රාජකීය සොහොන් ගැබ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Sep 22, 2022

රාජකීය සොහොන් ගැබ

වසර 70 ක් සහ දින 214 ක් බ්‍රිතාන්‍ය කිරුළ දරා සමාදානයේ සැතපුණු දෙවැනි එලිසබත් මහ රැජිනගේ දේහය, ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ සෝ සුසුම් මැද, ලෝක නායකයන්ගේ පමණක් නොව මහ රැජන සුරතලයට ඇති කළ කෝගී වර්ගයේ සුනඛයන්ගේ සහභාගීත්වයෙන්, හමුදා ගෞරව සහිතය පසුගිය 19 වැනිදා පැවැත්විය. එය එසේ මෙසේ අවමංගල උත්සවයක් නොවීය. එය, බ්‍රිතාන්‍ය රජ පවුලේ අභිමානය කැටි වුණු ගාම්භීර උත්සවයකි. 

දෙවැනි එලිසබත් මහ රැජිනට අවසන් ගෞරව දැක්වීමට කොතරම් ජනකායක් ඒකරාශී වූයේදැයි කීවොත් එම පිරිස අභ්‍යවකාශයේ රඳවා ඇති චන්ද්‍රිකාවලට ද පැහැදිලිව පෙනුණි. ඒ අවමඟුල් උත්සවය අන්තර් ජාලය හා රූපවාහිනී විකාශයන් ඔස්සේ ලෝක ජනගහනයෙන් සියයට 60ක් නැරඹූ බවට ඇස්තමේන්තු කර ඇත. 

අනූ හය හැවිරිදි මහ රැජිනගේ අභාවය සිදුවූයේ පසුගිය 8 වැනිදාය. අවසන් සුසුම් හෙළද්දී ඇය සිටියේ ස්කොට්ලන්තයේ ඇයට අයත් බැල්මෝරල් මාලිගයේ ඇගේ ගිම්හාන විවේකය ගත කරමිනි. අභාවප්‍රාප්ත වූ මහ රැජින ස්කොට්ලන්තයේ සිට ලන්ඩන් අගනුවරට ගෙන ඒම සිදුවූයේ පසුගිය 13 වැනිදාය. 
මහ රැජින වෙනුවෙන් දින 11 ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කෙරුණු අතර, පසුගිය 19 වැනිදා එය අවසන් වූයේ වෙස්ට්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර තිබුණු දේහය, වෙස්ට්මිනිස්ටර් දෙව් මැදුරටත් පසුව වින්ඩ්සර් මාලිගා පරිශ්‍රයේ පිහිටි ශාන්ත ජෝර්ජ් දේවස්ථානයටත් රැගෙන යෑමෙන් පසුවය. 

දෙවැනි එලිසැබත් මහ රැජිනගේ ගාම්භීර අවමංගල උත්සවයේ ගමනාන්තය වූයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයට අනුබද්ධ හයවන ජෝර්ජ් අනුස්මරණ දෙව්මැඳුරයි. එහි ඉදිකර ඇති විශේෂ සොහොන් ගැබේ දේහය තැන්පත් කෙරුණේ, එලිසැබත් මහ රැජිනගේ සැමියා වූ පිලිප් කුමරුන්ගේ දේහය අසලය. වර්තමානයේ බ්‍රිතාන්‍ය රජ කිරුළ හිමි රජ පෙළපත හැඳින්වෙන්නේ ‘වින්ඩ්සර්’ කියාය. ඊට කලින් පැවතියේ ‘ටියුඩර්’ පෙළපත ය. 

අවුරුදු 22 දී දෙවන එලිසැබත් රැජිනට කිරුළ හිමි වූයේ 1952 වසරේ දී ඇගේ පියා වූ හයවැනි ජෝර්ජ් රජුගේ අභාවයෙන් පසුවය. ඒ වන විට ජෝර්ජ් රජු විසින් අවසන් සැතපෙන ස්ථානයක් සාම්ප්‍රදායිකව නම් කර තිබුණේ නැත. ඒ නිසා එම දේහය තැන්පත් කර තැබීමට තැනක් නම් කිරීම දෙවන එලිසැබත් මහ රැජිනට බාර විය. එතෙක් දේහය තාවකාලිකව සාන්ත ජෝර්ජ් දේවස්ථානයේ රාජකීය සොහොන් ගැබෙහි තැන්පත් කෙරිණ. 

මෙහි ඇති ප්‍රධාන දෙව්මැඳුර වූ සාන්ත ජෝර්ජ් දේවස්ථානය 1475දී තුන්වන එඩ්වඩ් රජුගේ කාලයේ ඉදිකරන ලද්දක් යැයි සැලකේ. ටියුඩර් රජ පෙළපත පැවති කාලයේ, සියලු රාජකීයයන්ගේ අවසන් සැතපෙන ස්ථානය වූයේ ඒ දෙව් මැඳුරයි. 
එසේ ම සියලු රාජකීයයන්ගේ ආගමික කටයුතු සියල්ලම පාහේ ඉටු වූයේ ඒ දේවස්ථානයෙනි. දෙවන එලිසැබත් මහ රැජින විසින් පිය රජුගේ අවසන් සැතපෙන ස්ථානය සඳහා වෙනම තැනක් ගැන සොයා බැලුවද ප්‍රධාන දේවස්ථානයේ රාජකීයයන් සඳහා තවත් ඉඩක් නොමැති බැව් පෙනී ගිය නිසා එහි නව දේවස්ථානයක් ඉදිකිරීමට තීරණය කළාය. එහි රජුන් තිදෙනකුටත් බිසවුන් තිදෙනකුටත් අවසන් සැතපෙන ස්ථාන ලෙස අවශ්‍ය ඉඩකඩ ඇතිව සැලසුම් කිරීමට නියම කළාය. 

