ලංකාවට කිට්ටුවෙන ලෝකෙන්ම පොහොසත් රට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 27, 2021

ලංකාවට කිට්ටුවෙන ලෝකෙන්ම පොහොසත් රට

පිහිටා ඇත්තේ ස්විට්සර්ලන්තයට සහ ඔස්ට්‍රියාවට මැදිවය.

ලොව ධනවත්ම රාජ්‍යය ලෙසින් සැලකෙන ලිච්ටෙන්ස්ටයින් රාජ්‍යය කෙරෙහි මෑතකදී ශ්‍රී ලංකාවේ ජනතා අවධානය යොමු වූයේ ශ්‍රී ලංකාව එම රාජ්‍ය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීමට කටයුතු කරන බවට රාවයක් පැතිරීමත් සමඟිනි. 

ලොව අනෙකුත් රාජ්‍යයන් හා සැසඳීමේදී ලිච්ටෙන්ස්ටයින් රාජ්‍ය මෙරට බොහෝ දෙනෙකුට නුහුරු නමකි. එහෙත් එය ලොව බොහෝ ධනවතුන්ගේ පාරාදීසයකි. 

කිලෝමීටර 25ක දිගින් හා කිලෝමීටර 12ක පළලින් යුතු මධ්‍යම යුරෝපයේ නිරිත දෙසින් පිහිටා ඇති ෆුර්ස්ටෙන්ටුම් ලිච්ටෙන්ස්ටයින්, බටහිරින් හා දකුණින් ස්විට්සර්ලන්තයටත් නැගෙනහිරින් හා උතුරින් ඔස්ට්‍රියාවටත් මායිම් වූ රාජ්‍යයකි. වර්ග කිලෝමීටර් 160.5 කින් (වර්ග සැතපුම් 62) සහ ජනගහනය 38,749 කින් යුත් යුරෝපයේ ඇති සිව්වැනි කුඩාම රාජ්‍යය ලීච්ටෙන්ස්ටයින්ය. එහි අගනුවර වාඩුස්ය. 

ජාත්‍යන්තර ගුවන් තොටුපළක් නොමැති මේ කුඩා රාජ්‍යයේ නිල භාෂාව ජර්මානු භාෂාව වන අතර එරට භාවිත වන මුදල් නෝට්ටුව ස්විස් ෆ්‍රෑන්ක්ය. ආර්ථික වශයෙන් ගත් කල, ලොව වැඩිම වාර්ෂික ඒකපුද්ගල ආදායම සහිත රාජ්‍ය වන්නේ ලිච්ටෙන්ස්ටයින්ය. වාඩුස් අගනුවර කේන්ද්‍ර කර ගත් ශක්තිමත් බැංකු පද්ධතියක් එරට පවතින අතර ලොව විවිධ රටවල ධනවතුන් ස්විට්සර්ලන්තය හැරුණු විට තම මුදල් තැන්පත් කිරීම සඳහා තෝරා ගෙන ඇත්තේ ලීච්ටන්ස්ටයින් රාජ්‍යයයි. 

එරට මූල්‍යමය පරිපාලනය වෙනත් රටවලට වඩා වෙනස්ය. ලොව බොහෝ ධනවතුන් ලීච්ටෙන්ස්ටයින් වෙත ඇදී ඒමට ප්‍රධාන වශයෙන් බලපෑවේ එරට පවතින ලිහිල් ප්‍රතිපත්තියයි. පුද්ගල නිදහස ඉතා ඉහළින් අගයන හෙයින් මුදල් තැන්පත් කරන්නාගෙන් ඔහු එම මුදල් ඉපැයූ ආකාරය පිළිබඳව විමසීමක් සිදු නොවේ. එමෙන්ම ගිණුම් සම්බන්ධයෙන් අතිශය රහසිගතභාවයක් පවතී.

