ලෝක සෞඛ්‍ය සංවිධානය මිලියන 500 ක් ද ඇණවුම් කර ඇතැයි බීබීසී පුවත් සේවය පවසයි. 

ඒ.එෆ්.පී.

Classified_Ad

Classified_Ad_News_Bottom