
අවුන් සාන් සූ කී ඇතුළු ඇගේ ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ නායකයන් අත්අඩංගුවට ගනිමින්, මියන්මාර හමුදා සිදු කළ හමුදා කුමන්ත්‍රණයට විරෝධය දක්වන මියන්මාර වැසියන් අතරේ ස්පයිඩර් මෑන් ද සිටිනු දකින්න ලැබේ.
ස්පයිඩර් මෑන් ලෙස සැරසී විරෝධතා පුවරු අතැතිව විරෝධතාවල නියැලෙන්නේ 'ස්පයිඩි හිතෝ' යන නමින් පෙනී සිටින 28 හැවිරිදි තරුණයෙකි.
මොහු කලක් සිංගප්පූරුවේ රැකියාවක් කළ මියන්මාර තරුණයෙකි. ඔහු යළි මියන්මාරයයට පැමිණ ඇත්තේ තමන්ගේම කියා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ ආසාවෙනි.
ඒත් කොරෝනා වසංගතය ඊට එරෙහි විය.
පසුගිය නොවැම්බරයේ පැවැති මියන්මාර මහ මැතිවරණයෙන් පසු මෙන්ම, ඉන්දියාවෙන් ලැබුණු 'කොවිෂීල්ඩ්' එන්නත මියන්මාර වැසියන්ට ලැබෙද්දී බලාපොරොත්තු දල්වා ගෙන තමන්ගේම ව්‍යාපාරය ආරම්භ කිරීමට 'ස්පයිඩි හිතෝ' සැලැසුම් සකස් කළේය.
අවාසනාව ඔහුට හරස් විය. පසුගිය පෙබරවාරි පළමු වැනිදා සිදුවුණු හමුදා කුමන්ත්‍රණයෙන් සියල්ල වෙනස් විය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයට අනුව, මේ වනවිට මියන්මාර හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටින පිරිස 350 කට වැඩිය.
මියන්මාර වැසියන් පොලිසියේ ජල ප්‍රහාර මැද වැඩ වර්ජන කරමින් නොකඩවා විරෝධතා පවත්වන්නේ එම පිරිස වහා නිදහස් කරන්නැයි සහ ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කරන්නැයි ඉල්ලමිනි.
'මගේ අම්මා තාත්තා හමුදා පාලකයන්ගේ වචනයට පිටින් යන්නේ නැහැ. ඔවුන් වගේමයි රටේ බොහෝමයක් වැඩිහිටියන් හමුදාවට බයේ ඉන්නවා. හමුදා පාලනයට ඔවුන් කැමැති නැහැ. ඒත් විරුද්ධ වෙන්න ශක්තියක් නැහැ. ඔවුන් 2011 වසර වෙනකල් වසර 50 ක් හමුදා ජුන්ටායට යටවී ජීවත් වුණා. මා විරෝධතා රැලිවලට එක් වන්නේ අම්මා තාත්තාගේ කැමැත්ත අරගෙනයි.' යැයි 'ස්පයිඩි හිතෝ' ඉන්දියාවේ 'ටයිම්ස් ඔෆ් ඉන්දියා' පුවත් සේවයට සමඟ අදහස් දක්වමින් පවසා ඇත.
තමන් ස්පයිඩර් මෑන් ඇඳුමින් සැරසී සිටින්නේ මාධ්‍ය අවධානය දිනා ගන්න යැයි ද 'ස්පයිඩි හිතෝ' පවසයි.
'අප තරුණ තරුණියන් විරෝධතා පවත්වන්නේ සම්පූර්ණයෙන් වෙනස් ම විදියකට. අප කලහකාරීව හැසිරෙන්නේ නැහැ. අපි කුපිත වෙන්නේ නැහැ. අපේ විරෝධතා සාමකාමීයි.අප විරෝධතා පවත්වන්නේ නිර්මාණශීලී ආකාරයට. හමුදාවේත් පොලිසියේත් මරදන ක්‍රමවේදයන්ට වඩා අපේ ක්‍රමය ඉහළයි. ඔවුන්ට බැහැ අප පරද්දන්න. අප ජයග්‍රහණය කරනවා සිකුරුයි.' යැයි 'ස්පයිඩි හිතෝ' අවධාරණය කර තිබේ.
ටයිම්ස් ඔෆ් ඉන්දියා