එම නිදහස ප්‍රයෝජනයට ගන්නා බොහෝ රටවල කළු සල්ලිකාරයන් තම මුදල් මෙරට බැංකුවල තැන්පත් කිරීමට කටයුතු කරනු දැකිය හැකිය. එරට පවතින්නේ ඉතා සහනදායි බදු ප්‍රතිපත්තියකි. පෞද්ගලික බද්ද සියයට 1.2 කි. ව්‍යාපාරවලින් අයකරනුයේ සියයට 12.5 කි. 
ජාතික දින සැමරුම් උත්සවයට සහභාගී වූ රජ පවුලේ සාමාජිකයෝ

නිදහස් වෙළෙඳ ප්‍රතිපත්තියක් සහිත බැවින් හා සහනදායි බදුක්‍රමය හේතුවෙන් ලොව පුරා ඇති ප්‍රධාන සමාගම් බොහොමයක පාහේ ප්‍රධාන කාර්යාල පිහිටා ඇත්තේ ලිච්ටෙන්ස්ටයින්හිය. එහෙයින් එමගින්ද එරටට විශාල ආදායමක් හිමිවේ. එමෙන්ම සංචාරක ව්‍යාපාරය එරට ප්‍රමුඛ ආදායම් මාර්ගයකි. 

ලොවපුරා සැරිසරන සංචාරකයන්ගේ එක් වැදගත් නැවතුමක් වන්නේ ලීච්ටන්ස්ටයින්ය. ලොව ධනවත්ම රාජ්‍යයන්ගෙන් එකක් වන ලීච්ටෙන්ස්ටයින් වැසියන්ගේ වාර්ෂික ඒකපුද්ගල ආදායම ඉතා ඉහළය. එය ඇමෙරිකානු ඩොලර් ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයකි. 

2019 මහබැංකු වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ වාර්ෂික ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 3741කි. ඒ අනුව ලීච්ටෙන්ස්ටයින් රාජ්‍යයේ වැසියන් කොතරම් ධනවතුන්දැයි සිතාගත හැකිය. දෙවැනි ලෝක යුද්ධය අවසන් වීමෙන් පසුව ලිච්ටෙන්ස්ටයින් දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව සිටියේය. 

ලිච්ටෙන්ස්ටයින් රාජකීයන්ට තම පවුල සතුව තිබූ අගනා කලාකෘති පවා විකුණා දැමීමට සිදුවූයේ එරට මුහුණ දුන් දැඩි ආර්ථික පීඩනයයෙන් ගැලවීමටය. රට මුහුණ පා ඇති ආර්ථික අගාධයෙන් ගැලවීම සඳහා 1970 දශකය අග භාගයේ ආයතනික බදු අනුපාත විශාල ලෙස අවම කරමින් ලොව බොහෝ රටවල ව්‍යාපාරිකයන් හා සමාගම් එරටට ඇද ගැනීමට රජය සමත් විය. 

එහි ප්‍රතිළුලය වූයේ ලිච්ටෙන්ස්ටයින් ලෝකයේ ධනවත්ම රටක් බවට පත්වීමය. එරට ආර්ථික ප්‍රතිපත්ති යුරෝපයේ ආර්ථික ප්‍රතිපත්ති සමඟ සමාන තත්ත්වයකට ගෙන ඒමට රජය කටයුතු කරමින් සිටී. ලිච්ටෙන්ස්ටයින් රාජ්‍යයේ ඇත්තේ එක් රෝහලක් පමණි, වාඩුස්හි ලිච්ටෙන්ස්ටයින් ලෑන්ඩෙස්පිටල් නමින් එය හැඳින්වෙයි. 

එරට දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 4.978 ක් ලෙස ගණන් බලා ඇත. ඉලෙක්ට්‍රොනික උපකරණ, රෙදිපිළි, ලෝහ නිෂ්පාදන, බල මෙවලම්, නැංගුරම්, බෝල්ට්, ඖෂධ සහ ආහාර නිෂ්පාදන එරට ප්‍රධාන නිෂ්පාදන වේ. 