ඇය මේ තීරණය ගත්තේ පිය රජුගේ අභාවයෙන් වසර 10කට පසුවය. ඒ නව දේවස්ථානය පිය රජුට ගෞරවයක් ලෙස ඔහුගේ නමින් හැඳින්වීම ඇගේ අභිලාෂය වූ නිසා එය හයවන ජෝර්ජ් අනුස්මරණ දේවස්ථානය කියා නම් කෙරිණ. සාන්ත ජෝර්ජ් දේවස්ථානයට එක් වූ නව දෙව් මැඳුරේ සියලු වැඩ කටයුතු සම්පූර්ණ කෙරුණේ 1969 වසරේදීය. 

ඉන් පසු හය වැනි ජෝර්ජ් රජුගේ දේහය සාන්ත ජෝර්ජ් දේවස්ථානයේ රාජකීය සොහොන් ගැබෙන් ගෙනවුත් මහරැජින ඇතුළු රාජකීය පවුලේ අයගේ සභාගිත්වයෙන් මෙම අනුස්මරණ දෙව් මැඳුරෙහි විශේෂයෙන් ඉදි කළ නව සොහොන් ගැබෙහි තැන්පත් කරනු ලැබීය. 

එය දෙවැනි එලිසැබත් මහ රැජිනගේ පවුලට එනම් වින්ඩ්සර් පවුලට වෙන් වී ඇත. අද වන විට මෙම සෙහොන් ගැබ තුළ හයවැනි ජෝර්ජ් රජුගේ හා එම බිසව (දෙවැනි එලිසැබත් රැජිනගේ මව), දෙවැනි එලිසැබත් මහ රැජින හා ඇගේ සැමියා වූ පිලිප් කුමරුගේ දේහයන් ද තැන්පත් කර ඇත. 
ඊට අමතරව දෙවැනි එලිසැබත් මහ රැජින සොහොයුරිය වූ මාග්‍රට් කුමරියගේ භෂ්මාවශේෂ ද තැන්පත් කර ඇත්තේ මෙම සොහොන් ගැබ තුළය. මේ රාජකීයයන් අතරින් ආදාහනය කරන ලද එකම රාජකීය සාමාජිකාව වූයේ මාග්‍රට් කුමරියයි. ඇය අන්තිම කැමැත්ත අනුව එසේ ආදාහනය කරන ලද අතර ඇගේ අභිලාෂය අනුව ඇගේ පිය රජු හා මවු රැජිනිය සමග ඇගේ භෂ්මාවශේෂ ද තැන්පත් කර ඇත. 

 ශාන්ත ජෝර්ජ් දේවස්ථානය, එලිසැබත් රැජිනගේ ජීවිතයට බ‍ෙහෙවින් සමීපය. දෙවැනි එලිසැබත් රැජිනගේ පුතු එඩ්වඩ් කුමරුන් සහ වෙසෙක්ස් ආදිපාදවරිය සෝපීගේ විවාහ මංගල උත්සවය පැවැත්වූයේ ශාන්ත ජෝර්ජ් දෙව්මැදුරේදීය. මහ රැජිනගේ මුණුපුරු හැරී කුමරු සහ සසෙක්ස් ආදිපාදවරිය මෙගාන් මාකල්ගේ විවාහ මංගල උත්සවය පැවැත්වූයේ ද මෙම දෙව් මැදුරේදීය. 

මහ රැජින අවසන් වරට මෙම දෙව්මැදුරට පැමිණියේ ඇගේ සැමියා පිලිප් කුමරුන්ගේ අවමංගල්‍යයට සහභාගී වීම සඳහාය. තමන්ගේ ශක්තිය මෙන්ම ජීවනය ද තම ආදරණීය සැමියා පිලිප් කුමරුන් යැයි එලිසැබත් මහ රැජින අවස්ථා ගණනාවකදී පවසා තිබුණි. ඔහුගේ වියෝව ඇයට දරාගත නොහැකි වූ බව නිසැකය. එඩින්බරෝ ආදිපාදවරයා හෙවත් පිලිප් කුමරුන්ගේ අවමංගල්‍යය පැවැත් වූයේ 2019 වසරේ ‘කොවිඩ් 19’ වසංගතය මධ්‍යයේ, පනවා තිබූ තහංචි අනුවය. 

෴ ලුසිත ජයමාන්න
උපුටා ගැනීම - The Sun

Classified_Ad

Classified_Ad_News_Bottom