මකුළුවන් බුඳින සුපිරි මකුළුවෙක්: පෝෂා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 14, 2021

මකුළුවන් බුඳින සුපිරි මකුළුවෙක්: පෝෂා

තුරුවදුලේ නිහඬව ඇදෙන නිහඬ දඩයක්කාරියකි. මේ දඩයක්කාරි මකුළුවෙකි. සෙසු මකුළු විශේෂවලට සාපේක්ෂව මේ මකුළුවා ප්‍රමාණයෙන් කුඩාය. මකුළුවා හැඳින්වෙන්නේ ‘පෝෂා’ යන නමිනි. අභියෝග ජය ගනිමින් ගොදුරු අල්ලා ගැනීමේදී, පෝෂා තරම් දක්ෂ සතකු සත්ව ලෝකයේ නොමැති තරම්ය. ගොදුරු අල්ලා ගැනීම සඳහා ‘පෝෂා’ මකුළුවාට සුපිරි හැකියාවන් තුනක් ඇත. 

සුපිරි හැකියාව 

පළමු සුපිරි හැකියාව, පහසුවෙන් තැනින් තැනට යෑමය. පෝෂා ‘පනින මකුළු’ විශේෂයකි. පනින මකුළුවන් යනු ගොදුරු අල්ලා ගැනීමට ගොදුරුට පනින මකුළුවන් ය. බාධක බාධාවක් කර නොගෙන තැනින් තැනට යෑමටත් මෙම මකුළුවන් පනී. සිරුරේ ප්‍රමාණය මෙන් පනස් ගුණයක දුරක් ඉහළට, පහළට හෝ අවශ්‍ය ඕනෑම තැනකට පහසුවෙන් පනින්න පෝෂා මකුළුවන්ට පුළුවනි. ගසකින් ගසකට, පදුරකින් පදුරකට, කොළයෙන් කොළයට පනින පෝෂාට යා නොහැකි තැනක් නැත. පෝෂාගේ පළමු සුපිරි බලය එසේත් නැතිනම් සුපිරි හැකියාව එයයි. 

ඇස් අටක් 

කොළයෙන් කොළයට පනිමින් ගොදුරක් වෙත ඇදෙන පෝෂාට උගේ දෙවැනි සුපිරි හැකියාව ප්‍රයෝජනයට ගැනීමේ වේලාව උදාවෙයි. දෙවැනි හැකියාව සුපිරි දෘෂ්ටියයි. මකුළුවන් අයත් වන්නේ ඇරැක්නිඩ් පවුලටය. මෙම පවුලට අයත් සෙසු සාමාජිකයන් වන්නේ ගෝනුස්සන්, මකුණන් සහ මැක්කන්ය. ඇරැක්නිඩ් පවුලේ සාමාජිකයන්ගේ සිරුරු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. මොවුන්ට පියාපත් නැත. ඇන්ටෙනා නැත. කුහුඹුවන්, පළගැටියන් මෙන් මොවුන් ආහාර සපා කෑමක් කරන්නේ ද නැත. ඇරැක්නිඩ් සාමාජිකයන්ට ඇත්තේ පාද 8 කි. බොහෝදෙනා මකුළුවන් කෘමීන් ලෙස සලකන්නේ වැරැදි වැටහීමකිනි. මකුළුවා කෘමි සතකු නොවේ. කෘමි සතුන්ගේ සිරුරු කොටස් තුනකි. පාද ඇත්තේ හයකි. මකුළුවන්ට ඇස් අටක් ඇත. පෝෂාට ද එසේමය. ලොකු කුඩා ආදී වශයෙන් පිහිටා ඇති මෙම ඇස් නිසා පෝෂාගේ පෙනීම ඉතා තියුණුය. වනවදුලේ ගොදුරු පහසුවෙන් සොයා ගැනීමට සහ හඳුනා ගැනීමට මෙසේ සුපිරි ඇස් තිබීම වාසියකි. පෝෂා මකුළුවා සොයන ගොදුර තැන තැන යන ගොදුරක් නොවෙයි. ඒ ගොදුර පෝෂාගේම වරිගයේ එකෙකි. තවත් මකුළුවෙකි. පෝෂා මකුළුන් බුදින මකුළුවෙකි. 