බොහෝ වගා බිම් හා කුඩා ගොවිපළවල් ඔබර්ලන්ඩ් සහ උන්ටර්ලන්ඩ් යන ප්‍රදේශවල දක්නට ලැබේ. තිරිඟු, බාර්ලි, ඉරිඟු, අර්තාපල්, කිරි නිෂ්පාදන, පශු සම්පත් සහ වයින් වලට එරට ප්‍රසිද්ධියක් උසුලයි. සීමිත ස්වාභාවික සම්පත් තිබියදීත්, පුරවැසියන්ට වඩා ලියාපදිංචි සමාගම් ඇති ලෝකයේ රටවල් කිහිපයෙන් එකක් වන්නේ ලිච්ටෙන්ස්ටයින්ය. එය සමෘද්ධිමත්, ඉහළ කාර්මිකකරණයක් සහිත නිදහස් ව්‍යවසායක ආර්ථිකයක් වර්ධනය කරගෙන තිබේ. 

අතීතයේ රේෂියාවේ කොටසක් වූ මෙම ප්‍රදේශය කැරොලින්ජියානු අධිරාජ්‍යයට සම්බන්ධ වූ අතර පරම්පරා ගණනක් පුරා විවිධ රාජකීයයන් අත පැවතියේය. ක්‍රි.ව 1100 පමණ වනතෙක් එහි ප්‍රධාන භාෂාව රෝමන්ෂ් විය, පසුව ජර්මානු භාෂාව ව්‍යාප්ත වූ අතර 1300 දී වොල්සර්ස් නමැති ඇල්මැනික් ජනවර්ගය මෙම කලාපයට පැමිණියේය. 1618-1648 තිස් අවුරුදු යුද්ධයෙන් පසු ලිච්ටෙන්ස්ටයින් බවට පත් වූ ප්‍රදේශය ඔස්ට්‍රියානු හා ස්වීඩන් හමුදා විසින් ආක්‍රමණය කරන ලදී. 

පසුකාලයේ ලිච්ටෙන්ස්ටයින් පවුලට එහි පාලනය හිමි විය. ලිච්ටෙන්ස්ටයින්හි යොහාන් ඇඩම් ඇන්ඩ්‍රියාස් කුමරු 1699 දී ෂෙලන්බර්ග් වසම සහ 1712 දී වාඩුස් ප්‍රාන්තය මිලදී ගත්තේය. සියවස් ගණනාවක් පුරා, මෙම පවුල මොරාවියාව, පහළ ඔස්ට්‍රියාව සහ ස්ටයිරියා යන ප්‍රදේශවල ඉඩම් විශාල වශයෙන් අත්පත් කර ගත්හ. මෙම ප්‍රදේශ සියල්ලේම පාලනය පැවතියේ රදළයන් අතය. 

විශේෂයෙන් හැබ්ස්බර්ග් පවුල යටතේ වූ අතර ඔවුන් බොහෝ දෙනෙක් ලිච්ටෙන්ස්ටයින් පවුලේ සමීප උපදේශකයෝ වූහ. 1719 ජනවාරි 23 වැනි දින, ශුද්ධ වූ රෝම අධිරාජ්‍යයා වූ හයවැනි චාල්ස්, වාඩුස් සහ ෂෙලන්බර්ග්හි ප්‍රාන්ත ලිච්ටෙන්ස්ටයින් කුමරුට පවරා දුන්නේය.

ලිච්ටෙන්ස්ටයින් රාජ්‍යයේ ආරම්භය ලෙස දැක්වෙන්නේ එම දිනයයි. ලිච්ටෙන්ස්ටයින්හි වඩාත් සිත්ගන්නා ස්ථානයක් වන්නේ එහි ඇති පැරණි රජමාලිගයයි. ලිච්ටෙන්ස්ටයින් කාසල් ලෙස හැඳින්වෙන එය ගොතික් කලා සම්ප්‍රදාය අනුව 1840දී පමණ ඉදිවූවකි. වර්තමානයේද ලිච්ටෙන්ස්ටයින්හි රාජ්‍ය පාලනය පවතින්නේ එම සම්ප්‍රදායික රජ පවුල යටතේය. 

පාර්ලිමේන්තු ක්‍රමයක්ද පවතින නමුදු එරට රාජ්‍ය නායකයා දෙවැනි හන්ස් ඇඩම් කුමරුය. ( Prince Johannes Adam Ferdinand Alois Josef Maria Marco d’Aviano Pius) එම රජ පෙළපත යුරෝපයේ ධනවත්ම රජ පෙළපතයි. ඔහුගේ පවුලේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 7.6ක් හා පෞද්ගලික වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 4ක් ලෙස සැලකේ. ලිච්ටෙන්ස්ටයින්හි ව්‍යවස්ථාදායක සංශෝධන හා ස්වාධීන යෝජනා ඉදිරිපත් කිරීමට හා බලාත්මක කිරීමට ඡන්ද දායකයන්ට හැකි සෘජු ප්‍රජාතන්ත්‍රවාදයක් පවතී. 

1921 ව්‍යවස්ථාව වෙනුවට 2003 මාර්තු මාසයේදී එහි නව ව්‍යවස්ථාවක් සම්මත විය. 1921 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් ලිච්ටෙන්ස්ටයින් රාජාණ්ඩුවක් ලෙස ස්ථාපිත කරන ලදී. පාලක කුමරු සැලකිය යුතු දේශපාලන අධිකාරියක් රඳවාගෙන සිටියද පාර්ලිමේන්තු ක්‍රමයක් ස්ථාපිත කර තිබුණි. පාලක කුමරු රාජ්‍ය නායකයා බැවින් ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් රජය නියෝජනය කරන්නේ ඔහුය පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද නිෂේධ බලය ඔහු සතුය. 

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ජනමත විචාරණයකට යටත් වුවද කුමරුට ජනමත විචාරණ කැඳවීමට, නව නීති යෝජනා කිරීමට හා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය පවතී. විධායක අධිකාරිය පවරා ඇත්තේ රජයේ ප්‍රධානියා (අගමැති) සහ රජයේ අමාත්‍යවරුන් සිව් දෙනකුගෙන් සමන්විත පිරිසකටය.

පාර්ලිමේන්තුවේ යෝජනා හා එහි එකඟතාවය මත කුමරු විසින් අගමැතිවරයා සහ අනෙකුත් ඇමැතිවරුන් පත් කරනු ලබන අතර එය සියලු පක්ෂවල සමතුලිතයක් පවතින අයුරින් සිදු කෙරේ. ලිච්ටෙන්ස්ටයින් එක්සත් ජාතීන්ගේ, යුරෝපීය නිදහස් වෙළඳ සංගමයේ සහ යුරෝපීය කවුන්සිලයේ සාමාජිකයෙකි. යුරෝපීය සංගමයේ සාමාජිකයකු නොවූවද එය ෂෙන්ගන් කලාපයට සහ යුරෝපීය ආර්ථික කලාපයට අයත්ය. එයට ස්විට්සර්ලන්තය සමඟ මූල්‍ය සම්මුතියක් පවතී. 

ලිච්ටෙන්ස්ටයින්හි තානාපති කාර්යාල නොමැත. එහි ඇත්තේ කුඩා කොන්සියුලර් කාර්යාල කිහිපයක් පමණි. කොන්සියුලර් කාර්යාලයක් යනු වෙනත් රටක ඇති තානාපති කාර්යාලයක් යටතේ පවතින උප තානාපති කාර්යාලයකි. 

ලිච්ටෙන්ස්ටයින් රාජ්‍යයට අයත් තානාපති කාර්යාල පවතින්නේ ලොව රටවල් හතරක පමණි. ඒ ස්විට්සර්ලන්තයේ, ඔස්ට්‍රියාවේ, ජර්මනියේ සහ ඇමෙරිකාවේය. රටේ සාමය කඩකිරීම් දැකිය නොහැකිය. සොරසතුරන්ද නොමැත. ලිච්ටෙන්ස්ටයින් ජාතික පොලිසියේ නිලධාරීන් සිටින්නේ 87 දෙනෙකු පමණි. එය ලොව අඩුම අපරාධ අනුපාතයක් සහිත රටවලින් එකකි. 

෴ ප්‍රවීණ මාධ්‍යවේදී 
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

Classified_Ad

Classified_Ad_News_Bottom