අභියෝගයක් 

පෝෂා සෙමින් සෙමින් දවල් කෑම වෙත ඇදෙයි. ගැටළු කිහිපයකි. දවල් කෑම, එනම් ගොදුරු කර ගැනීමට සැරැසෙන අනෙක් මකුළුවා පෝෂා මෙන් ප්‍රමාණයෙන් තෙගුණයකි. එපමණක් නොව, ඒ මකුළුවාට විස දළ දෙකකි. ඌ සිටින්නේ ඇලෙන සුළු උගුලක් එසේත් නැතිනම් මකුළු දැලක් මැදය. ඒ මකුළු දැල ද එසේ මෙසේ එකක් නොවෙයි. පුළුල් ලෙස පැතිරුණු එකකි. ඒ නිසා ගොදුරට කිට්ටුවීම පහසු නොවෙයි. 

බුද්ධිමත් 

පෝෂාට වැඩේ අතහරින්න වේවිද? බඩගින්නේ සිටින්න සිදුවේවිද? කොහෙත්ම නැහැ. පෝෂාට ඇති තෙවැනි සුපිරි හැකියාව මෙහිදී ප්‍රයෝජනවත් වෙයි. පෝෂාට සිතන්න පුළුවනි. සැලැසුම් කරන්න පුළුවනි. සුපිරි ඇස්වලින් වටපිට බලා ගොදුර අල්ලා ගැනීම කෙසේ කළ යුතුදැයි පෝෂා කල්පනා කරයි. අවට සියල්ල හොඳින් නිරීක්ෂණය කරමින්, පෝෂා ගොදුරට ළං විය යුත්තේ කෙසේදැයි අවබෝධ කර ගනී. මිනිත්තුවක් යද්දී පෝෂා සියල්ල සැලැසුම් කර අවසන්ය. පෝෂා ක්‍රියාත්මක වෙයි. කොළයෙන් කොළයට පනිමින්, අල්ලා ගැනීමට සූදානම් මකුළුවා සිටින මකුළු දැල ඉහළට පෝෂා යයි. පෝෂා දැන් ඉහළ අත්තක සිටින බවක් පහළ දැල මත සිටින මකුළුවා දන්නේ නැත. දැල් බඳින්නේ නැති වුවත්, දැල් බැඳීමේ හැකියාව පෝෂා මකුළුවන්ට ඇත. සියුම් වියමනක ආධාරයෙන්, එය දිගේ පෝෂා ඉහළ සිට පහළ සිටින මකුළුවා බලා සෙමින් සෙමින් රූටා ඇදෙයි. කිසිදු හඬක් නගන්නේ නැත. තමාගේ හිසට ඉහළින් පහළට ඇදෙන පෝෂා ගැන පහළ මකුළුවා දන්නේ ද නැත. සෙමින් සෙමින් පහළට රූටා පැමිණ පෝෂා අසුරු සැණින් යෝධ මකුළුවාගේ සිරුරට පැන ඌ අඩපණ කර ගනී. ඒ, ලොකු මකුළුවාගේ විස දළවලින් බේරෙමිනි. මේ පෝෂා ගොදුරු අල්ලා ගන්නා එක් විදියකි. 

කපටියා 

බුද්ධිමත්ම සිතා බලා ගොදුරු අල්ලා ගන්න පෝෂා සැබැවින්ම හපනෙකි. ඉහළ අත්තක සිට පහළ දැලකට පහත් වීමට හැකියාවක් නැති නම් පෝෂා කරන්නේ කුමක්ද? ගොදුරු අල්ලීම අතහැර දමනවද? අපොයි නැහැ. එවැනි අවස්ථාවලදී පෝෂා අල්ලා ගැනීමට සූදානම් වන මකුළුවාගේ දැල අසලට යයි. දැල කෙළවර එක් තැනක සැඟවී සිට, දැල සෙමින් සෙමින් සොලවන්න ගනී. දැලේ සිටින මකුළුවා සිතන්නේ මොකෙක් හරි දැලේ පැටලී දඟලන බවය. මකුළුවා එසේ පැටලුණු සතා අල්ලා ගැනීමට දැල කෙළවරට පැමිණෙයි. කොළ අතරේ සැඟවී සිටින පෝෂා, මකුළුවාගේ සිරුරට විදුලි වේගයෙන් පනී. විස දළවලින් බේරී ගොදුර අල්ලා ගනී. පෝෂාගේ හපන්කම එයයි.

ශ්‍රීමත් 
ඩේවිඩ් 
ඇටන්බරෝ ඉදිරිපත් කරන
BBC Planet Earth II ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom